කොසොල් රජ නොදුටු සිහින…

කොසොල් රජ නොදුටු සිහින…

156 views
0

මහාචාර්ය සුනිල් ආරියරත්න පබැදු නන්දා මාලනි ගායනා කරන සරුංගලේ ගීතය එකලට මෙන්ම මෙකලටත් මනාව ගැලපේ. සැබවින්ම එය වඩා ගැලපෙන්නේ අද ටය. රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායම් උපදවන සේවකයකු ගෙන් විශේෂ බද්දක් අය කිරීම ජනවාරියේ සිට ආරම්භ කර ඇත. මෙරට ඇතැම් වෘත්තිකයන්ගේ මාසික වැටුප  අවම වශයෙන් ලක්ෂ තුන හතරක් වන බව තව දුරටත් රහසක් වන්නේ නැත. මේ  නව බද්ද නිසා ඇතැම් වෘත්තිකයන්ගේ මාසික  වැටුපෙන් රුපියල් තිස් පන් දහසක් වැනි මුදලක් සමහර විට ඊටත් වඩා වැඩි මුදලක් ආදායම් බද්දට යටත් වන බව කියවේ. සමාජයේ එම ස්ථරය නියෝජනය කළ සුපිරි සුදු කරපටි කරුවන් මෙතෙක් කල් නිහඬව සිටියේ අපට කන්න තියෙනවා නම්, බොන්න තියෙනවා නම් මොන කෙංගෙඩියක් ද තව ඉල්ලන්නේ යන හැගිමෙන් බව නොරහසකි .

බඩට වැදීමෙන් ඔවුන් බහුතරයක් අද පරල වී ඇත. මෙම ඉහළ ස්ථරය නියෝජනය කරමින් සිටින්නේ මේ රටේ රාජ්‍ය අංශයේ ඉහළම නිලධාරීන් ය. ඔවුන් තමන් ගේ ඉහළ වැටුප ට සරිලන සේ සිය වියදම් ජාලය සකසා ගෙන තිබුණි. ඔවුන් පමණක් නොව ඔවුන් ගේ අඹු සිගිත්තන් ද ඉහළ ආදායම ට සරිලන සේ සිය දෛනික ක්‍රියාකාරකම් සකසා ගෙන තිබුණි. සේවය නිම කර සවස නිවසට පැමිණ විට බිරියන් ගේ සහ දරුවන් ගේ පෙරැත්තය නිසා නැවත සැදැ සවාරියක් යාමද ඉහළ පෙළේ අවන් හලකින් රෑ කිස සමහන් කර ගැනීමට ද ඔවුහු නොමසුරු වූහ. තම ආයතනයේ ම සේවය කරන සුලු සේවකයා ද පාන් රාත්තලක් ගෙදර ගෙන ගොස් පොල්සම්බෝලයක් සමග අඹුදරුවන් මැදි කර ගෙන එය ගිල දැමුවේ රසමසවුළු ක් ලෙස ය. ඒ සුලු සේවකයා ද නට්ටන් වූයේ මෙයට ටික කාලයකට පෙරය. දැන් ඔවුන් ට පාන් කියාගනනවත් බැරිය.

දැන් අපි යලිත්  අපේ කතා නායකයාට සවන් දෙමු. අපේ කතා නායකයා වෘත්තිකයකි. හෙතෙම මෙතන ට ආවේ බොහෝ කැපකිරීම් කරලාය. මේ  ලබා ගත් තනතුර දේශපාලකයින් ට කඩේ ගොස් ලද තනතුරක් නොව (සුළු පිරිසක් එසේ වියහැක) තමන් මහන්සියෙන් උසස් අධ්‍යාපනය ලබා උපයා ගත් දෙයකි. ඊට සරිලන වැටුපක් ලැබිමට ඔහුට ගිය වසර තෙක් අවකාශ තිබුණි. ඒ නයින් තම සිතැගි පරිදි නිවාස ණයෙන් ද ලක්ෂරි වාහන ණයෙන් ද එකි මෙකි නොකි විවිධ බැදීම් වලින් ද රිසි පරිදි ගත වෙලාගෙන ඉන්ද්‍රඛීලයක් සේ නොසැලි සිටිමට ඔවුන් ට හයියක් තිබුණි .

