නාරීද්වේෂයයෙකු (misogynist ) වෙන්නෙම පිරිමියා ස්වභාවයෙන් ම අර්ධනාරී බව නොදන්නා නිසයි

නාරීද්වේෂයයෙකු (misogynist ) වෙන්නෙම පිරිමියා ස්වභාවයෙන් ම අර්ධනාරී බව නොදන්නා නිසයි

124 views
1

ඇන්ඩ්රු ටේට් කියන්නේ කවුද – තමන් විසින්ම හඳුන්වාගත් නාරීද්වේෂක බලපෑම් කාරයෙක් (Who is Andrew Tate – “The self-proclaimed misogynist influencer )

ලංකාව කියන්නෙ හරි පුදුම රටක් මචං , ඇත්තටම ඒක හරි අමුතු ඇටයක් . ලංකාවෙ ඉන්න සුවහසක් ප්‍රජාවගෙ හිත සුව පිණිස , අවවාද අනුශාසනා පිණිස , ජීවිත සුවපත් කිරීම පිණිස එක එක විදියේ අප්පච්චිලා , වොන්ඩර් වුමන්ලා ,  බුදුන් දහම් සඟුන් සරණ ගිහින් තුන් සිත පහදවාගත් ගරු කටයුතු ස්වාමින් වහන්සේලා කලින් කලට පහළ වෙනවා. ඉන්පස්සෙ අපේ උන්නැහෙලා ඒ ඒ කාලෙට ඒ ඒ පොරවල් සරණ යනවා . මෑත ඉතිහාසෙ ඒවාට උදාහරණ ඕන තරම් .

දුටු ගැමුණුට පස්සෙ ආවා මුලු රටම එක්සේසත් කරලා සිංහල බෞද්ධ ස්වර්ගයක් නිර්මාණය කරන්න අප්පච්චි කෙනෙක් . සහරාන්ටත් වෙඩි තියල දිවි පුදල හරි මම තමයි හොදටම කරන්නෙ කියාගෙන ආවා කුඩප්පච්චි කෙනෙක්. ඊටපස්සේ අරගලේ කාලෙ අරගල අප්පච්චිලා තැන් තැන් වලින් පැටව් ගැහුවා . එතන එක අප්පච්චි කෙනෙක්ගෙ හොද වැඩි කමට බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කරල සිපිරි ගෙයි ඉන්නත් උනා .

අතිගරු මහා සංඝ රත්නයෙනුත් එහෙම අප්පච්චිලා බිහි උනා , පිරිමි තේ හැදුවොත් අපායෙ කිව්වා , ඇස් ඇරගෙන සෙක්ස් කරොත් අවීචි මහා නරකාදියේ කිව්වා , අනුරකුමාරගෙ නහය කොටයි වැඩ කදිමයි කිව්වා, වැඩ කරන අපේ විරුවා තමයි දවසක රට රකින්නේ කිව්වා ඔන්නොහොම මොන මොනාහරි කුණු හබ්බවල් ටිකක් කියන්න දැයේ පිනට අප්පච්චිලා රාශියක් පහළ උනා .

අපේ උන්දැලටත් ඉතිං කවුරුහරි මොනාහරි ටිකක් කියනව නම් ඒ ඇති . කියන්නෙ මොනාද ඒවා ඇත්තද කියල වැඩක් නෑ . මේ ළඟදි සුදු අප්පච්චි කෙනෙකුත් ඔය විදියටම ශ්‍රී ලංකා ද්වීපයට සෝෂල් මීඩියා ඔස්සේ ගොඩ බැහැලා තිබ්බා . දිලිසෙන තට්ටයක් තියෙන , ඇල්ෆා මේල් කියල තමන්වම හඳුන්වා ගන්න අන්තජාලයේ සුප්‍රසිද්ධ ගුරුවරයෙක් යැයි කියන මේ ඇන්ඩෲ ටේට් ගැන තමයි අද කතා කරන්න යන්නෙ . ඇත්තට ම ඇන්ඩෲ ටේට් ගැන කතා කරන එකේ මගෙ පරම අභිලාෂය නම් පොර කොච්චරක් මරුද , පොර කොච්චරක් ඊයා ද කියන එක ගැන ලියන එක නෙවේ පොර සරණ ගිය ඔබ කොතනද කියල දැනවීම .

