සිසුන්ගේ පහරදීම වයසේ වැරැද්දක්ද ? ජාතිකයයි කියාගත් අධ්‍යාපනයේ පරාවර්තනයක්ද ?

සිසුන්ගේ පහරදීම වයසේ වැරැද්දක්ද ? ජාතිකයයි කියාගත් අධ්‍යාපනයේ පරාවර්තනයක්ද ?

277 views
1

තමන්ට දඩුවම් දුන් දිසාපාමොක් ආචාර්‍යවරයාගෙන් පලිගන්නට ක්‍රියා කල කුමාරයෙකුගේ රසවත් කතාවක් ජාතක කථා පොතේහි සදහන් වේ. එය ගැන කිවහොත් මේ කුමාරයා සොරා කෑවේ රසවත් තලය. තල සොරෙන් කෑමට කල දඩුවම ඉවසාගෙන දිගු කලක් බලා සිට රජකම ලද පසු ගුරුවරයාගෙන් පළිගැනීමට හිතා ගනී. කෙසේ  වෙතත් අවසන් මොහොතේ තමා කරන්න යන ක්‍රියාවේ බරපතල කම වටහා ගන්නා ලදි.

වර්ථමානයේ ශිල්ප ලබන කුමාරවරු මේ තරම් ඉවසිලිවන්ත වන්නෙ නැත. ගුරුවරුන්ට පහර දෙන්නට මොවුන්ට රජකම අවශ්‍ය නොවෙයි. ගුරුවරයාගෙන් පිටවන ඔවදනක් පමණක් මෙයට ප්‍රමාණවත් වේ. මොවුන්ට රජකම ලැබුනහොත් මොනවා වේදැයි සිතා ගත නොහැක.

මීට දින කිහිපයකට පෙර අවසනාවන්ත පුවතක් මාධ්‍යතුල ප්‍රචාරය විය. ඒ හෙල්මට් නොමැතිව යතුරුපැදි ධාවනය කරන අවස්ථාවෙ කොලුගැටයන්ට ඔවදන් දුන් පුද්ගලයෙකු හට අතැති හෙල්මට් මගින් පහරදී මරණයට පත්කර ඇත.

ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදිවල ගමන් කරන ලෙස ලබා දුන් උපදෙස් නිසා ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස්, ආරක්ෂිත හිස් වැසුම් වලින්ම පහර දී එම පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනාට මෙම මස 28 වනදා දක්වා රැදවුම් නියෝග ලබා දී තිබෙනවා.

වැලිපැන්න – අලුත්ගම මාර්ගයේ ගලමත්ත කුරුදිප්පිට පාරට හැරෙන මංසන්දිය අසළදී යතුරු පැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන් පිරිසකටයි ඝාතනයට ලක් වූ පුද්ගලයා හිස් වැසුම් පළඳින ලෙස උපදෙස් ලබාදී තිබුණේ. එහිදී ඊට උරණ වූ පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි මෙම සිසුන් ඔහුට හිසේ පැළදීමකින් තොරව තම අත්වල රඳවාගෙන තිබූ හිස් වැසුම් වලින් බරපතල ලෙස පහර දී තිබෙනවා. 34 හැවිරිදි එක්දරු පියෙකු වන ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වුණා.

මෙම සිසුන් හට නීතිය නිසි ආකාරයෙන්ම ඉටුවිය යුතුය. මෙවැනි පාපතරයන් අනාගතයේ ගෝඩ්පාදර්ලා වීමේ ආකාරය මේ ආකාරයෙන් පෙන්නුම් කරයිනම්. නීතීය නිසි අයුරින් ඉටුවී අගතියට පත් තැනැත්තන්ට යුක්තිය සාධාරණයක් ඉටුවිය යුතුය.

වර්ථමාන සමාජයේ නව යොවුන් වියේ පසුවන සිසුන් මෙලෙස හැසිරෙන්නෙ මන්ද යැයි අප සොයා බැලුවහොත් එය සමාජ තත්ත්වය තුල වැරැද්දක්ද? , වයසේ වැරැද්දක්ද ? ඔවුන්ගේ වැරැද්දක්ද ?