එහෙත් මේ බද්දෙන් ඔවුන් අතිශය බරපතළ ජීවන අරගලය ක් වෙත තල්ලු කර දමා ඇත. මේ සියලුම ණය කැපී ගොස්  ඉනික්බිතිව බද්දේ කැපිල්ලෙන් පසු  අතට ඉතිරි වන සොච්චමෙන් ඔවුන් ට  දිවි ගත කිරීමට යෝජනා කරන හෙවත් බල කරන බලදරුවන් කෙතරම් මුග්දයන්  පිරිසක් ද  යන්න නිර්ණය කර ගත නොහේ.මෙවර බදු අය කර ගැනීමේ ක්‍රමවේදය අතිශය සාහසික වේ. මක් නිසා ද යත් මූලික වැටුප වෙනුවට දීමනා සහිත සමස්ථ වැටුප පාදක කර ගෙන බදු අය කිරීම නිසා ය. මේ නිසා මේ  රටේ වෘත්තිකයන්ට යන එන මං නැතිවී ඇත .

මෙම පසුබිම තුළ මෙරට බහුතරයක් වෘත්තිකයන් රට අතැර යාමට සූදානම් වෙමින් සිටින බව නොරහසකි. බුද්ධිගලනය පිළිබඳව අඩෝවැඩියාවෙන් වේදිකා වල ද රූපවාහිනී සැදෑ සාද වලදී (බොහෝ රූපවාහිනී සංවාද සාද වලට සර්ව සමය)  කිඹුල් කදුලු හෙළා  රට අතැර යන වෘත්තිකයන්ගේ පැටිකිරිය පට්ට ගසන දේශපාලන නායකයින් ගේ කටවල් ද වැසී ගොස් ඇත.

හෙට අනිද්දා වන විට විශේෂඥ වෛද්‍ය වරුන් ගේ පුටු වලට සාමාන්‍ය වෛද්‍යවරුන් ට වාඩි විය හැක. ඉංජිනේරුවන් ගේ පුටු වල තාක්ෂණ නිලධාරීන් ට වාඩිවිය හැක. විධායක නිලධාරීන් ගේ වැඩ කළමනාකාර සහකාර වරුන් ට ආවරණය කළ හැකි ය.මේ සියල්ලේම අනිවාර්ය ප්‍රතිඵලය කිම? විශේෂඥයන් රාජ්‍ය අතහැර විදෙස් ගත වීම සහ එහි ආදීනව පිළිබඳව ආර්ථික ඔස්තාර්ලා නිර්ණය කර තිබේ ද ? මෙයින් ඇති වන වියවුල කෙසේ සමහන් වේද? කොසොල් රජ තුමා දුටු සිහින වල යම් ඌනතාවය ක් ඇති බව මට සිතේ. එක්කෝ කොසොල් රජ තුමා ට මේ සිහින පෙනී ඇති නමුත් ඔහු ඒවා ඕනෑකමින් සගවා සිට ඇත. නැතහොත් කොසොල් රජ තුමා ගේ සිහින පිළිබඳ පවත වැරදි ලෙස ඉතිහාසයේ සටහන් වී ඇත . මේ දෙකම නොවේ නම් කොසොල් රජ තුමා ඔය කියන සිහින දැකලාම නැත .

රටක ක්‍රම වෙනසක් අපේක්ෂා කරන සැබෑ ජනතා අරගලයක් ජයග්‍රහණයෙන් කෙළවර වීමට නම්, අරගලයකින් විනා වෙන කිසිම පෞද්ගලික වාසියකින් සන්සිදිය නොහැකි වාස්තවික තත්වයකුත් (Objective Condition ) විශයමුල තත්වයකුත් (Subjective Condition) යන ද්වයම, රට තුල සාතිශය බහුතරයක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන පාලනයක් විසින් නිර්මාණය කලයුතුයි. රනිල් රාජපක්ෂ රෙජීමය දැන් එම තත්වය නිර්මාණය කරමින් ඇත. දැන් අරගලය ජයග්‍රහණයෙන් කෙළවර වී වෙනස් මාවතකට අවතීර්ණ වීමේ කාලය පැමිණ ඇත.

~ එස් .එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *