අලුත් දේ වුව, අලුතින් උගනිමු

අලුත් දේ වුව, අලුතින් උගනිමු

117 views
0

සාමාන්‍යපෙළ ඉවරවෙලා වැඩි දවසක් ගිහිල්ලත් නැහැ . නමුත් සාමාන්‍යපෙළ ගැන කතා කරන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න මං හිතුවා . සාමාන්‍ය පෙළ කිව්වම අපි එක එක්කෙනාට එන්නේ විවිධාකාර හැඟීම් . ඔතනින් බහුතරයක් දෙනාට මොන සාපයක් ද මන්දා වගේ හැඟීමකුත් අනිවාර්යෙන් එනව . ඒකෙ යම්කිසි සාධාරණීය බවකුත් නැතුව නෙවෙයි . මොකද විෂයක් නවයක් අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගන්නයි පෙළපොත් විස්සක් විතර කටපාඩම් කරන්නයි උනහම ඒකෙ තියන ඒකාකාරී බවත් එක්ක ඕනම කෙනෙක්ට එහෙම හිතෙන්න තියන ඉඩකඩ වැඩියි . මගේ ජීවිතෙත් මම වැඩියෙන්ම සතුටු වුණ දවස තමයි සාමාන්‍ය පෙළ විභාගයෙ අවසාන විෂය තිබ්බ දවස . උසස් පෙළ අවසන් වෙන කොටවත් එච්චර සතුටක් මට දැනිලා නැහැ . අපි ඒ ඒ අවස්ථාවන්හි ඉන්න වයස් මට්ටම්වලදී අපිට දේවල් දැනෙන විදියෙ තියෙන විෂමතාව ඒකට බලපානවා ඇති . 

සාමාන්‍යපෙළ ඉවර වුණ දවසේ අපි යාළුවො ඔක්කොම එකතුවෙලා සින්දු කිව්වා , නැටුවා , කඩදාසි බෝල හදල ගුටි පන්දුත් යැවුවා , කට්ටියක් KFC ගියා , කට්ටියක් Ice-cream කන්න ගියා , තව කට්ටියක් වතුර ගහගත්තා . ඔය විදිහට එක් එක්කෙනා එක එක්කෙනා එක එක විදියට තමන්ට දැනෙන සතුට ප්‍රකාශ කර ගත්තා . 

එදා අපි සතුට ප්‍රකාශ කරගත්තු විදියයි අද වෙනකොට අපේ පුංචි නංගිලා මල්ලිලා සතුට ප්‍රකාශ කර ගන්න කරගන්න විදිහයි යම් තරමකට වෙනස් කියලා සමාජ මාධ්‍යය දිහා බැලුවම ඕන කෙනෙක්ට තේරෙනවා ඇති . මේ සිද්ධියත් එක්ක අද ලිපියට තේමාව පාදක කර ගන්න එක හොදයි කියලා හිතුවා . 

අපි කවුරුත් ඕ ලෙවල් ඉවරයි කියලා කොච්චරක් සතුටු උනත් ඇත්තටම ඒක එක විභාගයක් විතරයි . සමහර වෙලාවට අපි ඒ වයසේ ඉන්නකොට ඊට අවුරුදු දහයකට විතර පස්සේ හිතන දේවල් හිතෙන්නෙ නැහැ ඒක ඇත්ත . නමුත් සාමාන්‍ය පෙළ අවසන් කළා කියන්නේ මුළු ජීවිතයේම කරන්න තියෙන සියලුම කර්තව්‍යයන් අවසන් කියලා හිතන්න ගන්න එක නම් ඇත්තටම ඒ පුද්ගලයා සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් ද කියන එකත් පුදුමයි . කෙනෙක්ට කියන්න පුළුවන් නටන්නෙ වයන්නෙ ගයන්නේ පීඩනය අඩුකරගන්න කියලා . එකඟ විය යුතු කාරණයක් . විෂයන් 9ක් කියන්නේ අච්චු පොත් විස්සක් කියන්නෙ free fire ගහනවා පබ්ජි ගහනවා වගේ දෙයක් නෙවෙනේ . කය මනස වෙහෙසා වැඩ කරපු ශිෂ්‍යයකුට මානසික පීඩනය අවම කරගන්න විභාගයක් ඉවර උනාම යාලුවොත් එක්ක එකතු වෙලා එලියට ගියාට සතුටු උනාට ප්‍රශ්නයක් නැහැ . ටිකක් හයියෙන් කෑ ගැහුවට දැඟලුවට ප්‍රශ්නෙකුත් නැහැ . අන්න ඒ දේවල් වල ප්‍රශ්නයක් දකිනවා නං ඒ දකින පුද්ගලයා තුළ ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන් .

