මාදක වශගත්වය හා ලංකාවේ තරුණ පරපුර – (Drugs addiction and the Lankan youth)

මාදක වශගත්වය හා ලංකාවේ තරුණ පරපුර – (Drugs addiction and the Lankan youth)

744 views
0

මත් ද්‍රව්‍ය භාවිතය(මාදක වශගත්වය) අද ලෝකය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා දරුණු වසංගතයක් බවට පත් ව ඇත. ඇමරිකාව, ජර්මතිය. බ්‍රිතාන්‍යය වැනි දියුණු රටවල් මෙන්ම බුරුමය තායිලන්තය හා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය කරා පිය මං කරන රටවල් ද මේ ප්‍රශ්නය හමුවෙහි අසරණ වී ඇති බවත් පෙනේ. අතීතයේ දී ද මිනිසා විසින් ශරීරයෙහි උත්තේජනයක් ඇති කරන යම් යම් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන ලද බවට සාක්ෂ්‍ය ඇත.

මත් රකුසාගේ ගොදුරක් බවට අපේ රට පසුගිය දශකය තිස්සේ වේගයෙන් පත් වූ බව පෙනේ. මේ සඳහා ප්‍රබල ලෙස බලපාන හේතූන් දෙකක් වෙයි. එනම් ලංකාවේ පිහිටීම හා පසුගිය දශකයේ ලංකාවේ බල පැවැත් වූ ආර්ථික ක්‍රමය යි. මෙහි දී ලංකාව ලෝකයේ මත් ද්‍රව්‍ය නිපදවන ප්‍රධාන කලාප දෙක වන පකිස්ථානය හා ඉරානය අයත් වන “රත්රන් චන්ද්‍රවංකය” (Golden Crescent) සහ බුරුමය, තායිලන්තය හා ලාඕසය ද අයත් වන “රත්රන් ත්‍රිකෝණය” (Golden Triangle) අතර පිහිටා තිබීම විශේෂයෙන් සැලකිය යුතු ය. මේ නිසා ලංකාවේ ලෝක මත් ද්‍රව ජාවාරම්කරුවන්ගේ කදිම හුවමාරු පොළක් විය. අපේ රටේ බලපවත්වන විවෘත  ආර්ථික ක්‍රමය මෙම උවදුර පැතිරීම සඳහා පිටුවහලක් වූ බව පෙනේ.

වත්මන් ලෝකයේ භාවිතා කරණ දරුණු මත් ද්‍රව්‍ය අතර මොෆන්, අබිං, හෂීස්, මාවා, අයිස් හා හෙරොයින් ආදිය ප්‍රධාන තැනක් ගනී.  ලංකාවේ මින් වැඩිව  ව්‍යාප්ත  වෙමින් පවතින්නේ හෙරොයින් නැමැති මත් ද්‍රවයයි. මෙ මත් ද්‍රව්‍යයේ  බිහිසුණුබව කොතරම් දැයි කිවහොත් මෙයට ඇබ්බැහි වූවෙකුට සදාකාලික රෝගාබාද වලට ලක්ව මිය යාම ට  සිදුවනු ඇත.  අපේ රටේ  කොළඹ, ගාල්ල, මහනුවර වැනි නගරවල මත් රකුසාට හසු වූවන්ගේ ගණන සීඝ්‍රයෙන්  වැඩි වෙමින් පවතී. මේ සඳහා ප්‍රතිකර්ම නොකළහොක් ගම් දනවුවල ද මත් ද්‍රව්‍ය සාමාන්‍ය දෙයක් බවට පත් වන දිනය වැඩි ඈතත නොවනු ඇත.

ලංකාවේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් අතර තරුණ  තරුණියෝ ද සිටිති. රටක අනාගතය හාර ගැනීමට සිටින ජාතියේ  ජීවය බඳු තරුණ  පරපුර  මේ අයුරින් විනාශ වීම රටේම අවාසනාවකි.

මේ තරුණ  පරපුර මෙසේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට හේතූන් ගණනාවක් ඇත. ඉන් ප්‍රධාන තැනක්  තරුණ  ජීවිත කෙරෙහි දක්නට ලැබෙන අනුකරණයට ඇති කැමැත්තට හිමි වේ. තවත් කරුණක් නම් ජීවිතයේ වටිනාකම් පිළිබඳ කරුණ තරුණියන් තුළ පවත්නා ස්වභාවයයි. තවත් විශාල පිරිසක් තමා නොදනුවක් ව ම හැවුකරුවන් මගින් මේ සඳහා ගොදුරු වෙති. එමෙන් ම අද පවත්නා වාණිජමග සමාජය තුළ බොහෝ දෙමවුපියන් මුදල ඉපයීම ප්‍රධාන පරමාර්ථය කර ගෙන ඇති අතර මෙහි ප්‍රතිඵලයක වශයෙන් දෙමාපිය අවධානය හා සෙනෙහස ගිලිහී යාම ලා බාල ජීවිත මත් රකුසා කෙරෙහි යොමුවීමට හේතුවක් වී ඇත.

