අරගලය අවසන්ද? සැබෑ වාමාංසිකයින්ට සහ ජනතා ක්‍රියාකාරීන්ට පැනයක්

අරගලය අවසන්ද? සැබෑ වාමාංසිකයින්ට සහ ජනතා ක්‍රියාකාරීන්ට පැනයක්

49 views
0

වසර 74කට පෙර ඉංග්‍රිසින් විසින් නිදහස බන්දේසියක තබා දීමත් ධනවතුන්ට දේශපාලන බලය ලබා දීමත් තුලින් එදා සිට අදවනතුරු සිදුවූයේ බලලෝභය වෙනුවෙන් උන් බොරුවට කුලල් කාගන්නා ලෙස පෙන්නා මිනිසුන් කොටවමින් දේශපාලනයේ ඔවුන් හිදිමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් කර ගැනීමයි. ඒ මජර දේශපාලනය එලවා දැමීමට තරුණ ජවයට හැකි විය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙරනොවූ විරූ සමාජ, දේශපාලනික පරිවර්තනයක් කිරීමට අරගලයට හැකිවිය. ඒ හැටනව ලක්ෂයක් වැනි අති විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් ඉතා බලගතු සේ සැලකු ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීම, විශාල ජනප්‍රසාදයක් හිමිව තිබූ මහින්ද රාජපක්ෂ අගමැතිකමින් නෙරපීම ඇතුලුව සමස්ත ආණ්ඩු පෙරලියක් ඇතිකිරීමට සමත් වීමයි.

මාස හතරකට වැඩි කාලයක් පවත්වාගෙන ගිය ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියෙන් ඉවත් වීමට අරගලයේ නිරත ක්‍රියාකාරින්ගෙන් බහුතරයක් තීරණය කරන්නට  ඇත. ඒ අනුව අරගලය මෙතැනින් අවසන්ද? නැතහොත් එහි අනාගතය කොයිබටද? යන්න පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඇත්තේ කුකුසකි.

මෙතැනින් ඉදිරියට ලංකාවේ පුරවැසි අරගලය පවත්වාගෙන යා යුතු හැඩය කුමක්ද කියන ප්‍රශ්නයට මේ මොහොතේ අපි හැමෝම මුහුණ දෙමින් ඉන්නවා.

ගෝඨාභය නිකම්ම නිකම් ගෙදර යවනවා වෙනුවට අප කතා කළේ ලංකාවේ ඡන්ද දායකයන් ‘පුරවැසියන්’ බවට පරිවර්තනය කිරීම ගැනයි.

පසුගිය සියවස පුරා ම ලංකාවේ මිනිසුන් ජාති, ආගම්, සමාජ පංති භේදයකින් තොරව පොදු අරමුණක් වෙනුවෙන් එක්ව සටන් කළේ නැහැ. කොටින් ම සර්වජන ඡන්ද බලය, දේශපාලන නිදහස පවා බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ මිනිසුන්ට ලබා දුන්නේ බන්දේසියක තියලයි.

ඒ නිසා නිකම්ම නිකම් ගෝඨාභය ගෙදර යැවීමක් වෙනුවට අප කතා කළේ ලංකාවේ ‘දෙවැනි නිදහස් අරගලයක්’ ගැනයි.

ජාතිවාදය, ආගම්වාදය වැපිරීම වෙනුවට ජාතික සමගිය ගොඩනැගීම, ලංකාවේ පාදඩකරණය වූ මජර දේශපාලන සංස්කෘතිය වෙනුවට ශීලාචාර දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම වැනි උස් අරමුණු වටා මිනිසුන් ඒ මොහොතේ එක් රැස් වුණා.

ඒ මොහොතේ මේ අරගලය බොහෝ දෙනෙකුට දැනුණේ ජාතික හෘදය සාක්ෂියේ අවදි වීමක් ලෙසයි.