නමුත් ඔන්න ඔතනදි අවධාරණය  කරන්න ඕන කාරණාවක් තමයි තමන් අවුරුදු 11 ක් පුරාවට ඉගෙන ගත්ත ඉස්කෝලෙ විභාග ලිව්ව විභාග ශාලාවේ ඩෙස්ක් පුටු ටික පොලේ ගහලා , වයිට්බෝඩ් ගලවලා , ෆෑන් වල තටු කඩන එක ස්ට්‍රෙස් එක අඩු කරන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් නොවන බව . ඔබ සමාජ මාධ්‍ය භාවිත කරන්නෙක් නම් දැනටමත් දැකලා ඇති ඒ  ඔස්සේ සංසරණය වෙච්ච පන්ති කාමරයේ ඡායාරූපය . ඇත්තටම හදවතට ටිකක් තද කම්පාවක් දැනෙනවා පාසලක් තුලින් ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් සමාජයට දායාද කරනවා වෙනුවට  ම්ලේච්චත්වයෙන් පිරිච්ච මනුස්සයෙක් සමාජයට දායාද වීම කොයිතරම් කොයි තරම් ඛේදවාචකයක් ද කියලා හිතෙනකොට . ඒත් එක්කම තවත් ඡායාරූපයක් සංසරණය වෙනවා පාසලක ශිෂ්‍යාවන් පිරිසක් පාසල ඉදිරියේ පසඟ පිහිටුවා වඳින දර්ශනයක . මේ ගැන කෙනෙක්ට සාධාරණීකරණය කරල මතයක් ඉදිරිපත් කරන්නත් තව කෙනෙක්ට අසාධාරණයි කියලා මතයක් ඉදිරිපත් කරන්නත් පුළුවන් . වඳින එක ඒ ඒ කෙනාගේ අයිති කියලා කියන්නත් පුළුවන් . ඒ කොහොම වුණත් ගස් ගල් වන්දනාව පිළිම වන්දනාව කියන්නේ ශිෂ්ට  සම්පන්න සමාජයක් බිහි වෙන්න කලින් නොදියුණු සමාජයක තිබ්බ ගෝත්‍රික ගති ලක්ෂණයක් කියලා මං මෙතන සටහන් කරලා තියෙන්නම් . 

මේ කරුණු කාරණා කාරණාත් එක්ක  , 2000 ට කලින් එක් කොට්ඨාසයකුත් , 2000 ට පස්සේ එක් කොට්ටාසයකුත් , 2005 ට පස්සේ තවත් කොට්ටාසයකුත් කියලා පිල් බෙදිලා හැම කොටා ගන්න තරම් රටේ බහුතරයක් දෙනා මේ වෙද්දිත් උත්සුක වෙලා තියෙනවා . පරම්පරාවේ වැරැද්දක් ය කියලා ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකකට බැන බැන බැන බැන හිටියට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ . ශිෂ්ට සම්පන්න වීම කියලා සබ්ජෙක්ට් එකක් ඕලෙවල් වලට උගන්නලා , ඒ විෂයත් එක්සෑම් එකට කියලා ශිෂ්ටත්වය කියන දේ ගොඩ නගන්නත් බැහැ . තම තමන් විසින් ඒ දේවල් පුරුදු පුහුණු කරගෙන සමාජය තුළ හැසිරෙනවා නම් ඇත්තටම වටිනවා .

