ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

141 views
0

ලංකාව අරුම පුදුම රටකි. මේ ලෝකයේ කොතැනකවත් නොවන බොහෝ දේ ලංකාව තුළ දිනපතා සිදු වේ. තරුණ තරුණියන් ප්‍රසිද්ධියේ අත් අල්ලාගෙන ගියොත් අත්අඩංගුවට පත් විය හැක. වැරදිලා හෝ සිපගත්තොත්  ජීවිතාන්තය දක්වා හිරේ යාමට පවා පුළුවන. පාසල් ළමයින්  යහමඟට හැරවීමට ඉරිදාට ටියුෂන් පන්ති තහනම්ය. කාන්තාවන්ගේ සිරුර මඳක් නිරාවරණය වනසේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම් පුවරු ගලවා ඉවත් කරනු ලැබේ. රූපවාහිනියේ මත්පැන් දුම්වැටි  පානය කෙරෙන දර්ශන කොටු දමා බොඳ කරනු ලැබේ.  වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපට ප්‍රදර්ශනය නොකෙරේ…… මේ ලංකාවේ කෙරෙන ලෝක විහිළුවලින් මතක් වෙන ටිකක් පමණි.

මෙන්න නොපෙනෙන පැත්ත.. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දිනකට නීති විරෝධී ගබ්සා 500 කට අධික ප්‍රමාණයක් සිදු වේ, ඉන් හරි අඩකට වඩා අවුරුදු 20 ට අඩු තරුණියන් වේ. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලිංගික ක්‍රියාකාරකම් අරඹන සාමාන්‍ය වයස අවුරුදු 13-15 වේ. එනම් පාසල් යන වයසයි. දැන් ලංකාවේ ව්‍යාඝ්‍රා පෙති හෝ ඊට සමාන ‍ඖෂධ අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. සමහර ප්‍රදේශ තුළ පමණක් ගැබ් ගැණිම ක්‍ෂණිකව වලකන Morning after  පෙති අලෙවිය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. ඉතාම සුළු මුදලකට ‍අවුරුදු 20ට අඩු ගණිකාවක් සොයා ගැණීම ගමනක් යාමට ත්‍රී වීල් රථයක් සොයා ගැණීම හා තරමට පහසු කටයුත්තක් වී තිබේ.

මේ ලංකාවේ කළ යුතු,, එහෙත් කිසිවෙකුට නොපෙනෙන පැති කීපයක්. මේ නිසා කුඩා දරුවනට නැරඹීමට නුසුදුසු දර්ශන සහ දෙබස්  ඇතුලත් බොහෝමයක් ටෙලි නාට්‍ය ඉපදුනු අළුත කුඩා දරුවා පටන් ඇඳේ ඔත්පලව සිටින මහල්ලා දක්වා අය රස කර කර දිනපතා නරඹනු ලැබේ. කුඩා දරුවන්ගේ මනස පිරී යන්නේ මේ දර්ශන වලිනි. අනියම් සබඳතා, පවුල් අවුල්, හොරකම්, මැරකම්, ආදී නොයෙක් සමාජමය අපචාර ප්‍රසිද්ධයේ රූපවාහිනී චැනල වලින් නැරඹිය හැක. කුඩා දරුවන් දකින්නේ මේවායි… කිසිදු ස්ථානයක යමක් නිසි ආකාරව කෙරෙන අයුරක් පෙනෙන්නට නැත.  කෙරුනද ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රචාරයක් රටේ ජනමාධ්‍ය වලින් ලැබෙන්නේ ද නැත. ඒ වෙනුවට ජරා ගොඩවල් පෙන්වීම මුදල් හම්බකර ගැණීමට පහසුය.‍ හැමදෙනාම බලන්නේ සුපර් ස්ටාර් කෙනෙක් වී ලේසියෙන් සල්ලි හම්බ කරන්නට විනා තමන්ට සල්ලි ලැබෙන්නේ කෙසේද යන්න නොවේ. සියළුදෙනාගේම පාහේ  ආදර්ශ පාඨය ” බලල්ලු මරල සල්ලි හම්බ කෙරුවට, සල්ලි ඤාව් ඤාව් ගාන්නේ නෑ නේ” යන්නයි. සංවර ගීත සාහිත්‍යය කුණු බක්කියට ගොස් තේරුමක් නැති වචන සමූහයක් සහ බටහිරින් ඇහිඳගත් නාද රටා එක්කර තැනූ ගීත සාහිත්‍යයක් දැන් අපට උරුම වී තිබේ. එදා අප ඇසූ අමරදේව, වික්ටර්, සනත්, සුනිල්, නන්දා, කපුගේ, සෝමතිලක ජයමහ, නීලා, ටී එම්, මිල්ටන්, ක්ලැරන්ස්, ආදීන් වෙනුවට බාගෙට ඉංග්‍රීසි නම් ඇති එලොවටත් නැති මෙලොවටත් නැති පච්ච සිරාලා සංගීතය අරක්ගෙන ඇත. සංගීතය නව්‍ය විය යුතුය, නමුත් සංගීතයේ ශබ්ධ රසයට එහා යමක් තිබිය යුතුය.

