තාක්ෂණයේ කොන්ටම් දියුණුවත් සමග අන්තර්ජාලය භාවිතයේදී  ළමා පරපුර සුරක්ෂිතද? 

තාක්ෂණයේ කොන්ටම් දියුණුවත් සමග අන්තර්ජාලය භාවිතයේදී  ළමා පරපුර සුරක්ෂිතද? 

655 views
11

අන්තර්ජාලය තුල ළමයා නිවැරැදි ලෙස යොමු කිරීම අපගේ කාර්යකි. ළමුන් හට අන්තර්ජාලය භාවිත කිරීමට දැනුම තිබුණ ද එය ආරක්ෂාකාරී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න අප පසක් කළ යුතුමය. දියුණු වන තාක්ෂණය හමුවේ අන්තර්ජාල ගැටලු ද දිනෙන් දින ඉහළ යයි. ඒ සඳහා ස්ථීර විසඳුමක් නොමැති අතර නව තාක්ෂණයන් හමුවේ වත්මන් ළමයින් ඒ පසුපස හඹා යන්නෝ වෙති. එහිදී ළමයා හා අන්තර්ජාලය වෙන් කර තැබීම වූ කලී අනුවණ ක්‍රියාවකි. මෙහිදී ළමයින් හට නව තාක්ෂණය හමුවේ ගැටීමට ඉඩ දී ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට ඉඩ දිය යුතු වන්නේය. මාපියන් තම දරුවා හට නව තාක්ෂණය හමුවේ ගැටීමට ඉඩ දෙනවා සේම ඔවුන් හා සමීප සබඳතාවයන් පවත්වමින් නිතර නිතර තම දරුවා කෙරෙහි අවධානය යොමු කරමින් යහපත් වූ ආකල්ප, ගුණධර්ම දරුවා තුළ වැපිරීමට උත්සුකවීම තුළින් දරුවන් විනාශයන්ට අත වැනීම අවම කර ගත හැකිය. එමෙන්ම අන්තර්ජාල භාවිතයේ පවතින ඍණාත්මක පැති දරුවා හරි හැටි දැනුවත් කලයුතුය. 

මුහුණුපොත හරහා දැන අදුනගන්නා අයවලුන් ඕනවට වඩා තමන්ගේ අඩුපාඩුවක් හෝ දුක් කීමේන් දුක් ඇසීමෙන් පොඩි දරු දැරියන් මුලා කර ගනී. සාමාන්‍ය මිතුරකු සේ මුහුණුපොත හරහා කලක් තිස්සේ  කතාබහ කරමින් අදහස් හුවමාරු කරගෙන ටික කාලයක් යනවිට ඒ මිතුරුකම ආදරයකට හැරීමකට යන්නේ පොඩි වෙලාවකී.  සල්ලාලයන් පොඩි දරු දැරියන්ගේ හිත දිනාගැනීමට සමත් වන්නේ වහසි බස් තුලිනි. ඉන්පසු නොබෝ දිනකින්ම වට්ස්ඇප් ජාලය ඔස්සේ වීඩියෝ ඇමතුම් ගෙන ඔවුහු පැය ගණන් කතාබස් කරයි. ඡායාරූප හුවමාරු කර ගනී. ඒ අතරතුර ඡායාරූප වලින් පටන් ගෙන නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට හුවමාරු කරගනියි. 

අන්තර්ජාල ළමා අපයෝජකයින් බෙහෙවින් උපක්‍රමශීලීය. ඔවුන් බුද්ධිමත් ය. දැනුමින් සන්නද්ධය. බොහෝවිට සමාජයේ යම් වගකිවයුතු විවිධ සමාජ තරාතිරම් නියෝජනය කරනු ලබන පුද්ගලයකු විය හැකිය. එබැවින් නව යොවුන් වියේ පසුවන හැඟීම්වලින් සන්නද්ධ එහෙත් හැඟීම් පාලනයෙන් ව්‍යුක්ත වූ දරුවන් මේ සඳහා ඩැහැගැනීමට මොවුහු විවිධාකාර උපක්‍රම භාවිතා කරති. ව්‍යාජ නම් ගම් මෙන්ම විවිධ තොරතුරු ප්‍රදර්ශනය කරමින් අවුරුදු 40 හෝ 50ක් වන වයස්ගත පුද්ගලයින් අවුරුදු 20ක් 25 වයසේ පසුවන තරුණයකු බවට පත්ව දරුවන් රවටමින් ආකර්ශනීය තොරතුරු සපයනු ලබති. එබැවින් අන්තර්ජාලය භාවිතා කරන දරුවන් එවැනි කපටි කෛරාටික ළමා අපයෝජකයින් හඳුනා ගැනීමට සමත් විය යුතුය.