ඉතා නවීන අලංකාර හැඩයෙන් යුතු අලුතින් නිර්මාණය වෙමින් පවතින මෝටර් රථයක් පිළිබඳ සිතන්න. මෙහි වේගය වැඩි කරන ත්වරණකාරකය (ඇක්සලරේටය) හොඳින් සාදා නිමවා ඇතිමුත් තවමත් තිරිංග පද්ධතිය සම්පූර්ණයෙන් නිමවා නැති බව සිතන්න. නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ සිතද ඇත්තටම ඊට සමාන බව විද්වතුන් පවසනවා.

එය ජවයෙන්, උදේ‍යාගයෙන්, නිර්මාණශීලීත්වයෙන් සහ වේගයෙන් ඉදිරියට ගියද, ආවේග පාලනය අතින් තවමත් සම්පූර්ණ වශයෙන් වර්ධනය අවසන් වී නොමැති වයසකයි පසුවන්නේ. එනිසා මේ වයසේ පසුවන දරුවන්ගේ හැසිරීම් රටාව සහ බහුලව ඇතිවිය හැකි මානසික ගැටලු පිළිබඳව නිරන්තර අවබෝධයෙන් පසුවීම වැඩිහිටි අපගේ යුතුකමකි.

අවදානම් ක්‍රියාවන්හි නිරත වීම, මානසික ආතතිය, සමාජ භීතිකාව වැනි කංසා තත්තවයන්, විභාග සඳහා අනිසි ලෙස බිය වීම, අධික ලෙස විද්‍යුත් තිර භාවිතයට පෙලඹීම, මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹීම සහ විශේෂයෙන්ම තමා විසින් තමන්ටම හානිකර ගැනීමට පෙලඹීම මෙම වයසේ දරුවන් අතර දක්නට ලැබෙන බහුල මානසික ගැටලු කිහිපයකි. මෙම ගැටලු මුලින්ම හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත්. මන්දයත් ජීවිතයේ වැදගත්ම සංක්‍රාන්ති සමය, තීරණාත්මක අධ්‍යාපන සහ වෘත්තීය කඩඉම් පසුකරන සමය වන්නේ මෙම නව යොවුන් වියයි.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍යයන් අත්හදා බැලීම, විවිධ නුසුදුසු අනාරක්ෂිත ලිංගික ක්‍රියාවලට යොමුවීම, ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට යොමුවීම මෙම වයසේදී දැකිය හැකි අනෙකුත් ගැටලුකාරී තත්ත්වයන්ය. එතුළ ඇතැම්විට ජීවිත අවදානමට පවා ලක්විය හැකි අත්හදා බැලීම්වලට පවා යොමුවිය හැකිය. උදාහරණයක් ලෙස අනාරක්ෂිත ස්ථානවල දිය නෑමට ගොස් ජීවිත අහිමි කරගන්නා නව යොවුන් වියේ පසුවූ සිසුන් පිළිබඳ අපට වරින්වර අසන්නට ලැබිණි. මෙවැනි අවස්ථාවලදී බොහෝ තීරණ ගන්නේ ආවේගශීලීව අවසන් මොහොතේය.

ගැටලු නිරාකරණය කිරීමේ නිසි ක්‍රමවේදයන් කුඩා කල සිටම දරුවන්ට හුරු කිරීම තුළ, හදිසි අවස්ථාවදී අදාළ තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට දරුවාට එය රුකුලක් වේවි. මෙය හුදෙක් සමාජයෙන් නොව දෙමව්පියන් හා තමන්ගේ පවුල තුලින් ඉගැන්විය යුතු දෙයකි. තවද වැඩිහිටියන්ට ගරු කිරීම, ගරුසරු කිරීම , කියන දේ ඇසීමට පුරුදු කල යුත්තේ තම පවුලෙන් ය. අනාගත දරු පරපුර වෙනුවෙන් ඔබත් අදම ඔබේ දරුවන් වෙත හොද නරක කියාදී සමාජයට වැඩදායි පුද්ගලයෙකු බිහි කරන්න.

~ කරුණාරත්න දිසානායක~

Your email address will not be published. Required fields are marked *