මාධ්‍ය සෝදා පාළුවේ පාළු මකන අපේ රටේ මීඩියා

මාධ්‍ය සෝදා පාළුවේ පාළු මකන අපේ රටේ මීඩියා

63 views
0

සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය වගේම සමාජය ඇතුළෙ උණුහුමක් ඇති කරපු ඒ සිද්ධියෙන් දවස් කීපෙකට පස්සේ මේ සටහන ලියන්නේ. මින් ඉස්සරහට අකුරු ගළපන්න කලින් බොහොම ආදරයෙන් මතක් කරනවා මං මේක ලියන්නෙ මිනිස්සුන්ට කියලා. මේ ලිපිය ලියන්නෙත් මනුස්සයෙක් මේ ලිපිය කියවන්නෙත් මනුස්සයෙක්. ඉතින් මම ආයෙමත් මතක් කරනවා මේක ලියන්නෙ ගෑණුන්ටවත් පිරිමින්ටවත් නෙවෙයි මිනිස්සුන්ට .

තුරඟ තරඟ පිටියෙ ඝාතනය ! ඒ ගැන වැඩි යමක් සඳහන් නොකළත් නම ඇහුනම හැමෝම ඒ ගැන හොඳට දන්නවා .

සමාජයේ ජීවත් වෙන්නේ මොන වගේ මිනිස්සු කොට්ඨාස ද?, ඒ ඒ මිනිස්සුන්ට තියෙන්නෙ තියෙන්නෙ මොනවගේ මානසික මට්ටම් ද ?, අපේම සමීපතමයින් ගේ පවා අභ්‍යන්තරය අපි හිතුවට වඩා කොයිතරම් වෙනස්ද ?, රටේ වගකිව යුතු ජනමාධ්‍ය කොයි ආකාරයට ද කටයුතු කරන්නේ ?, සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මාධ්‍ය හැසිරවීමේ දැනුම කොයි වගේද ?

එකී මෙකී නොකී ප්‍රශ්න රාශියකට උත්තර ඒ එක සිදුවීමක් එක්ක ඔයාට හම්බෙන්න ඇති කියලා මං විශ්වාස කරනවා . තුරඟ තරග පිටියේ ඝාතනය ගැන කතා කරන්න කලින් , මං ඔබට කිව්වොත් සේයා සදෙව්මිණි කියන දැරිය මුළු මහත් රටක් එකතුවෙලා සමූහ දූෂණයට ලක් කළා කියලා , ඔබ එහි වගකීම භාර ගන්නවද ? සේයා දැරියගේ ඝාතනයත් එක්ක ඇගේ ඡායාරූප කොයි තරම් සමාජ මාධ්‍ය ඔස්සේ ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය උනාද ? ඇගේ දෙමාපියන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට මාධ්‍ය වල ඔබත් මමත් ඕන තරම් දැක්කා . එ සංසරණය වුන ඡායාරූප සහ වීඩියෝ පට වලට like බටන් එක ඔබලා share option එක පාවිච්චි කරපු කීදෙනෙක් ඉන්නවද කියලා හොයනවට වඩා නොකරපු කීයද ඉන්නේ කියලා හොයන එක ඇත්තටම ලේසියි !

මං ආයෙ ආයෙත් කියනවා සේයා සදෙව්මිණි දැරියගේ ඝාතනය මුළු මහත් රටක් එකතු වෙලා කරපු සමූහ දූෂණයක් . ජනමාධ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය නින්දිත හැසිරීම කොච්චරක්ද කියනවනම් වින්දිතයාගේ සහ පවුලේ පෞද්ගලිකත්වය වත් ආරක්ෂා කරන්න තරම් ශිෂ්ටත්වයක් නැතිව වීඩියෝ සහ ෆොටෝ මාධ්‍ය හරහා බෙදා හැරියා . ප්‍රවෘත්ති වල සැකකරුගේ පාපොච්චාරණයේ දී , ඔහු ඒ දියණිය දැක්කේ කොහොමද ? ඒ දියණිය දැක්කම මොනාද හිතුනේ ? ඒ දියණියව කොහෙටද උස්සන් ගියේ ? ඒ දියණියට මොනාද කලේ ? ආදි වූ මේ සියල්ල ගැන මාධ්‍යය සවිස්තරාත්මක අන්තර්ගත එක්ක ප්‍රචාරය කරනවා . මිනිසුනි ඇත්තටම ජන මාධ්‍යයක ප්‍රධාන කාර්යභාරය පරිශීලකයාට ස්වයං වින්දනය ලබන්න අවකාශයක් සලසා දීම නෙවෙයි . ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවභාවිත කරමින් යම්කිසි සිද්ධියකට මුහුණ දෙන වින්දිතයාගෙ සහ සැකකරුගේ ඡායාරූප අත්තනෝමතික ලෙස පාවිච්චි කරන්න කිසිම මනුස්සයෙක්ට අයිතියක් නැහැ . සේයාගේ ඝාතනයේ දී, ලැප්ටොප් එකේ අසභ්‍ය වීඩියෝ දර්ශන තිබ්බ කියලා කියලා සැකකාරයෙක් විදියට අත්අඩංගුවට ගත්තු පුද්ගලයා නිදොස් බව තහවුරු වෙනකොට, සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය විසින් ඔහුව සමාජය තුළ පත් කරන්න පුළුවන් පහත්ම තත්ත්වයට ඇද දාලා ඉවරයි . ඉතින් සේයා ඝාතනය කියන්නේ මේ රටේ වගකිවයුතු ජනමාධ්‍ය සමාජ මාධ්‍ය සහ මහජනතාව එකතුවෙලා කරපු සමූහ දූෂණය ක් . මෙය කියවන ඔබෙනුත් බොහෝ පිරිසක් එහි කොටස්කරුවන් .

