ධනවාදයට විකල්පයක්වූ සමාජවාදය හා සංවර්ධනය

ධනවාදයට විකල්පයක්වූ සමාජවාදය හා සංවර්ධනය

104 views
0

සමාජවාදය පිළිබඳ සාමාන්‍ය අර්ථදැක්වීම මෙවැනි එකකි: සමාජවාදය යනු නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු කරගැනීම සිදුකරන සමාජ සංවිධානය සමස්තයක් ලෙස ප්‍රජාවට හිමි හා ප්‍රජාව විසින් නියාමනය කරනු ලබන එකක් විය යුතු බව ඉදිරිපත් කරන දේශපාලන හා ආර්ථික න්‍යායයි. එහිදී බොහෝදුරට දේපළ හා ස්වාභාවික සම්පත් මත පෞද්ගලික හිමිකාරීත්වයට හා පාලනයට වඩා පොදු අයිතිය හා පාලනය කෙරෙහි අවධානය යොමුකරයි. පුද්ගලයන් හුදකලා සත්වයන් නොවන බව ද, ඔවුන් සමාජයේ පාර්ශ්වකරුවන් බව ද, මිනිසුන් විසින් කරනු ලබන සෑම නිෂ්පාදනයක්ම යම් ආකාරයක සමාජ නිෂ්පාදනයක් බව ද, එම නිෂ්පාදනයට දායක වන සියලුදෙනාට එය බෙදාහදාගැනීමේ අයිතියක් තිබෙන බව ද එයින් කියැවේ. 

මෙනයින් බැලූ කල සමාජවාදය බැලූ බැලුමට ධනවාදයට විකල්පයක්වූ දැක්මක් ලෙස පෙනීයයි. ධනවාදය පදනම් වන්නේ නිෂ්පාදන මාධ්‍යවල පෞද්ගලික හිමිකාරීත්වය, නිදහස් වෙළඳාම හා පුද්ගල තෝරාගැනීම් මතයි. ධනවාදයට තිබෙන ප්‍රධාන විරෝධය වන්නේ එමගින් අසාධාරණය, සූරාකෑම හා ධනය හා බලය ධනවතුන් අතළොස්සක් අත සංකේන්ද්‍රණය කිරීම සිදුවන බවයි. එම ධනය හා බලය ඉන්පසු භාවිතා කරනු ලබන්නේ සමාජය මත ධනවතුන්ගේ හා බලවතුන්ගේ ආධිපත්‍යය පවත්වාගැනීමටයි.

සමාජවාදය පිළිබඳ සංකල්පය ඉදිරියට පැමිණියේ කාර්මික විප්ලවය සමයේ වුවත්, එහි මූලාරම්භය බොහෝ ඈත අතීතයට විහිදෙයි.

ලොව කිසිදු රාජ්‍යයක් තමන් ධනවාදී යයි පිළිගන්නේ නැත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි. ලොව කිසිදු රටක් තම රාජ්‍ය නාමයට ධනවාදී රාජ්‍යයකැයි එකතු කරගෙන නැත. සත්තකින්ම පරම ධනවාදයක් ලොව කොහේවත් ඇත්තේ ද නැත. පරම සමාජවාදය ද නොපවතින්නකි. ලෝකයේ පවතින රාජ්‍යයන් හා සමාජයන් තුළ ධනවාදී මෙන්ම සමාජවාදී ලක්ෂණ ද අඩු වැඩි වශයෙන් දැකිය හැකිය.

නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු කරගැනීම සිදුකරන සමාජ සංවිධානය රජය යටතට පත්වූ පමණින් එය සමාජවාදයක් වන්නේ නැත. එයට මූලික හේතුව වන්නේ රජයට ද හිමිකාරයින් බිහිවීමයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ අතිවිශාල රාජ්‍ය ව්‍යූහයක් තිබේ. එහි අයිතිය තිබෙන්නේ මහජනතාවට යයි පිළිගැනීමක් තිබේ. එහෙත් එය ඇත්තක්ද? රජයෙන් වැටුප් හා වරප්‍රසාද ලබන රජයේ නිලධාරීන් හට රජයේ වැඩි අයිතියක් ඇති බව ඉතා පැහැදිලිය. රජය මෙහෙයවීම සිදුකරන ආණ්ඩුව යම් නිශ්චිත කාලයකට වරක් මැතිවරණ මගින් මහජන ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබේ. එහෙත්, රාජ්‍ය ව්‍යූහය පත්කරගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොවේ. රජයට අයත් ව්‍යවසායවල නිලධාරීන් ද ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව ලක්ෂ 16ක් පමණ වේ. ආණ්ඩුව යයි සැලකිය හැකි බලවේගය වැඩිම වුණොත්, ජනාධිපති, අගමැතිගේ සිට පළාත් සභා හරහා ප්‍රාදේශීය සභා සභාපති හා මන්ත්‍රී දක්වා 5,000කට අඩු පිරිසකි.