මේ තත්වය අවබෝධ කර නොගෙන  ලංකාවේ සංස්කෘතිය නිසිමඟට ගෙන ඒමට දරන ප්‍රයත්නයන් හුදෙක් ඡන්ද ගුංඩු විනා, රටට ආදරයක් ඇතිව කරන සැලසුම් නොවේ. ලංකාව සම්පූර්ණයෙන්ම ප්‍රමිතිකරණයකට ලක් කළ යුතුය. කුඩා දරුවන් රියැලිටි වැඩසටහන් වලට යොමු කිරීම නතර කළ යුතුය. ඉන් සිදු වන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන අනාගතය අඳුරු කරගැනීම විනා මහා ගායකයෙකු බිහිවීම නොවේ.  කොටු දැමීම වැනි මෝඩ චූන් වැඩ නොකර, ටෙලි නාට්‍ය වලට නැරඹිය හැකි වයස් සීමා පැණවිය යුතුය.

ලිංගික අධ්‍යාපනය යනු ලංකාවේ තහනම් වචනයකි. මේ නිසාම දරුවන් විවිධ ක්‍රමවලින් ඒ දැනුම ලබා ගනී. එය බොහෝ දුරට අවිධිමත් භයානක සහ අසම්පූර්ණ දැනුමක් විනා අන් කිසිවක් නොවේ. නිවසේ ඒ සම්බන්ධ කතා කිරීම අත්‍යන්තයෙන්ම අපරාධයකි. මේ නිසා පියවරුන් තම පුතුන්ටත්, මෑණිවරුන් තම දියණියන්ටත් ඒ සම්බන්ධව වචනයක් හෝ කතා නොතිරීමට වග බලා ගනී.  පාසලේ ප්‍රජනනය පාඩම සිසුන්ට තනිව කියවාගෙන විභාගය ලියන්නැයි කියන තරමට ගුරුවරුන් ද “සංවර” වී තිබේ. මේ නිසාම  ඔවුහු ඒ දැනුම ලබා ගැණීම සිය මිතුරු මිතුරියන් පෙම්වතුන් හෝ රහසේ හුවමාරු වන පුවත්පත් සඟරා සහ අන්තර්ජාලය කෙරෙහි නැඹුරු වෙති. එහි කෙළවර අනාරක්‍ෂිත ලිංගික සබඳතාවයක් දක්වා ගොස් විවිධ සමාජ ‍රෝග, නීතිවිරෝධී ගබ්සා , නිවසින් පලා යාම සහ ඇතැම්විට මරණය දක්වා යා හැකිය.

මේ පුහු සමාජ බැමි තරමක් ලිහිල් කර, යම් වයස් සීමාවක සිට පාසල් සිසුන්ට ක්‍රමාණුකූලව ලිංගික අධ්‍යාපනය ලබා දීම කළහොත් ඔවුනට ඒ සම්බන්ධයෙන් ඇති කුතුහලය අඩු කර නිවැරදි දැනුමක් ලබා දී මෙසේ අයාලේ යන තරුණ ජීවිත ප්‍රමාණය තරමකට හෝ අඩු කරගත හැක.. විවිධ සමාජ බැමි දමා තරුණ හැඟීම් මර්ධනය කරනු වෙනුවට, ඒවා නිසි පරිදි පාලනය කළ හොත් මීට වඩා සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි බව මගේ විශ්වාසයයි. ලංකාව බෞද්ධ රටක් වූ පමණින්ම එහි වසන සියළු වැසියන් පංචශීලය සමාදන් වූ උපාසක උපාසිකාවන් කළ හැකි යැයි පාලන තන්ත්‍රය සිතනවා නම්, සිය ඇමති මණ්ඩලයෙන් එය ආරම්භ කිරීම කළ යුතුය. දිගු කාලීන සැලැස්මක් ඇතිව තරුණ පරපුරේ ප්‍රශ්ණ දෙස බලනු වෙනුවට කොහේ හෝ රටකින් අහුලාගත් ප්‍රතිපත්ති අප රටට ඔබ්බන්නට යාමෙන් තරුණ පරපුර තවත් අසහනයට පත්වනු විනා රටට ඇතිවන සෙතක් නම් නැත.

~ කරුණාරත්න දිසානායක ~

Your email address will not be published. Required fields are marked *