විශේෂයෙන්ම ෆේස් බුක් (Face Book) ටුවිටර් (Twitter) ස්කයිප් (Skype) ඉන්ස්ටග්‍රෑම් (Instagram) වැනි සමාජ වෙබ්අඩවි තුළ මොවුන් බහුලව සැරිසරන බැවින් ව්‍යාජ ගිණුම් හා පුද්ගලයින් පිළිබඳව ‍යම් හඳුනාගැනීමක් ඔබ තුළ පැවතීම ඉතා වැදගත් වේ.

ව්‍යාජ ගිණුම් තුළ බොහෝ විට අසභ්‍ය පින්තූර වීඩියෝ හා තොරතුරු නිතර හුවමාරු වේ. පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වන පින්තූර හෝ තොරතුරු ඒ තුළ අන්තර්ගත නොවේ. විවිධ ලිංගික පෙළඹවීම් සඳහා ඡායාරූප හා වීඩියෝ මෙන්ම අදහස් ද ඔබ සමඟ හුවමාරු කරගැනීමට උත්සාහ දරයි. ඔබගේ පෙනුම පිළිබඳව වඩාත් ප්‍රශංසා මුඛයෙන් කථා කරන අතර ඔබට උදව් කිරීමට උත්සාහ ගනී. ඉතා ආදරණීය ළෙන්ගතු භාෂාවකින් ඔබව අමතනු දැකිය හැකිය. එවැනි ලක්ෂණ සහිත පුද්ගලයින් හා ගිණුම් තුළින් ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතුයි. අන්තර්ජාලයේ සැරිසරන අවුරුදු 14ත් 18ත් අතර දරුවන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු වේ. මන්ද යත් එම වයසේ පසුවන දරුවන් කෙරේ මෙම පුද්ගලයින් වැඩි ආකර්ශනයක් යොමු කරන බැවිනි.

අන්තර්ජාලය තුළින් මිතුරන් සොයා යන දරුවන්ට විවිධාකාර මිනිසුන් මුණගැසෙනු ඇත. ඒ අතර මිතුරන්, සතුරන් මෙන්ම “කුකුළන්” ද සිටින බව අවබෝධ කරගත යුතු ය. එවන් සල්ලාලයන් දරුවන්ගේ පාසල් කාලය අවසානයේ දී හෝ උපකාරක පංතිවලට සහභාගී වන අවස්ථාවලදී හෝ නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවල දී දැන හඳුනාගැනීමට යැයි ව්‍යාජ මිත්‍රත්වයක් මවාපාමින් දරුවන් විවිධ ස්ථානවලට කැඳවීමට උත්සාහ දරනු ලබයි. ඒ අතරතුරදී දුරකථනයක් වැනි ළමා වියට ආකර්ෂණීය යමක් තෑගි ලෙස ලබාදීමටත් පොරොන්දු කරවා ගනිමින් සමහරවිට දරුවාගේ දුරකථනයට රීලෝඩ් (Reload) පවා ලබා දෙනු ලැබේ. වර්තමාන ළමා පරපුරේ ඇතැම් දරුවන් ද මෙවැනි පුද්ගලයකු බව දැනදැනම ඔහු ගොනාට ඇන්දවීමේ අටියෙන් ඔවුන්ගෙන් රීලෝඩ් (Reload) ලබා ගැනීමට පුරුදුව සිටී. නමුත් රීලෝඩ් (Reload) ආදර අන්දරයෙන් ආරම්භ වන මෙම ව්‍යාජ ගනුදෙනුව හරහා අවසානයේ බොහෝ දරුවන් රැවටීමට ලක්ව අපයෝජකයින්ගේ ගොදුරක් බවට පත්වන අවස්ථා ද දැක ගත හැකිය. 