ගෝඨාභය සහ රාජපක්ෂලා ගෙදර යැවීම අප දුටුවේ අලුත් සමාජයක් කරා යන ගමනේ එක් වැදගත් සංධිස්ථානයක් ලෙස පමණයි. ඒත් කාලයක් යනකොට මේ පුළුල් අරමුණු වෙනුවට අන්තවාදී වාමාංශික සටන් පාඨ අරගලය තුළ වර්ධනය වන්නට පටන් ගත්තා.

පාර්ලිමේන්තු ක්‍රමය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොපිළිගන්නා, ක්‍රම විරෝධී  හැඟීම් මත පමණක් දුවන, කුඩා කල්ට් කිහිපයකට මිස පොදුවේ සමාජයට එකඟ වෙන්න බැරි හිස් සටන් පාඨ අරගලයේ අධිපති මතය බවට පත්වුණා.

මේ සියලු දේ මෙසේ තිබියදී ම, රටේ ආර්ථික ප්‍රශ්න උච්ඡතම ස්ථානයට පැමිණි අවස්ථාවේ රටේ මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක දවසක එළියට බැහැලා ගෝඨාභය රාජපක්ෂ පන්නා දැම්මා. ඒක සිදුවුණේ පසුගිය අවුරුදු තුනහමාරක් තිස්සේ ම ලංකාවේ සමාජය තුළ ගොඩනැගුණු පීඩනය පුපුරා යාමක් විදියටයි.

ඒත් අන්තවාදී වාමාංශිකයන් මෙය දුටුවේ සියලු ප්‍රශ්න අමතක කොට ගෝඨාභය පන්නා දමන්නට ජනතාව එකතු වීමක් විදියට නොව, ඔවුන් ගේ ඔළුව ඇතුළේ තිබුණු සමාජවාදී විප්ලවයකට මිනිසුන් එකතු වීමක් ලෙසයි.

මෙ මුලාවෙන් අන්ධ වී ඔවුන් විවිධාකාරයේ ඔල්මාද වැඩ කරන්නට පටන් ගත්තා. මන්දිර අල්ලන්නට, ටීවී චැනල් අල්ලන්නට, පාර්ලිමේන්තුව වටලන්නට පටන් ගත්තා. පොදු සමාජයේ මධ්‍යම පාංතික තීරුව ඉක්මනින් ම එයින් ඈත් වුණි.

මේ අතර තනි අලියෙක්ව සිටි රනිල් වික්‍රමසිංහයන් මේ අවස්ථාවේ “මර්දකයාගේ” භූමිකාව නිරූපණය කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ජනපති වරමක් ලබාගන්නා  ලදි. දැන් රනිල් හිතුවාටත් වඩා ඉක්මනින් මර්දකයාගේ චරිතය රඟපාන්නට පටන් ගත්තා. ඔහු ආවේ ඒ වැඩේට ම නිසා ඒ ගැන විශේෂයෙන් පුදුම වෙන්නේ නැහැ.

ඒත් මුල් කාලයේ අරගලයට තර්ජනයක් එල්ල වූ සැණින් දස දහස් ගණනක් මධ්‍යම පාංතික ජනතාව ගාලු මුවදොර අරගල භූමියට පිරුණා. මැයි 09 වැනිදා පොහොට්ටු මැරයන්ගෙන් ගාලු මුවදොර රැකගන්නට පෙරමුණ ගත්තේ කොළඹ කාර්‍යාලවල වැඩ කරන අයයි. එදා වේල හොයගන වැඩ කරපු මිනිස්සුයි.

ඒත් මේ වෙනකොට ගාලු මුවදොර මෙතරම් විශාල මර්දනයකට මුහුණ දෙන අවස්ථාවක වුණත් මධ්‍යම පංතිය සක්‍රීයව එයට මැදිහත් වෙන්නට සූදානම් බවක් පේන්නේ නැහැ. ඔවුන් මේ ප්‍රශ්නය වාමාංශික කණ්ඩායම් සහ අරගලයේ ඉදිරි පෙළ ප්‍රකාශකයන් ලෙස පෙනී සිටින අය තතිව විසඳාගත යුතු ප්‍රශ්නයක් ලෙස හිතන බව පෙනෙන්න තිබුනා.