ඕ ලෙවල් කියන්න මුළු ජීවිතේම කියලා විභාග කරන උදවිය ඉන්නව නම් ඒ ලෙවල් කරන්න යන එක මහා අපරාධයක් , එතනින් එහාට ගිහිල්ලා කැම්පස් එකේ එක්සෑම් කරන්න යන එක ඊටත් වඩා අපරාධයක් . PHD ඩිග්‍රි එකක් ගන්න දාට පොළෙ ගහන්න පුටු වෙනම හදන්නත් වෙනවා එහෙම උනොත් . ඒ නිසා කවුරු කවුරුත් තේරුම් ගන්න ඕන දෙයක් තමයි සාමාන්‍ය පෙළ කියලා කියන්නේ ජීවිතයේ එක පියවරක් විතරයි කියන එක . ඕ ලෙවල් හරියට කරේ නැත්නම් කරන්න බැරි වෙන්නේ ඒ ලෙවල් කරන එක විතරයි . ඔයාට ඒ ලෙවල් කරන්න කලින් තියන ස්ටෙප් එක තමයි ඕලෙවල් කියලා තියෙන්නේ. ඉතිං ඒක සාර්ථක විදියට කරගන්නවද  අසාර්ථක විදියට කරගන්නවාද කියන එක තියෙන්නෙත් ඔයාගේ අතේ ම තමයි . 

ඒත් එක්කම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන , සාමාන්‍ය පෙළ කරලා ඉවර වෙලා ඒ තියෙන සතුට හරි වෙන මොකක් හරි අවශ්‍යතාවයක් මත කිසිම විදියකින් පන්ති කාමරයේ හෝ පාසලේ දේපළවලට හානි කරන්න කිසිම පුද්ගලයෙක් පුද්ගලයෙක් ට අයිතියක් නෑ . නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් විදිහට ඒක හඳුන්වන්න පුළුවන් . ඔයා ඒ අවභාවිතා කරන්නේ ඔයා ඒ හානි කරන්නේ රජයේ දේපළවලට . පාසල් ශිෂ්‍යයෙක් හැටියට තම තමන්ට වගකීමක් තියෙනවා ගෞරවාන්විත විදියට තමන් ඉගෙනගත්තු පාසලට සමුදෙන්න . එතනදි දේපළ හානි කිරීම සහ , ගොඩනැගිලි වන්දනාව කියලා කියන්නේ එකම සිද්ධියක තියෙන අන්තවාද දෙකක් . එනිසා  සබුද්ධිමත් ශිෂ්‍යයෙක් විදියට විදිහට ක්‍රියාකරන්න ඕන විදිය මූලිකවම තමන් විසින් අවබෝධ කරගෙන ඉන්න ඕන .

අපි ඉගෙනුම ලැබූ අධ්‍යාපන සංස්ථාව එක සම්බන්ධකම පවත්වද්දී ඒ සබඳතා විචාරාත්මකව පැවැත්වීම අත්‍යවශ්‍යම සිදුවිය යුතුයි . අවිචාරී ලෙසට සබඳතා පැවැත්වීම හේතුවෙන් තමයි ඔය විදිහේ ගැටලු පැනනගින්නේ . මේ ගැන විවිධ මත විවිධ විදියට බොහෝ දෙනෙක් පළ කරල තිබ්බා . 