ඉන්ටර්නෙට් වොච් පදනම (IWF) සඳහන් කර තිබුණේ ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයත් සමඟ කුඩා දරුවන් කැමරා ඉදිරිපිට ලිංගික ක්‍රියාවල යෙදෙන ඡායාරූප හා වීඩියෝ පට දස ගුණයකට වඩා වැඩිවීමක් පවතින බවය. වසංගතය ආරම්භ වීමත් සමඟ සමාජ මාධ්‍ය වෙබ් අඩවි බොහෝ ජනප්‍රිය විය. ඔවුන් පෙන්වා දෙන ආකාරයට ලෝකය පුරා ස්වයං නිෂ්පාදිත ළමා අපයෝජන වීඩියෝ සහ ඡායාරූප දක්වන වෙබ් පිටු 63,000කට වඩා අධිකය. ඉන්ටර්නෙට් වොච් පදනමට අනුව වසංගතයට පෙර සමයේදී මෙම අගය සඳහන් වී තිබුණේ ඉතා අඩුවෙනි. 5000 ක් පමණය. 

මේ අසභ්‍ය දර්ශන හා ඡායාරූප බොහෝ විට පෙම්වතුන් පෙම්වතියන් තමන් විසින්ම තම ජංගම දුරකථනය ඔස්සේ හුවමාරු කරගත් අවස්ථා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වෙනවා. තමන් ආශ්‍රය කරන අයම සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි අවස්ථා තියෙනවා. නමුත් දරුවකු මේ සඳහා යොදවාගත් අවුරුදු දහඅටට වඩා වැඩි අයයි වැරදිකරුවන් වෙන්නේ. මේ ගැටලු පිරිමි දරුවන්ටත් වඩා ගැහැනු දරුවන්ට වැඩි වශයෙන් බලපානවා. මේ ඡායාරූප හෝ වීඩියෝ පට ගැනීමෙන් පසුව ඒවා ”සමාජයට හෝ අන්තර්ජාලයට මුදාහරිනවා.” කියමින් ඒ දරුවන්ට තර්ජනය කර හෝ බිය වද්දවන අවස්ථාද වාර්තා වෙනවා. මේ නිසා දරුවන් මේ සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතු වෙනවා. දරුවන් ශාරීරිකව හා මානසිකව නොමේරූ අය නිසා දරුවන්ගේ දෙමව්පියන්ද තම දරුවන් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අධීක්ෂණය කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ අනවශ්‍ය මිතුරුකම් හා ක්‍රියාවන් හේතුවෙන් සිදුවන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දරුවන්ට අවබෝධයක් ලබා දිය යුතු වෙනවා. ඒ නිසා එවැනි ඡායාරූප හෝ වීඩියෝ පට එවන්න කියමින් ඒ සඳහා පොළඹවා ගැනීම දණ්ඩ නීති සංග්‍රහය අනුව වැරුද්දක්. මුහුණුපොත, වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා හෝ දරුවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගැනීම හෝ ඒ සඳහා ඇවටිලි කිරීමත් අපරාධයක්. ඒ විතරක් නෙමෙයි. ඒවා ළඟ තබාගැනීම, බෙදාහැරීම වැරුද්දක්. බොහෝ විට මෙවැනි අකටයුතුකම් සිදු කරන්නේ තමන්ගේ පෙම්වතා හෝ කලක් තම ජීවිතයේ සමීපතමයෙක් ලෙසින් සිටි අයයි. අවසානයේදී සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම හෝ සියදිවි හානිකර ගැනීම දක්වා මේ තත්ත්වය උග්‍ර වෙන්න පුළුවන්.