තවත් විදියකට කිව්වොත් මේ රටේ මධ්‍යම පංතිය මේ වෙලාවේ ඉන්නේ “උඹලාගේ ප්‍රශ්න උඹලාම විසඳාගනිල්ලා” කියන මතයේ බව පෙනෙනවා. මේක අරගලයේ මුල් කාලයට සාපේක්ෂව සිදුවුණු ඉතා ම විශාල කඩාවැටීමක්. මෙහෙම දෙයක් සිදුවුණේ ඇයිදැයි අපි සියලු දෙනා ම ගැඹුරින් සිතා බැලිය යුතුයි. විශේෂයෙන් ම අරගලය තුළ සිටින වාමාංශික පක්ෂ නියෝජිතයන්, ඔවුන් ගේ අනුබද්ධ සංවිධානවල නියෝජිතයන්, අන්තරය වැනි ශිෂ්‍ය සංවිධාන නියෝජනයන්, වෘත්තීය සමිති නායකයන් මේ ගැන අවංකව විමසා බැලිය යුතුයි.

අන්තවාදී, අරාජිකවාදී සටන් පාඨ නිසා කොහොමටත් ඔවුන්ට මධ්‍යම පංතිය සමග දේශපාලන ගනුදෙනුවක් ගොඩනගාගන්නට බැහැ. මධ්‍යම පංතියෙන් ආවරණයක් නොලැබීම නිසා ඔවුන් දැන් මර්දනකාරී පසුබිමක් ඇතුළේ හුදෙකලා වෙලා ඉන්නවා. වාමාංශික කණ්ඩායම්වලට අවශ්‍ය එහෙම හුදෙකලා වීමක් හිතාමතා ම හදාගෙන සදාකාලිකව ම වින්දිතයා ගේ චරිතය රඟපාන්නදැයි කියා අවංකව ම දන්නේ නැහැ. ඒත් ඔවුන්ගේ කවයෙන් එළියේ ඉන්න මුල සිට ම අරගලයට සම්බන්ධ වූ බොහෝ මිනිසුන් මේ හැම දෙයක් තුළ ම විශාල අවුලක් දකිනවා.

මේ අවුල ලිහාගන්න නම් අප නැවත වතාවක් අරගලයේ මුල් කාලයේ තිබුණු හැඩය සොයාගත යුතුයි. අන්තගාමී වාමාංශිකයන් විසින් තමන් ගේ සීල් එක ගසා හයිජැක් කරන්නට කලින් අරගලය ඉල්ලා සිටි උසස් සහ විචිත්‍ර අරමුණු යළි සිහිපත් කරගත යුතුයි. මුල් කාලයේ අප සිතූ විදියට ම ‘අරගලය’ සමාජයේ පරිවර්තනීය බලවේගයක් බවට පත් කරගත යුතුය තිබුනා. මේ පරිවර්තනයේ ශක්තිමත් ම බලවේගය වන්නේ නාගරික සහ අර්ධ නාගරික මධ්‍යම පංතියයි. අන්ත වාමාංශික සහ අරාජිකවාදී සටන් පාඨ නිසා ඔවුන් අරගලයෙන් ඈත් කරගැනීම කියා කියන්නේ ම අරගලයේ අවසානයට පාර කපාගැනීමක්.

මේ ප්‍රශ්නය විසඳා නොගන්නට තව ටික කාලයකින් ඉතුරු වන්නේ අරගලයේ සුන්බුන් ටිකක් සහ අඳුරු දේශපාලන මතකයක් විතරයි.

~ කරුණාරත්න දිසානායක ~

Your email address will not be published. Required fields are marked *