” අපේ ඉස්කෝලෙ මිශ්‍ර පාසැලක්. හෝඩියෙ ඉඳන් ඒලෙවල් වෙනකං හිටියෙ ඒකෙ. මුලු ඉස්කෝලෙ හතර කොණ හොඳටම දන්නවා. හැරෙද්දි දන්නව අරූ යන්නෙ චූ කරන්නද වෙන වැඩකටද කියලත්. උදේම ඉස්කෝලෙ පිරිසුදු කිරීමෙ ඉඳන් හවස හතට විතර ගේට්ටුවත් වහල යන තරං කාලයක් ඕලෙවල් වෙනකං තිබුණෙ. සමහර මනමාල ගුරුවරුන්ගෙ උදහසට ලක්වුණේ තරුණ ටීචර්ල එක්ක අපේ තිබුණු ෆිට් එක නිසා. පන්ති නායක, ක්‍රීඩා නායක සිට උප ප්‍රධාන ශිෂ්‍ය නායකය වෙනකං වගකීම් තිබුණා. වොලිබෝලයේ ඉඳන් පෑන් විල්ල විදීම දක්වා සෙල්ලමෙත් හිටියා. වලි ද ලෞ ද අනුන්ට ලියුම් ලියල කැන්ටිමෙන් කාපු ඒවාද අඩු නැහැ. හැබැයි කරන්න ඕන නසරානිම වැඩත් කරා. සිංහල උගන්නපු සාදුගෙන් ගේම ඉල්ලීමේ සිට ස්ට්‍රයික් දක්වා තදින් පෙනී හිටියා. කාටත් හොරා සවසට බියර් එකක් සිගරට් එකක් බොන වලෙත් හිටියා. ඒක ජීවිතේ ආතල් ලන්තයක්. ඒත් අන්තිම දවස අදනේත කියල පුටු පෙරලුවෙවත්..දන ගහල වඳින සීන්වත් නැහැ. කට්ටිය සෙට්වෙලා පන්තිය අස්කරල විසිරුණු දවසක් අපිටත් තිබුණා.

අද බුකියෙ සන්සරණය වුණු පොටෝ දෙකක් දැක්ක නිසා මේ ටික ලිව්වෙ. ඔය ළමයින්ට එහෙම වෙන්න ප්‍රධාන හේතුව පොලිටිකල් අවුල. අනික මිත්‍යා ආගමික කලුබණ සහ අන්තරායක මත් ද්‍රව්‍ය. හොයල බලන්න 2023 අවුට් වුණු ළමයි පාසලට ඇතුල් වුණ අවුරුද්ද. එතැන් පටන් උන්ට මේ තත්වය ඇති කළේ කවුද? ” 
සංජය ඈපා සෙනෙවිරත්න

මේ විදියට තමන්ගේ සමාජ මාධ්‍ය ගිනුම තුල අදහස් දක්වලා තිබ්බෙ සංජය ඈපා සෙනෙවිරත්න . ඇත්තටම ඒ කියලා තියෙන විදිහට එක එක අයට එක එක විදියෙ මතක වලින් පිරිච්ච හරි ලස්සන පාසල් කාලයක් තිබ්බා . නමුත් වර්තමානය වන විට ප්‍රකෘති තත්ත්වයෙන් ඔබ්බට ගිහිල්ලා යම්කිසි විකෘති තත්වයක් ඔස්සේ මේ පාසල කියන සංකල්පය තුළ සිටින සිසුන් ගමන් කරන බව මේ වෙනකොට නොරහසක් . 

ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට නොබැන පුළුවන් විදියට සහයෝගයක් දීලා අපි හැමෝටම එක වගේ ඉන්න පුළුවන් සමාජයක් ගොඩනගන්න පුළුවන් නම් අන්න එදාට මේ විදියේ ඛේදවාචක ගැන අහන්නට නොලැබේවි . දේවල් දිහා සිදුවීම් දිහා විචාරශීලී මනසින් බලන්න පුළුවන් නම් , ප්‍රතිචාර දක්වන්න පුළුවන්නම් , තමන්ගේ එහාපැත්තෙ කෙනා මොන වැරදි වැඩ කලත් තමනුත් ඒ දේ කරන්න පෙළඹෙන්නේ නැතුව කළ යුතු දේ පමණක් කරනවා නම් මීට වඩා සඵලදායි නව යෞවනයන් පිරිසක් නුදුරු අනාගතයේ දී බිහි වේවි .

පවනි වාසනා

Your email address will not be published. Required fields are marked *