ඇතැම් පිරිස් පරිගණකය මගින් දරුවන්ගේ මුහුණු වෙනත් ලිංගික ඡායාරූපයකට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීමට උත්සාහ ගනිති. කිසියම් හේතුවක් මත දෙමව්පියන් හෝ භාරකරුවන් අතර ඇතිවන මතභේදාත්මක කරුණක් මුල් කරගෙන දරුවන්ගේ ජීවිත සමඟ අවදානමක් ගෙන කටයුතු කරන අතර සමාජයට මුහුණ දීමට නොහැකිව ජීවිතය හැර යාමට උත්සාහ දරණ දරුවන්ද සමාජයේ නැතිවාම නොවේ. මෙවැනි දරුවන්ගේ ඡායාරූප නැවත සංස්කරණය කර හෝ අසභ්‍ය ප්‍රකාශන සමඟ එකතු කිරීමද වරදකි. මෙවැනි ඡායාරූප හෝ වීඩියෝ පට පෙන්වා බියගන්වා මුදල් ඉපයීම ද දණ්ඩ නීති සංග්‍රහයේ 372 වගන්තියට අනුව බලෙන් ලබාගැනීම යන අපරාධ වැරුද්දට අයත් වේ. යමකු ලිංගික වශයෙන් අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් ලිංගික ඡායාරූප හෝ වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙබ් අඩවිල පළ කරන්නේ නම් එය දණ්ඩ නීති සංග්‍රහයේ ”ලිංගික අතවරය” නම් අපරාධයට අයත් වේ.

ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල පරිහරණ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. ෆේස් බුක් (Face Book) නැමති සමාජ වෙබ් අඩවිය තුළ ගිණුමක් නොමැති නව යෞවනයකු හෝ තරුණයකු සොයා ගැනීමට ද නොහැකි තරම්ය. මේ වනවිට ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ෆේස් බුක් (Face Book) පරිහරණය කරනු ලබති. 

වර්තමාන නවීන තාක්ෂණික ලෝකය තුළ දරුවන් තාක්ෂණයෙන් ඈත්කර තැබීමට යෝජනා කරන්නේ නම් එය අනුවන කමකි. එහෙත් දෙමාපියන් වැඩිහිටියන් මෙන්ම මේ පිළිබඳ වගකිවයුතු පාර්ශවයන් එක්ව නිවැරැදිව තාක්ෂණය මෙන්ම අන්තර්ජාලය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැනුම හා කුසලතාවය ලබා දීමට වහවහා කටයුතු කළ යුතු ය. එසේ නොවුවහොත් දැනුම අවභාවිතයේ යොදමින් සිදු කරනු ලබන කටයුතුවලට දරුපරපුර යොමු වනු නියතය.

සුරක්ෂිත අන්තර්ජාලයක් යන සංකල්පය වඩාත් ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නම් ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය ළමයාට සුරක්ෂිත කරනවා සේම අන්තර්ජාලය සුරක්ෂිතව පරිහරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද වඩාත් අවධානය යොමු කළ යුතු ය. ඒ සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපන අමාත්‍යාංශය, ළමා සංවර්ධන අමාත්‍යාංශය ප්‍රමුඛ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට විශාල කාර්යයභාරයක් හිමිව තිබේ. ඊට අමතරව විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රමුඛ අන්තර්ජාල සේවා සපයන ආයතන හා සමාගම් සඳහා ද සුරක්ෂිත අන්තර්ජාලයක් ගොඩනැගීම වෙනුවෙන් ප්‍රබල කාර්යය භාරයක් නිතැතින්ම හිමිව ඇත. විවිධ වෙබ්අඩවි පිරික්සීම තුළින් අපගේ ගිණුමට බැර වන මුදලට වඩා රටේ හෙට දවස භාරගැනීමට සිටින ළමා පරපුර පිළිබඳව සිතන්නට අප පෙළඹිය යුතු ය.