ඔහුගේ මතවාදයක් මම මෙතන සටහන් කරන්නෙ ඒක කොයිතරම් දුරට සාධාරණ ද කියල ඔයාටම තීරණය කරන්න ඉඩ දිලා . ඔහු අවස්ථාව ක කියනවා ,

” ඔබ *ගෝරිල්ලා* පිරිමි සතුන් පහක් සහ ගැහැණු සතුන් පහක් ඉන්න රංචුවක් බලන්න. ඔබ හිතුවට එතැන ගෝරිල්ලා ජෝඩු පහක් ඉන්නවා කියලා ඇත්තටම වෙන්නේ එතන ඉන්න එක ගෝරිල්ලෙක් ගැහැණු සතුන් පහම අයිති කර ගන්නවා . ඒ ඇල්ෆා ගෝරිල්ලා . මිනිස් ලෝකයෙත් ඉන් වෙනසක් නැහැ . සාර්ථක පිරිමි සියලු කාන්තාවන්ට හිමිකම් කියනවා . පරාජිතයින්ට ලැබෙන්නේ ඔහු අතහැර දාන කාන්තාවන් පමණයි . *එනිසා ඔබ පිරිමියෙක් නම් ඔබට අඬන්න බැහැ . ඔබට මානසිකව කඩා වැටෙන්න බැහැ . කාන්තාවන්ට සාර්ථක වෙන්න අවශ්‍ය හොඳ මේකප් එකක් විතරයි . පිරිමියෙක් වුනාම එහෙම බැහැ . පිරිමියෙකුගේ ජීවිතය තරගකාරී විය යුතුමයි. ඔබ තරගකාරී විය යුතුමයි.* “

එක පැත්තකින් මොහු ගේන මෙම මතවාදය ඉතාමත් හාස්‍යජනකයි . හෝමෝ සාපියන් සාපියන් කියන මානවයා ගෝරිල්ලෙක් විදියට හැසිරෙන්න ඕන කියලා ඔහු වගේම ඔබත් හිතනවා නම් සතෙක් සහ මිනිසෙක් අතර තියෙන වෙනස්කම මොකක්ද ?

ඊළඟට ඔහු ගේන පොයින්ට් එක තමයි ඔයා පිරිමියෙක් නම් ඔයාට අඬන්න බැහැ කියන එක . ගොඩක්  වෙලාවට අද වෙනකොට තමන් ඇල්ෆා යැයි , රැඩිකල් යැයි තමන්ම කියාගන්නා පිරිමින් විශ්වාස කරන දෙයක් තමයි පිරිමි අඬන්න හොද නෑ කියන එක . ඇත්ටම මම දන්නෑ ඒක මොන පදනමක ඉදන් ඔවුන් කියන දෙයක්ද කියල . හැඬිම සිනාසීම කෝප ගැනීම වගේ දේවල් තනිකරම අපේ සංවේදනය හා පොදුවේ බැදුණු දේවල් මිසක ලිංගභේදය මත වෙනස් වෙන දෙයක් නෙවෙයි . මගෙ අත්තම්මා මිය ගිය වෙලාවෙ මගෙ තාත්තා ඇඩුවා , තාත්තගෙ ඥාති පුතා කසාඳ බඳින දවසෙ තාත්තගෙ ඇස් වල කදුළු කැට දෙකක් තිබ්බා , තව දවසක් මාව බදාගෙන තාත්තා ට අපි නැතුව ඉන්න බෑ කියල කියනකොට කදුලු කැට දෙකක් වැටුණා මට තදින් මතකයි .

ඉතිං දුකට හෝ සතුටට මනුස්සයෙක් හඬනවා කියන්නෙ තනිකරම සොභාවික සහ සංවේදනය හා බද්ද වුණ කාරණයක් විතරයි . අනික් කාරණාව අඬන්න හොද නැය , ඇඩුවොත් චාටර් ය කියන බහුතරය ඉපදිලා අවුරුද්දක් හමාරක් යනකන් කරේ ඇගේ චූ කරගෙන අඬපු එක , අම්මගෙ තනේ එළ්ලිලා කෑ ගහපු එක .

මේ වගේ පුහු මතවාද ටිකක් එල්ලගත්තාම ඇල්ෆා වෙන්නෙ නෑ කියන එක ඔහුටත් ඔහු සරණ යන ඔබටත් ඉක්මනින්ම අවබෝධ වේවා කියල මම ප්‍රාර්තනා කරනවා  .

