13 සංශෝධනය, ජාතික අසමගිය හා සතුරු විරසකයට විසදුමක්‌ නොවේ

13 සංශෝධනය, ජාතික අසමගිය හා සතුරු විරසකයට විසදුමක්‌ නොවේ

58 views
1

නිදහස් දින සැමරුමට පෙර ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන බවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය මුළුමනින් බලාත්මක කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර දැන් දින ගණනක් ගතවී තිබේ. රාජාසන කතාවේ දී ජනාධිපතිවරයා, 13 බලගැන්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගනු ඇතැයි ද ඇතැමෙක් කීහ.  ඒ දෙකම සිදු වූයේ නැති වුව 13 පිළිබඳ කතිකාව තවමත් පැසවමින් පවතී. මේ වන විට 13 පදනම් කර ගත් ජාතිවාදී කලබැගෑනියක්  රට තුළ ඉස්මතු කිරීමේ උත්සාහයක් ද මතු ව තිබේ. එය භයානක තත්ත්වයකි.

ජනාධිපතිවරයා 13 පිළිබඳ අදහස ඉදිරියට ඇද ගන්නේ එය යථාවක් බවට පත් කිරීමේ අවංක අරමුණ පෙරදැරි ව යැයි සිතන්නට කරුණු නැත.13 යනු උපන් ගෙයිම උතුරේත් දකුණේත්  විරෝධයට ලක් වූ දරුවෙකි. උතුරේ ඇතැම් පිරිස් 13න් සෑහීමකට පත් වන්නේ නැත. දකුණේ ජාතිවාදී කණ්ඩායම් ඇතුළු තවත් අය විවිධ හේතු මත 13ට විරෝධය පාති. ඒ අනුව මේ මොහොතේ 13 බලාත්මක කරන්නට හෝ අහෝසි කරන්නට ජනපතිට හැකියාවක් නැත. බලාත්මක කරන්නට මෙරට ජාතිවාදීන්ගෙන් ඉඩ නො ලැබේ. අහෝසි කරන්නට ඉන්දියාවෙන් අවසර නැත.

මැතිවරණයක් ආසන්නයේ ජනාධිපතිවරයා හදිසියේ13 ඇද ගැනීම පිටුපස දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීමට මුවා වූ වෙනත් කරුණු ඇතැයි අනුමාන කළ හැකිය. එකක් පොහොට්ටුව අලියාත් වැටී සිටින වළෙන් ගොඩ යාමේ මඟක් 13 හරහා පාදා ගැනීම ය. අනෙක රටේ පවතින සැබෑ ප්‍රශ්න ජන මනසින් යටපත් කර දැමීමය. 13 සංශෝධනය මීට පෙරද මෙරට බල අරගලයේ තුරුම්පුවක් වශයෙන් යොදා ගනු ලැබුණි. මහින්ද රාජපක්ෂගේ තර්ටීන් ප්ලස් එයට නිදසුනකි.

 ඉදිරි මැතිවරණය හමුවේ අසරණ වී ඇත්තේ ආණ්ඩුව සහ පොහොට්ටුව පමණක් නොවේ. ආණ්ඩුවේ හවුල්කාරයන් ව සිටි විමල්, උදය ඇතුළු කණ්ඩායම් ද අසරණ පිරිසට අයත් ව සිටිති. 13 ට විරුද්ධ හොරණෑකාරයන් බවට ඔවුන් පත් ව සිටීමෙන් වැටුණු වළෙන් ගොඩ එන්නට 13 යොදා ගැනීමේ ඔවුන්ගේ උත්සාහය පැහැදිලිය. ඒ අතර ගෝඨා ගංගාරාමයට යයි. බැසිල් රට ගොඩ ගන්නට සූදානම් බව කියයි. අවශ්‍ය මොහොතක ඉදිරියට එන්නට ජාතිවාදී භික්ෂු බළඇණිය ද සූදානම් ය.  මේ සියල්ල තැන තැන රඟ දැක්වෙන එකම නාටකයක කොටස් බවට සැකයක් නැත. රට දෙකඩ වීමේ භීතිය මවා පා ජන මනස කුරුවල් කර රාජපක්ෂවාදීන්ට පාර කපන්නට අවශ්‍ය වටපිටාව දැන් සූදානම් කෙරී තිබේ. 

ප්‍රශ්නයක් ඉදිරියට ඇද දැමීමෙන් ප්‍රශ්නයක් අමතක කරන්නටත් යටපත් කරන්නට හැකියාව තිබේ. බදු වංචා, දූෂණ, පැන්ඩෝරා පත්‍රිකා, කුසගින්න, බදු බර ආදිය නො දුටු නෙත් ඇතිව සිටි භික්ෂූන් සහ ජාතිවාදීන් ගේ රට බේරා ගැනීමේ කුලප්පුව ජනතාව ඒ අර්ථයෙන් වටහා ගත යුතුය.

