මාපියාලන්තය

මාපියාලන්තය

100 views
0

ශ්‍රී ලංකාවේ තරම් පාරිභෝගිකයන් ට කෙනිහිලිකම් කරන ලෝකයේ වෙනත් රටක් නොමැත. නොසලකා හැරීම.,මදි පුංචි කම් වලට ලක් කිරීම ,හිංසනයට ලක් කිරීම මේ රටේ පාරිභෝගිකයන් ට දැන් හුරුපුරුදු ය. මේ සියල්ල මෙසේ සිදු වන්නේ පාරිභෝගික අධිකාරි පනතක් ද බලාත්මක වන පසුබිමක් තුළය.
මේ රටේ එක් එක් නිෂ්පාදන සම්බන්ධයෙන් අධිපතිවාදි මාපියාවක් ක්‍රියාත්මක වේ. බිත්තර නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් සියලුම තීරණ ගන්නේ එයට සම්බන්ධ මාපියාව විසින් ය. පසුගිය සමයේ එම මාපියාවේ උච්චතම ක්‍රියාකාරිත්වය මේ රටේ පොදු ජනතාවට දැකබලා ගැනීමට හැකි විය .හෙට බිත්තර වල මිල තීරණය කරන්නේ ද බිත්තර වෙළඳ පොලට නිකුත් කරන්නේ ද නැත්ද යන්න තීරණය කරන්නේ ද මේ මාපියාව විසින් ය.
පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් තීරණ ගන්නේ එයට අදාළ මාපියාව විසින් ය. ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාව ට ලබා දෙන්නේද නැත්ද යන්න තීරණය කරන්නේ මෙම මාපියාව විසින් ය. කොවිඩ් සමයේ ආසන ගණනට පමණක් මගීන් ගෙන යාමට අවසර ලබා දෙමින් වැඩි කළ බස් ගාස්තුව ගැන අද වන විට කිසිදු කතාවක් නැත .
ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධයෙන් අදාළ මාපියාව ඩොලරය අඩුවීමේ වාසිය ජනතාව ලබා දීම ට තවමත් සූදානම් නැත .

මේ සියලුම මාපියාවනට වඩා ඉහලින් සිටින්නේ මූල්‍ය ක්ෂේත්‍රය ට සම්බන්ධ මාපියාව යි.මහ බැංකුව පොළී අනුපාතය ඉහල නැංවීම සිදු කර විසිහතර පැයක් ගත වීමටත් පෙර බැංකු සහ අනෙක් මූල්‍ය ආයතන ස්වකීය නීච සූරාකෑම ආරම්භ කරයි”. ජාතියේ අහවල් එකය”. “අහවල් පෙරගමන්කරු යනුවෙන් පොදු ජනතාව ගොනාට අන්දවා ජනතාව ගේ මුදල් සූරා කෑම කරන මේ මාපියාව නිසා කීප දෙනෙකු ගේ ජීවිත පවා අහිමි විය .සියයට තිස් හතරක් වැනි ගිණි පොලි අනුපාත පවත්වාගෙන යාමට තරම් මේ මාපියාව බලවත් වී ඇත .ආසියාවේ ඉහළම පොළී අනුපාතය ඇත්තේ මේ කොදෙව්වේ බව නොරහසකි .

රටක මෙවැනි අදිසි සහ දිසි මාපියාවන් ක්‍රියාත්මක වන්නේ නම් ඒ පැසිට්වාදී සමාජයක ලක්ෂණ වේ.මේ සියල්ල හැරුණු විට බොහෝ දෙනෙකු කතා කිරීමට බය තවත් මාපියාවක් ඇත .ඒ ටියුෂන් මාපියාවයි.මේ රටේ නාමිකව හෝ කිසිදු නියාමනයක් නොකරන කර්මාන්තය වූ කලී ටියුෂන් කර්මාන්තය යි.මේ නිසා ඕනම ගොනෙකුට ටියුෂන් පංතියක් පවත්වා ගෙන යා හැකි ය.සුදුසුකම් අවශ්‍ය නොවේ.මුඛරිකම සහ හැඩරුව මනාව පවත්වාගෙන යාම එකම සුදුසුකම වේ.මේ ටියුෂන් මාපියාව මෙහෙය වන ත්‍රාඩයින් ගේ මුඛ්‍ය අරමුණ නම් පාසල නම් ඒකකය සම්පූර්ණයෙන්ම වසා තැබීමය.පාසල හෙට දිනයේ වැසෙන බව ට ඔවුන් කැට තබා කියන්නේ තමන් ගේ වාසියට මිස පාසල් වැසී යාම පිළිබඳව ප්‍රකම්පිත නොවේ.
ටියුෂන් මාපියාවේ අග්‍ර ඵලය භුක්ති විදින්නේ අසරණ දෙමාපියන් ය. මාසයේ ටියුෂන් මාස්ටර් ගේ ගතමනාව දෙවන සතියේ නොගෙවීම වූ කලි සිසුදරුවා ට පංතියේ දොර වැසීමය. ඔවුන් සිසුන් සහ දෙමාපියන් සූරා කෑමේ සූත්තරයක් හදා ගෙන ඇත. තියරි ක්ලාස්, රිවිෂන්පේපර් ක්ලාස් ආදී මේ සියල්ල අනිවාර්ය වේ. මේවා ට වෙන් වෙන් වශයෙන් ගාස්තු අයකෙරේ. උසස් පෙළ නම් එක් විෂයයක් සදහා රුපියල් නමදහසකට ආසන්න මුදලක් වැයවේ. ප්‍රධාන විෂයයන් තුනට දළ වශයෙන් විසිහත් දහසකි.මේ කිසිවක් මෙසිරිලක නියාමනය නොවේ. නියාමනය කිරීමට කිසිදු විෂයය භාර ඇමතිවරයකුට අවශ්‍යතාව ඇති බවක් ද නොපෙනේ . ටියුෂන් මාපියාව ට පාතාලයේ සාමාජිකත්වය ද ඇත .එය යාවජීව සාමාජිකත්වයක් නොව ආශ්‍රිත සාමාජිකත්වය කි. ප්‍රතිවාදීන් දඩයම් කිරීමට පාතාලය සම්බන්ධ කර ගනී.මාපියාලන්තයේ තවත් අනේක විධි මාපියාවන් ඇත . ඒ සියල්ල මෙහි විස්තර කිරීමට අවකාශ නොමැත . සෙස්ස පසුවට.

එස් .එම්.ජයසූරිය

Your email address will not be published. Required fields are marked *