ඉන් පස්සෙ ඔහු තව මතවාදයක් ඉදිරිපත් කරනවා ,

” *ඩිප්‍රෙෂන් (විශාදය) කියන්නෙ බොරුවක්, මං කියන්නෙ මිනිස්සු ඩිප්‍රෙස් වෙන්න පුලුවන්. හැම මනුස්සයාම ඩිප්‍රෙස් වෙන්න ඉඩතියෙනවා. ඒක තාවකාලික හැඟීමක්. මිනිහෙක් ඩිප්‍රෙස් වුනාම  එතනින් ඉක්මනට මිදිලා තම කළ යුතු දේවල් කරන්න ඕන . ඩිප්‍රෙෂන් කියන්නෙ පරාජිතයො තමන්ගෙ පරාජිත කමට වලංගුබාවයක් දෙන්න හදාගත්තු එක්ස්කියුස් එකක්* “

ඇන්ඩෲ ටේට් කියන විදියට ඩිප්‍රෙෂන් කියන්නෙ බොරුවක් වගේම තාවකාලික හැඟීමක් . නමුත් වෛද්‍ය විද්‍යාවට අනුව ඩිප්‍රෙෂන් එහෙමත් නැත්නම් විශාදය කියන්නෙ දීර්ඝ කාලයක් තිස්සෙ නිෂේධනීය ආකල්ප වලින් පීඩා විදීමේ රෝගි තත්වයක් . ඒක මෙ වරින් වර හටගන්න ඔලුවෙ කැක්කුමක් වගේ නෙවේ එතනින් එහාට ගිය මානසික පීඩාවක් . ඒ වගේම මේ සදහා අවශ්‍යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගන්නෝන .

පහුගිය කාලෙ සෙලීනා ගෝමස් , ලේඩි ගගා වගේ අයත් තමන් ඩිප්‍රෙෂන් කියන මානසික ව්‍යාකූල තාවයෙන් පෙළුණු බව සහ ඉන් ගොඩ ඒමට ප්‍රබල අරගලයක් නියුතු උනා කියල ප්‍රසිද්ධියෙ හෙළි  කරල තිබ්බා . ඉතින් ඩිප්‍රෙෂන් කියන්නෙ පරාජිතයින්ට විතරක් හැදෙන ජයග්‍රාහකින්ට කිසිදා නොවැළදෙන රෝගයක් නෙවෙයි .

ඔය වගේ තියරි ටිකක් ගෙනල්ලා මම තමයි වැඩර් කිව්වාම උන්දැට මල් පහන් පූජා කරල වැද වැටිලා නමස්කාර කරන තරමටම ලංකාව පිරිහිලා . අධික ලෙස LGBTQ ප්‍රජාව විවේචනය කිරීමත් මොහු කරල තිබ්බ තවත් වීරක්‍රියාවක් . ඒ නිසාම මේ ගැන තව පුංචි දේවල් කීපයක් සටහන් කරන්නම් .

” *The stigmatisation and discrimination of gay people may lead to mental health problems, but homosexuality is not a mental health problem. That is the scientific consensus the World Health Organization (WHO) endorsed*.”

මේ විදියට සඳහන් කලේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරපු ලියවිල්ලක් .

” සමලිංගික පුද්ගලයින් අපකීර්තියට පත් කිරීම සහ වෙනස් කොට සැලකීම මානසික-සෞඛ්‍ය ගැටළු වලට තුඩු දිය හැකිය – නමුත් සමලිංගිකත්වය මානසික සෞඛ්‍ය ගැටලුවක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අනුමත කරන ලද විද්‍යාත්මක සම්මුතිය එයයි. “

කොයි පැත්තෙන් බැලුවත් මේ මනුස්සයා ගෙනත් තියන තර්ක , මතවාද දිහා බැලුවාම තේරුම් යන දෙයක් තමයි ඔහු කියන දේවල් පිළිගන්න සුදුසු දේවල් නෙවේ කියන එක .

මේ ඇන්ඩෲ ටේට් කියන මනුස්සයාගෙ පෞද්ගලික ජීවිතය පැත්තට හැරුණොත් එහෙම එමරි සහ අයිලීන් ටේට් කියන දෙපළට දාව උපදින පොඩි කොල්ලෙක් තමයි මේ ඇන්ඩෲ ටේට් . ඔහුට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා . චෙස් සහ කිං බොක්සිං ක්‍රීඩාවට කුඩා කාලෙ ඉදන්ම මේ ඇන්ඩෲ ටේට් උනන්දු වෙලා තියෙනවා . එතකොට පිරිමි තමයි ලෝකෙන් උතුම්ම ගැහැණු නතින් කියන මේ අසහාය යුග පුරුෂයා විවාහ වෙලත් නෑ . ඉස්සරහට විවාහ වෙන එකකුත් නෑ  . හැබැයි සමාජ මාධ්‍ය පාවිච්චි කරන ඔහුගේ ඩයි හාඩ් ෆෑන්ස්ලා නම් හිතන් ඉන්නෙ ටේට් කියන්නෙ විවාහක පුද්ගලයෙක් සහ ඔහු තමන්ගෙ දරුවන් වෙනුවෙන් ඇප කැප වී සිටින පියෙක් කියල . නමුත් යථාර්ථය එහෙම නෙවෙයි හිතවතුනි .