එය සිදුවීම පැත්තකින් තිබ්බට පස්සේ මේ තුරඟ තරඟ පිටියේ ඝාතනය , මිනිස්සු ඇතුලේ හිටපු ධුලක ප්‍රතිරූප (Toxic Personalities ) කොයිතරම් ගණනක් එලියට ඇදල දැම්ම ද කියලා සමාජ මාධ්‍ය පාවිච්චි කරන ඔයා අනිවාර්යෙන්ම දකින්න ඇති. ඝාතනය සිද්ධ වෙලා පෑ දෙකක් යනකොට සමාජ මාධ්‍යවල සටහන් වෙලා තිබ්බ සමහර දේවල් ඇත්තටම මනුස්සයෙක් විදියට මම තදින්ම පිළිකුල් කරනවා ,

රටේ වගකිවයුතු ප්‍රධාන නාලිකාවක ඝාතනයට ලක්වුණ කාන්තාවගේ ජාතික හැදුනුම්පතේ ඡායාරූපයක් එහි සඳහන් කිසිදු පෞද්ගලික තොරතුරක් ආවරණය නොකර විකාශය කරනවා .

තවත් ප්‍රධාන පෙලේ රූපවාහිනි නාලිකාවක සහ ගුවන් විදුලි නාලිකාවක අදාළ තරුණිය වෙනත් පිරිමින් සමඟ අයථා සබඳතා පැවැත්තුවා කියලා හරහා විකාශය කරනවා . මනුස්සයෙක් මැරිලා පැය දෙකක් යනකොට ඒ මනුස්සයට තිබ්බ අයථා සම්බන්ධකම් ගැන දැනගන්න තරමට අමුතු ඇටේ ජනමාධ්‍ය හරිම දක්සයි .

ඔය අතර තවත් නාලිකාවක ටෙලිනාට්‍ය වැඩසටහනක් අස්සෙ ” අපි බෙල්ලට ඇන්නේ නෑ ඇයව පරිස්සම් කරා පමණි ” කියල කියන දර්ශනයක් යනවා . නින්දිතයි ටෙලිනාට්‍ය වල වීව්ස් ගන්න මනුස්ස ජීවිත විකුණන් කෑම .

facebook , වට්ස්ඇප් ට්විටර් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා , ” වටේ ගිය එකී මැරුණට නිවන් සුව පතන්නෑ , මරපු එකා නිදහස් වෙයන් කියල පතනවා ” කියලා මීම් ශෙයා වෙනවා .

ලංකාවේ ඉන්න ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ෆේස්බුක් ගිණුමේ අදාල තරුණයාගේ සහ තරුණියගේ ඡායාරූපයක් එක් කරමින් ” ඕකයි අපි කිව්වේ wrong generation එක්ක හැප්පෙන්න එපා කියලා ” මෙහෙම සටහනක් යොදනවා .

අවුරුදු 18 වත් නොවුණ ළමා මානසිකත්වයන් තියන නව යොවුන් වියේ පසුවන පිරිස් , ” ඔය වගේ වටේ යන ගෑනුන්ගෙ බෙල්ල දහපාරක් කැපුවත් පව් නැහැ ” සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කරනව .

සිදුවීමෙන් පැය ගණනාවක් ගිහිල්ලා, මිනීමැරුම කළා යැයි සැකකරන කරන ඒ අදාළ තරුණයා මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක් බව ප්‍රවෘති හරහා ප්‍රකාශ කරනවාත් ඔබ දකින්න ඇති .

ඔය වගේ සිදුවීම් ගණනාවක් එක්ක හෙට නිවුස් වලට අදාල තරුණිය තමන්ගේ ගෙල සියතින් කපාගෙන මියගියා කියලා කියන්නත් බැරි නැහැ , අදාළ තරුණයා දුවන්නෙ මහණවෙන්න අසපුවකට කියල කියන්නත් බැරි නැහැ .