දවසින් දවස නවීන තාක්ෂණය හා අන්තර්ජාලය දියුණුවේ. වේගවත් වේ. එම නිසාම විවිධාකාර සේවාවන් ඉතා වේගයෙන් ප්‍රජාව අතට පත්වෙමින් තිබේ. නමුත් මෙම තාක්ෂණය පිටුපසම එළවා යාමට උත්සාහ දැරීම හරහා කිසිදු දිනෙක ඔබට සෑහීමකට පත්විය නොහැක. එබැවින් සිය ජීවිතය ජයගැනීමට නවීන තාක්ෂණය අත්පත් කරගත යුතු විනා, නවීන තාක්ෂණය ජය ගැනීමට දරුවන් පෙළඹවිය යුතු නොවේ. එය කිසිදු දිනෙක නොකළ හැක්කකි. 

වාහනයේ වේගය වැඩි වී ඇත. තිරිංග දුර්වල වී ඇත. අනතුරක් අත ළඟමය. අන්තර්ජාලය වේගවත් වී ඇත. නීතිය ප්‍රමාණවත් මට්ටමකින් නොපවතී. එබැවින් අන්තර්ජාල අපරාධ දිනෙන් දින ඉහළ යයි. නීතිය ප්‍රමාණවත් නොවේ යැයි මේ පිළිබඳ අහක බලා සිටීම කෙතරම් සාධාරණ ද? අඳුරට සාපකරමින් සිටීමෙන් පලක් නැත. එක් පහනක් හෝ දල්වා අඳුර පරයා ආ‍ලෝකය දකින්නා සේ… කළහැකි උපරිමයෙන් දරුවන් ආරක්ෂා කිරීමට පටු වාද භේද අදහස් පසෙකලා නිලධාරීන්, බලධාරීන් හා ආයතන එක්ව පවත්නා ප්‍රතිපාදනවලින් වැඩ ගත යුතු ය.

අන්තර්ජාලය පිළිබඳ ගැටලුව දිනෙන් දින ඉහළ යනු ලැබේ. ඒ සඳහා තවමත් ස්ථිරසාර විසඳුමක් පෙනෙන්නට නැත. මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුතු සමාජයේ වගකිවයුතු පාර්ශවයන්ට මෙවන් ගැටලුවක් තිබේදැයිවත් අවබෝධයක් නොමැත. එයට හේතු වනුයේ මොවුනට අන්තර්ජාලය පිළිබඳ පවත්නා අනවබෝධය වියහැකියි.

අපයෝජනයට ලක්වන්නා අනාගතයේ අපයෝජකයකු බවට පත් වීමේ අපයෝජන චක්‍රය අන්තර්ජාලය තුළ ද වඩාත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වනු ඇත. අන්තර්ජාලයේ පවත්නා අපරාධ සහයක පහසුකම් සියල්ල මැනවින් උකහා ගනිමින් එවැනි අපරාධ කිරීමට දරුවන් පෙළඹීම මෙම ක්‍රියාදාමයේ පවත්නා බරපතළ ගැටලුවයි. අද අපයෝජනයට ලක්වන දරුවා හෙට අපයෝජකයෙකු ලෙස අන්තර්ජාලයට පිවිසීම තුළ අන්තර්ජාලයේ සැරිසරන දරුවන් විවිධ හිංසනයන්ට ලක්වීමට පවත්නා ඉඩකඩ වේගයෙන් ඉහළ ගොස් තිබේ.

” දරුවන් විවිධ හිංසනයන්ගෙන් බේරා ගනිමු” යයි අඬබෙර ගසාගෙන රූපවාහිනියේ වැඩසටහන් පිට වැඩසටහන් ප්‍රචාරය කිරීමෙන් පලක් නැත. විය යුත්තේ එක සිතින්ම ළමා පරපුර සුරැකීමට කැපවීමයි.

ලෞකික තාවකාලික ආශාවන් නැමැති මිරිඟුවේ දැවටෙන ජනයා බහුලව ඇති අද වැනි සමාජයක ළමා පරපුර ආරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාවයයි. එය සැපිරෙන කල්හි,දරුවන්ට මේ ලෝකය අදට වඩා සුන්දර මිහිරි තොටිල්ලක් වනු නොඅනුමානයි.

~ කරුණාරත්න දිසානායක ~

Your email address will not be published. Required fields are marked *