මේ වෙනකොට ටේට් රුමේනියාවෙ බන්ධනාර ගත කරල ඉන්නෙ ඔහුට විරුද්ධව තියෙන මිනිස් ජාවාරම් සහ ස්ත්‍රී දූෂණ චෝදනා මත . මොහු 2016 දි ප්‍රසිද්ධියට පත් වෙන්නෙත් කාන්තාවකට පහර දෙන ආකාරය පෙන්වන වීඩියෝ එකකින් සහ ඒ හේතුවෙන් ඔහුව බිග් බ්‍රදර් බ්‍රිතාන්‍ය රූපවාහිනි වැඩසටහනෙන් ඉවත් කිරීමත් එක්ක . බලන් ගියාම කොයි අප්පච්චිලත් එකයි . හැබැයි ඉතින් ටේට් ගැළපෙන උදාහරණ තමන්ගෙ ජීවිතයෙන්ම ගෙනහැරපානවා ගෝරිල්ලන්ට .

ලිංගික අතවර වලට ලක් වීම සම්බන්ධයෙන් කාන්තාවන් ” වගකිම දැරිය යුතු යි ” කියල පවසන්න ගැනීමත් එක්ක ඔහුට ට්විටර් සමාජ මාධ්‍ය තහනම් කරනවා . චූදිතයා නිදැල්ලෙ ඉන්නකොට වින්දිතයා තමන් අතවරයට ලක් උන එකේ වගකීම ගන්න ඕන කියන එක කොයි තරම් සාධාරණද නැද්ද කියනෙක ගැන මෙතන සටහන් කරන්න අවශ්‍ය නෑ . නැණ ඇත්තෝ වටහා ගනිත්වා .

හැබැයි ඉතිං ලංකාව කියන්නෙ ගෑණියෙක් දූෂණය උනාම ඇදන් හිටිය ඇදුමෙ දිග පළල මැනලා හිටපු එයාට කලින් උන්න කොල්ලො ගාණ ගනන් කරලා බලල බඩුවක් කියල ලේබල් කරන රටක් . පිරිමියෙක් දූෂණයට ලක් උනොත් ඔහුව පොන්නයා, ලොල්ලා කියල ලේබල් කරන රටක් . ඉතින් දූෂකයා නිවැරදියි දූෂණයට ලක් උන කෙනා වැරදියි කියන රටකට ටේට් කියන්නෙ ඉතිං රාවණාගෙ පුනරාගමනය වගේ දෙයක් .

හරිම පැහැදිලියි අතවරයක් කියන්නෙ , ස්ව කැමැත්තෙන් ලිංගිකව එක් වීම නෙවේ කියන එක . එතනදි බලෙන් ගිහින් මනුස්සයෙක්ට අතවර කරනවා නම් ඒකෙ වගකීම ගන්නෝන අතවර කරන මනුස්සයා විතරයි . ටේට් ගෙ මතවාද වලට දොහොත් මුදුන් දීලා තමන්ගෙ රෙද්දපල්ලෙ බේරෙන කුණු හොදගන්න උත්සාහ කරන්නෙපා හිතවතුනි වරද වරදම තමයි .

ඇන්ඩෲ ටේට් කියන මාතෘකාව කරලියට එනකොට ඒත් එක්කම ආව තව මාතෘකා දෙකක් තමයි ඇල්ෆා මේල් සහ ෆෙමිනිස්ට් කියන කරුණු දෙක . ඒ ටේට් තමන් ඇල්ෆා මේල් කියල කියාගැනීම සහ ඔහුගේ මේ මතවාද වලට විරෝධී අදහස් දක්වන පිරිස ෆෙමිනිස්ට් උදවිය කියල දැක්වීම . සමහර තැන් වල ටොක්සික් ෆෙමිනිස්ට් උදවිය කියලත් දක්වල තියනවා මම දැක්කා . ඒ නිසාම ඇල්ෆා මේල් කියන්නෙ මොකක්ද , ෆෙමිනිස්ට් කියන්නෙ මොකක්ද කියන එක දැනගෙන ඉන්නෙක වැදගත් .