දැඩි තරගකාරී  තත්ත්වයක් පවත්නා සමාජයක ජීවත් වන තරුණ  තරුණියෝ වැඩි දෙනෙක් සාර්ථක ව අනාගතයට මුහුණ දීමට නොහැකි වේය යන අනියත බියෙන් පෙළෙති. විශේෂයෙන් පාසල් හා පෞද්ගලික පන්තිවලට ගොස් හෙම්බත් වී අනාගත ගැන නිශ්චිත බවක් නොතිබීමෙන් බොහෝ තරුණ  තරුණියන් කල් ගෙවන්නේ විශාල අසහනයකිහි. මෙහිදි ඔවුන්ගේ සමීප  මිතුරා වන්නේ මත් ද්‍රව්‍ය යි. මත් ද්‍රව්‍ය තුළින් ජීවිතයේ ප්‍රශ්න හා පීඩාකාර බව අමතක කර දම්ම ද ඇතැමුන්ගේ අරමුණ වී ඇත.

කුමන අන්දමේ අරමුණකින් මත් ද්‍රව්‍ය ගත්ත ද එහි ප්‍රතිඵලය ඉතාමත් භයානකය. හෙරොයින් ආදී මත් ද්‍රව්‍ය ගත් අයට ඉන් ලැබෙන තාවකාලික සහනය ඉතාමත් සීමිත ය. ඕනෑම හැඩි දැඩි සිරුරක් ක්‍රමයෙන් කෘශ වී වෙව්ලීම, පාචනය හා වමනය ආදී රෝග ලක්ෂණ ඇති කරන අතර මත් ද්‍රව්‍යයන්ට ලොල් වුවන්ගේ මානසික තත්ත්වයේ ද වේගවත් පිරිහීමක් සිදු වෙයි; පෞරුෂය හීන වී යයි. අවසානයේ මත් මාරයා වෙත සිය ජිවිතයෙන් වන්දි ගෙවීමට ඔවුන්ට ද සිදු වෙයි. මෙය මත් මායාවට හසු වුවන් තමන්ට ම කර ගන්නා ව්‍යසනය යි.

මේ හැර පවුලේ සාමාජිකයන්ට, ඔවුන් වෙසෙන සමාජයට හා රටට අත්වන විනාශය ද සුළු පටු නොවේ. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ට ඉන් වැළකීම ඉතාමත් දුෂ්කර ය. ඒ සඳහා මුදල් නොමැති වූ විට සොරකම්, මංකොල්ල කෑම් හා මිනීමැරුම් ආදී ඕනෑ ම බිහිසුණු අපරාධයක් කොට කෙසේ හෝ මත් ද්‍රව්‍ය කරා හඹා යාම බොහෝ විට සිදු වේ. මේ නිසා විශාල මුදලක් නිකරුණේ විනාශ වී යන අතර විවිධ සංස්කෘතික හා සාමාජික ප්‍රශ්න ද පැන නැඟේ. වසර දහස් ගණනක සිට උසස් සංස්කෘතික සාරධර්ම පද්ධතියකට උරුමකම් පෑ රටක තරුණ පරපුර මෙසේ අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වීම අතිශයින් කණගාටුදායක ය.

මේ රටේ තරුණ පරපුර මෙම බිහිසුණු උවදුරින් බේරා ගැනීම සඳහා රජය හා නොයෙකුත් සංවිධාන විශාල ප්‍රයත්නයක් දරතත් මේ ව්‍යසනයෙහි අඩුවීමක් පෙනෙන්නට නැත. විශේෂයෙන් මේ සඳහා රජයට කළ හැකි කටයුතු රාශියක් තිබේ. දැනට විවෘත ආර්ථිකයේ බල මහිමයෙන් ආනයන නීති රීති ලිහිල් වීම ජාවාරම්කරුවන්ට වාසියක් වී ඇත. එ නිසා ආනයන භාණ්ඩ දැඩි පරීක්ෂාවට ලක් කිරීමත්, වරාය ගුවන් තොටු පළ මෙන් ම වෙරළාසන්න ප්‍රදේශවලින් ගෙන එනු ලබන හොර බඩු  ජවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා කටයුත කිරීමක් නොවළහා කළ යුතු වෙයි.

මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය සඳහ අනුබල දෙන සංචාරක ව්‍යාපාරය සඳහා දැඩි නීති රීති අනුගමනය කිරීම ද අවශ්‍යය. දැනටමත් මත් ද්‍රව්‍ය ළග තබා ගැනීම පවා මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් ලෙස නීති ගත කොට තිබේ. එහෙක් එපමණකින් අස්වැසිල්ලක් ලද හැකි නොවේ. මේ ප්‍රශ්නයෙහි හේතුන් සොයා ඊට පිළියම් කළ යුතු ය.

මත් ද්‍රව්‍යවල ආදීනව පාසල් මට්ටමෙන්, තරුණ සංවිධාන මවීමෙන් ග්‍රාමීය හා නාගරික මට්ටමෙන් අවබෝධ කර දීමේ වැඩ පිළිවෙළ මීට වඩා පුළුල් කළ යුතු ය. ප්‍රවෘත්ති පත්‍ර ඇතුළු ජන මාධ්‍ය වලට මෙහි දී විශාල වැඩ කොටසක් ඉටු කළ හැකි ය. මවුපියන් විසින් තම දරුවන් කෙරෙහි පුළුල් අවධානයකින් සිටීම ද ඉතා ම අවශ්‍ය ය. මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් තරුණ පරපුර මෙම ව්‍යසනයෙන් බේරා ගැනීම රටේ හෙට දවස ගැන සිතන හැම දෙනාගේ ම යුතුකම විය යුතු ය.

~ කරුණාරත්න දිසානායක ~

Your email address will not be published. Required fields are marked *