සුනිලා හා රනිලා

සුනිලා හා රනිලා

256 views
0

සුනිල් වනාහි සරුසාර කුඩා අපූරු වත්තක පැලක් අටවගෙන ජීවත් වෙන අමුතු ගනයේ දුප්පතෙකි. පරම්පරාවෙන් උරුම වූ සුනිල්ගේ වත්ත අහලින් පහලින් යන කෙනෙකුට උවත් “නිධානයක් වැනි යැයි” ඊරිසියා සහගත හැගීමක් ඇති කරේ නිරායාසයෙනි.

එහි සරුසාර බව හැරුණුකොට ව්‍යාපාරික නගර කිහිපයක් දක්වා දිවෙන ප්‍රධාන මාර්ග රැසකට කේන්ද්‍රගත වන තැනක පිහිටි මේ ඉඩම් කෑල්ල, සුනිල්ට කෝටිපතියෙකු වීමට හොදටම ප්‍රමාණවත් බව බැලූ බැල්මට ඔනෑම මෝඩයෙක්ට දිස් විය. ඊට අමතරව සුනිල්ගේ වත්තේ පොලව අභන්තරයේ වටිනා කියන මැනික් සහිත බව කාත් කවුරුත් විශ්වාස කල නමුත්, සුනිල් වත්ත පිටිය වැඩක් කරනවිට හමු වූ මැනික් ගල්, පාට පාට ගල් ලෙස හදුන්වමින් පොල් ගෙඩි දෙකක මිලට විකුණා දැමීය. ඒ ගල් අරගත්ත මැනික් වෙලෙන්දා, උපහාසයට සුනිල්ට සිනාසී, පොල් අක්කර දෙක තුනක් අරගත්තේ සුනිල්ගේ පාට ගල් මැණික් බවදැනගත් හැකියාවෙනි.
මේ විදිහට තමන්ට උරුම කිසිම සම්පතක වටිනාකම නොදත් සුනිල්, නොවරදවාම කල දෙයක් තිබේ. එනම් වසර විසි තිස් ගනනට කලින් මිය ගිය තමන්ගේ නපුරු කුඩම්මාගේ අවමගුල සැමරීමයි.මෙදාට දහස් ගනන් වියපැහැදම් කොට මල් වෙඩි, ගිනිකෙලි, සද්දසවුදම් පාන සුනිල්, මේ සදහා අත මිට මුදල් නැතිදවසකට අහල පහල කිසිවෙකුගෙන් ණයක් හෝ ඉල්ලාගෙන මේ කුඩම්මගෙ නිදහස සැමරීය.

මේ විදිහට කාලය ගත වෙනකොට තමන්ට තිබුනු කිසිම සම්පතක් ප්‍රයෝජනයට ගන්න නොදැන හිටි සුනිල්, වත්තේ කොටස බැගින් උකසට තබමින් ණය ගැනීමේ ව්‍යායාමයක් ආරම්භ කර තිබුනි. මේ අතර වත්තේ ලිද සහිත කොටහ උගසට සින්න වූ අතරෙ, එතෙක් කල් නොමිලේ ලැබුනු වතුර පොදටත් මුදලක් ගෙවන්නට සුනිල්ට සිදුවිය. අත්තා මුත්තා කාලේ ඔය ලිදේ ප්‍රවුඩ අහංකාරය ගැන උදම් අනමින් කාසි අහුරක් මිට මෙලවූ සුනිල්, වතුර කලයක් මිලට ගැනීමට තම දියණියක් යැවීය. කාලයත් සමග මේ ක්‍රියා පිළිවෙත ගැන කලකිරුණු, සුනිල්ගේ දූ දරුවන් එකා දෙන්නා විදේශ ගත වන්නට විය. මේ අතර නය ගෙවීමට වෙනත් අයගෙන් මුදල් නයට ගත් සුනිල්, තමන්ට දරාගත නොහැකි අන්දමේ විශාල ඉලක්කමකින් ණයවී සිටි අතර, සුනිල්ගේ සමහර දූදරුවන් මුදල් ලැබෙන්නේ කෙසේද යන්නවත් නොදැන, පියා ලබාගන්නා නය මුදල් පාවිච්චි කරමින් රිසි දේ විනෝද වෙමින් සිටිති. මේ අතර රට සිට සුනිල්ව දැකගන්න පැමිණි වැඩිමහල්, උගත් දියණිය වත්තේ මැනික් ගල් ඔප දමා විකුණා ණය ගෙවා ගත හැකි බවත් උකස් කර ඇති ඉඩම් කොටස නැවත බේරාගෙන එය ව්‍යාපාරිකයන් සදහා බදු දෙන ලෙසටත්, අවමය පෙරදී නොමිලේ ලද ජල සම්පත යාවත්කාලීන කරගන්නා ලෙසටත්, ඉතා කෙටි කාලයකින් සියළු ණය තුරුස් වලින් නිදහස් වී ධනපති දිවියක් ගත කල හැකි බවද පෙන්වා දීමට උත්සහ කිරීම නිසා, ඈ හා උරණ වූ අතර නැවත වත්තේ පස් පෑගිමට වත් නොඑන ලෙස තරවටු කර ඇයව එලවා දැමූයේ, තවත් විශාල මුදලාලි කෙනෙක්ට කුරුදු වත්තේ කොටස උගසට තැබීමට තමන් සූදානමින් සිටි ගමන පමා නොකරගෙනයි.