ඇල්ෆා මේල් කියන්නෙ සාමාන්‍යයෙන් ප්‍රමුඛතම චරිතය හොබවන කෙනා . එයා තමයි රැහේ නායකයා . හැඩි දැඩි සොබාවයක් තියෙන රළු පිරුමියා . ගොඩක් ගැහැණු ආකර්ෂණය වෙන්නෙ මේ පිරිමියා ට .අපි නිතරම දකින බෑඩ් බෝයි චරිතය අයිති වෙන්නෙ මේ පෞරුෂයට . මේ ඇල්ෆා මේල් ටිකක් ඇග්‍රසිෆ් . තමන් ගැන ඕනවට වඩා කන්ෆිඩන්ට් . මෙයාලගෙ තියන ප්‍රධාන දුර්වලතාවය තමයි පාලනය කරගන්න බැරී ඊගෝ එක . ඒ නිසා නිතර නිතර ගැටුම් ඇති වෙනවා . තමන්ගෙ පාට්නර් එක්කවත් සංවදයක් කරන් යන්න බැරි තරම් ඇග්‍රසිව් . ගැහැණියෙක්ට ඕන කරන ඉමෝෂනල් දේවල් මේ පෞරුෂය ඇතුළෙ දෙන්න අමාරු වෙනවා .

ගොඩක් වෙලාවට ඇල්ෆා මේල්ලා කැමති වීක් ගෑණුන්ට .

රැඩිකල් ෆෙමිනිස්ට් කියන්නෙ මොකක්ද ? රැඩිකල් කියන්නෙ සරලවම සමාජයේ හෝ දේෂපාලන ක්‍ෂේත්‍රයේ වෙනසක් අපේක්ෂා කරන කෙනෙක් . ෆෙමිනිස්ට් කියන්නෙ කාන්තාවට නිසි තැන හිමි කර දිය යුතුයි කියල හිතන කෙනෙක් .

මෙතනදි මතක තියාගන්න ඕන දේ තමයි ෆෙමිනිස්ට් කියන්නෙ පාරෙ යනකොට පය පැකිළිලා වැටුණත් , සද්දෙට අධෝවාතයක් ,කිඹුහුමක්  ගියත් , පිරිමින්ට බනින එක නෙවෙයි .

පිරිමි නතින් ගෑණු තමයි උතුම් කියන එකත් , ගෑණු නතින් පිරිමි උතුම් කියන පුරුෂෝත්තමවාදී වීමත් යන දෙකම කියන්නෙ පෞරුෂ ආබාධ දෙකක් .

මිනිහෙක්ගෙ මතවාද ගොඩනැගෙන්නෙ ඔහුගෙ පෞද්ගලික ජීවිතයෙ අත්දැකීම් එක්ක, කසාද බැදපුවත් නැති ගැහැණියක් සමඟ ජීවිතය බෙදාහදා ගැනීම ආරම්භ නොකරපු මනුස්සයෙක් ගෑණු නතිං කිව්වම පොර ද ? ස්ත්‍රී දූෂණ චෝදනාවට ලක් වුණ සහ කාන්තාවකට පහර දෙන වීඩියෝපටයක් සමාජයේ වයිරල් උන මනුස්සයෙක් ලිංගික අතවරයකදී ගැහැණිය වගකීම ගත යුතුයි කිව්වම ඔහු පොරක් වෙනව ද ?

සුපිරි කාර් එකක් බස්සලා , සුරුට්ටුවක් කටේ ගහගෙන එලොවටත් නැති මෙලොවටත් නැති බේගල් කියන , ගැහැණු නතිං කියන පිරිමි උතුම් කියන මනුස්සයෙක් ඇටෙන් පොත්තෙන් එළියට එන ලංකාවේ යක්ක පුත්තු තමන්ගෙ රෝල් මොඩල් එක කර ගැනීම ඇත්තටම විහිලු සහගතයි . ඔය වගේ ගොන් මතවාද ප්‍රමෝට් කරන බහුතර පිරිමින්ගෙ ජංගියෙ ඉදන් තාම හෝදන්නෙ අම්මා, ඩේටා කාඩ් එක දාන්නෙ ත් අම්මා . ඇල්ෆා මේල් වෙන්න වුවමනාවට කෙල්ලො නතින් කියන ටේට්ස් ලා පස්සෙ ගිහින් පචවෙන්න එපා .

දැනගෙන ඇල්ෆා මේල් ලා සහ ෆෙමිනිස්ට් ලා වෙන්න. ටේට් වාදය අනුගමනය කරන ඔබ තවදුරටත් හැඬීම සහ කඩාවැටීම ප්‍රතික්ෂේප කරන ගෑණු හය හතක් රන් කිරීම මගින් තම පිරිමි කම කැල්කියුලේට් කරන ගෝරිල්ලෙක් වෙනවාද නැත් ද යන වග ඔබම තීරණය කරන්න .

~ පවනි වාසනා ~

Your email address will not be published. Required fields are marked *