ඡන්දයෙන් තේරී පත්වීම ද වර්තමානයේ සිදුකළ හැක්කේ ධනය හා බලය හිමි පිරිසකට පමණි. එනයින් ගත්කල ලංකාවේ පවත්නා ක්‍රමය සමාජවාදයක් නොවේ. එහෙත්, සමාජවාදී මූලධර්ම මත පදනම් වූ අධ්‍යාපනය, සෞඛ්‍යය, සුබසාධනය, සමුපකාර ආදී පද්ධති ද ශ්‍රී ලංකාවේ තිබේ. ලොව බොහෝ රටවල තත්වය ද ඒ හා සමානය.

ලෝකයේ රාජ්‍යවල පවතින සමාජ ක්‍රම සමාජවාදී හා ධනවාදී ප්‍රතිපත්තිවල සම්මිශ්‍රණයක් ලෙස සැලකිය හැකිය. සමාජ විෂමතා අවම කිරීමටත්, පුද්ගලයන් අත ධනය හා බලය සංකේන්ද්‍රණය වීම පාලනය කිරීමටත්, තීරණ ගන්නා ආකාරය ප්‍රජාතාන්ත්‍රික කිරීමටත්, මහජන නියෝජනය විධිමත් කිරීමටත් ලොව දියුණු රාජ්‍ය නිරන්තර අවධානය යොමුකරයි. එහි ප්‍රතිඵලයක් ලෙස දියුණු ධනේශ්වර රාජ්‍යවල ජීවත්වන ජනතාවට වඩාත් සාධාරණ ජීවන තත්වයක් හිමිවී තිබේ. එය සමානාත්මතාවාදය හෙවත් ඉගලිටරියනිස්ම් ලෙස හැඳින්වෙන සියලු මිනිසුන් සමානය යන මූලධර්මය මත පදනම් වන්නකි.

1848දී කාල් මාක්ස් හා එංගල්ස් විසින් සම්පාදනය කරන ලද කොමියුනිස්ට් පක්ෂයේ වැඩපිළිවෙලෙහි සංවර්ධනය සම්බන්ධයෙන් මෙසේ දැක්වේ: “සෑම පුද්ගලයකුගේම නිදහස් සංවර්ධනය සඳහා අවශ්‍ය වන මූලික කොන්දේසිය වන්නේ සියලුදෙනාගේ නිදහස් සංවර්ධනයයි.”

ධනවාදය හා සමාජවාදය අතර සංවාදය පැත්තකින් තැබුවහොත්, ලෝකයේ පවත්නා රාජ්‍ය විසින් සාකච්ඡා කර ජාත්‍යන්තර ප්‍රභූ බුද්ධිමතුන්ගේ බලපෑමෙන් සම්පාදනය කර, සියලු සාමාජික රාජ්‍යවල එකඟතාව ලබාගන්නා ලද තිරසර සංවර්ධන අරමුණු යම් දුරකට සංවර්ධනය පිළිබඳ පොදු සම්මුතියක් ලෙස සැලකීමේ වරදක් නැත.

ලංකාවට අවශ්‍ය වන්නේ ලෝකෙටම ණයවී ඉදිකර සංදර්ශනාත්මකව ප්‍රදර්ශනය කරනු ලබන නෙළුම් කුළුණ පන්නයේ මෙගා සංවර්ධන ව්‍යාපෘතිද, නැතිනම්, තිරසර සංවර්ධන මූලෝපායක්ද?

~ කරුණාරත්න දිසානායක ~

Your email address will not be published. Required fields are marked *