මේ අතර සුනිල්ගේ දරුවන් ඉගෙනීමෙන්, ක්‍රීඩාවෙන්, නිර්මාණාත්මක හැකියාවන්ගෙන් වගේම සියළු අංශ වලින් උපරිම දස්කම් දැක් වූයේ ගම පමණක් නොව රටම මවිත කරමිනි. නමුත් සුනිල් ඒ කිසිවක් ගැන අබමල් රේණුවක තැකීමක් නොකල අතර, ගමේ පොලී මුදලාලි එම දරුවන් තමාගේ දරුවන් ලෙස ලියාගෙන ලෝකයට පාමින්, බොහෝ සේ ධනයත්, කීර්තියත් උපයාගත් අතර, සුනිල්ට අවසානයේ ඉතිරි ඉතිරි වූයේ නයක් නැති නම් ආධාරයක් කරන්නයි කියලා ඉල්ලා බැගෑපත් වීම පමනකි.

උසස් තැන් වල සාර්ථක ජීවිත ගත කරන දරුවන් අනේ මගේ මහගෙදර යැයි හිත සොවින් බර කරගත්තද, සැනෙකින් සිත සාදා ගත්තේ ඔවුන් ඔවුන්ගේ ජීවනෝපායන් සරි කරගත් බැවිනි.
මේ අතර සුනිල් නයට ගත් මුදල් වලින් රිසි සේ විනෝද වෙමින්, සහන ආධාර මත යැපෙමින් යමක් නූගත් දරු දෙදනාත්, වැහැරෙමින් යන සුරූපී බිරිදත්, ජිවිත සාර්ථක කරගෙන පිටරටක ජීවත් වන පවුලේ සාමාජිකයන්ගේ අගුණවයමින්, සුනිල්ගේ ගුණ වයමින්, වත්තේ පරම්පරා ප්‍රෞඩත්වය වයමින්, තව දුරටත් කුඩම්මාගේ අවමගුල් සංවත්සරය ජයටම ගන්නා ආකාරයක් සැලසුම්කරමින් සිටින අතර, දැනටමත් යාචකයින් බවට පත් වී හිටියත්, මී කුණක් විකොට පොහොසත් වූ කතන්දර වලට ඔච්චම් පානා අතර, පොලී මුදලාලි සියයට අනූවක පොලියට දුන් අවසාන රුපියල් දසදහස ගෙන කඩයට දිව ගියේ, සතුට සැමරීමට ගිනිකෙලි තොගයක් රැගෙන ඒමටයි…

මහේෂි දසනායක

Your email address will not be published. Required fields are marked *