ජනාධිපතිවරයා 13ගැන කතා කරන්නේ පළාත් පාලන මැතිවරණය නො පවත්වා ඉන්නට ගත හැකි සියලු උත්සාහ  දරමින් සිටින අතරය. පළාත් සභා මැතිවරණ වසර ගණනක් තිස්සේ කල් දමා තිබේ. පළාත් සභා මැතිවරණයට කිසිදු උනන්දුවක් නො දක්වන ජනපති පූර්ණ බලය බෙදීමක් ගැන කතා කරයි.

යුද්ධයේ අවසන් දිනවල හමුදාවට බාර වූ දෙමළ ජනතාව  3000 පමණ අතුරුදන්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කරන ලද සංහිඳියා කොමිසම කියා තිබේ. 13ට පෙර ජනපතිට ඒ ගැන අවශ්‍ය පියවර ගන්නට පුළුවන. හමුදාව විසින් අත්පත් කර ගෙන සිටින දෙමළ ජනතාවගේ ඉඩම් සම්බන්ධ ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න  නිරාකරණය කරන්නට විධායක බලය හරහා කතාවෙන් ඔබ්බට ක්‍රියාත්මක වන්නට ද ඔහුට පුළුවන.  පහසුවෙන් කළ හැකි  සහ ප්‍රමුඛතාවෙන් කළ යුතු එවැනි දේ තිබිය දී 13 ගැන කතා කිරීම නො කෙරෙන වෙදකමකට මුවා වී රට මුළාවේ හෙළීමකි.

13 යනු මෙරට ජාතික ගැටලුවට ඒකායන විසඳුම වශයෙන් පිළිගන්නට ද හැකියාවක් නැත. කඳුරට දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව 13න් මඟහැරී ඇති බැවිනි. එවැනි වටපිටාවක කළ යුතුව ඇත්තේ කාටත් පිළිගත හැකි විසඳුමක් ජාතික ගැටලුවට ලබා දීමට  ව්‍යවස්ථා සම්පාදනයක් හරහා පියවර ගැනීමය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එයට හැකියාවක් හෝ බලයක් ඇත්තේ නැත. හේතුව ඒ සඳහා වන දේශපාලන සුජාතභාවය රනිල් වික්‍රමසිංහ මහතාට නොතිබීමය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පැවරී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ භාරකාරත්වය පමණි. ගෝඨාභය ගේ 69 ලක්ෂයේ ජනවරම සහ වත්මන් පාර්ලිමේන්තුවේ 68 ලක්ෂයේ ජනවරම යන දෙකම 13 බලාත්මක කරනවා ය යන අදහසට විරුද්ධය.13 ගැන පොරොන්දුවක් ඒ ජනවරමේ නැත. මේ 13ට අවස්ථාව නොවේ යැයි සුසිල් ප්‍රේමජයන්ත කියන්නේත්, 13 බලගන්වන්නට රනිල්ට බලයක් නැතැයි, ගෙවිඳු කුමාරතුංග කියන්නේත් ඒ හේතුව නිසාය. රනිල් වික්‍රමසිංහ මහතාට  පැවරී ඇත්තේ ඩී බී විජේතුංග ජනාධිපතිවරයාට පැවරුණු වගකීමට සමාන වගකීමකි. 13 බලාත්මක කරන්නට හෝ අහෝසි කරන්නට රනිල්ට සදාචාරාත්මක අයිතියක් නැත. ඒ වෙනුවට ඔහු කළ යුතු වන්නේ ජන බලයක් සහිත ආණ්ඩුවක් පත් කර ගන්නට ජනතාවට ඉඩ ලැබෙන පරිදි මහමැතිවරණයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර, ජාතික ගැටලුව ඇතුළු රටේ දැවෙන ප්‍රශ්න සියල්ලට විසඳුම් සෙවිය හැකි, ජනතා පරමාධිපත්‍යය සැබවින්ම බලගැන්වෙන, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථික සමානාත්මතාවය ස්තාපිත කලහැකි නව ව්‍යවස්ථාවක් සම්පාදනයකිරීමට අවස්ථාව සලසා දීමය. 

එහෙත් එවැනි අසිරියක්, පොහොට්ටු අලි බෙරයට නැටවෙන, පොත පතින් පමණක් උගතෙකු වූ රනිල් රාජපක්ෂ වැනි බලලෝභී, ජනතා බලයක් නැති ජනාධිපතිවරයෙකුගෙන් බලාපොරොත්තු වීම ඉබ්බෙකුගෙන් පිහාටු ඉල්ලීමක් නොවේද?

~ අනුර කේ එදිරිසූරිය ~

Your email address will not be published. Required fields are marked *