ඇත්තටම මීඩියාවල වගකීම ඕකද ?
මට මතකයි මගේ මීඩියා ගුරුතුමා ජීවන සර් එක අවස්ථාවක කියනවා , ඔහු ලියන ලද වර්ජින් නවකතාවෙ අදාළ තරුණියට නමක් නොදැම්මෙ ඇයි කියන පැනයට … ” මේ වගේ රටක් ඇතුලෙ පතිවත නැති ගැහැනියක ගැන නවකතාවක ඒ ගැහැණියට නමක් දුන්න නම් හෙට ඉඳන් ඒ අදාල නම තියෙන සියලුම ගැහැණුන්ගෙන් මිනිස්සු ප්‍රශ්න කරන්න ගනීවි . ඒ ඔයාගෙ කතාව නේද ? ඔයා ගැන නේද ඒ පොතෙ තියෙන්නෙ ? කියල අහාවි “

මට හම්බුන උත්තරය ඔන්න ඔහොම එකක් . එක නමක් නිසා මනුස්සයෙක්ට අපහාසයක් වෙන්න පුළුවන් කියලා හිතන මිනිස්සු මේ රටේ තාමත් ඉන්නවා , හැබැයි ඒ අතරේ නම විතරක් නෙවෙයි අදාළ පුද්ගලයාගේ සියලුම පෞද්ගලික තොරතුරු සමාජගත කරල එම පුද්ගලයාගේ පවුලේ ජීවිත පවා අනාරක්ෂිත කරන අපහාසයට ලක් කරල මිනිස්සු වැහි වැහැලා .

කරුණාකරලා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා ! ජනමාධ්‍ය හෝ වේවා සමාජ මාධ්‍ය හෝ වේවා පාවිච්චි කරනකොට ඔයිට වඩා සබුද්ධික වෙනව නම් ඇත්තටම වටිනවා .
මියගිය තරුණිය වටේ ගියා කියලා පොස්ට් share කරපු මිනිසුන් ගැන මට අහන්න තියෙන්නෙ එක ප්‍රශ්නයයි , share කරපු මිනිස්සුන්ගෙන් එක පුද්ගලයෙක් හරි ඉන්නවද ඇයත් එක්ක එකට හිටපු ? මම හිතන්නෑ කවුරුත් ඇති කියලා . ඉතින් කරුණාකරලා නොදන්න දේවල් ගැන බයිලා ශෙයා කරන්න එපා මිතුරනි .

ඊළඟ කාරණාව සමාජ මාධ්‍ය ඇතුලේ මිනීමැරුම් සාධාරණීකරණය කරන එකෙන් වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අවස්ථාව එකෙන් එක අහිමි කිරිම . හොඳින් මතක තියාගන්න ඔබ share කරපු එක පෝස්ට් එකක් මේ රටේ සිදුවන ඊළඟ මිනීමැරුම සඳහා අති ප්‍රබල දායකත්වයක් දැනටමත් ලබා දීලා ඉවරයි . ඉතින් මේ රටේ ඊළඟ මිනිමැරුමේ , ඔබත් කොටස්කාරයෙක් .

රටේ මාධ්‍යයක ප්‍රධාන වගකීම තමයි යම් කිසි සිද්ධියක් වුණාම ඒ සිදුවීම ගැන නිවැරදි තොරතුරු ජනතාව සතු කිරීම . මම දන්නෙ නැහැ මාධ්‍ය සදාචාරය පවා උල්ලංඝනය කරමින් අදාළ සිදුවීම තුළින් තවත් පාර්ශව ගණනාවකට කැලැල් ඇති කිරීම මාධ්‍ය කාර්යභාරය තවත් එක කොටසක් ද කියලා . රටකට මාධ්‍ය තියෙන්නෙ හෝදා පාළු මකන්න නෙවෙයි .

ඔහු මැරුණේ දුම්රියෙන් බිමට වැටිලා , ඔහු මැරුණේ දුම්රියෙන් බිමට තල්ලු කරල , ඔහු මැරුණේ දුම්රිය අනතුරක් සියැසින් දැකපු කම්පනයට , ඔහු මැරුණේ දුම්රිය අනතුරක් ගැන චිත්‍රපටයක් බල බල ඉන්න අවස්ථාවක හදිසියේ ඇතිවූ ඇති වූ හෘදයාබාධයකින් ….
එකම සිදුවීමක් ගැන එකිනෙකට වෙනස් ප්‍රවෘත්ති තොරතුරු රූපවාහිනියෙ ගුවන්විදුලියෙ යනකොට , රටේ මහජනතාව කොහොමද මාධ්‍ය පිළිබඳ විශ්වාසයක් තියාගන්නේ ?

නවකතාවක් සහ ප්‍රවෘත්තියක් අතර වෙනස දන්නෙ නැති මාධ්‍යවේදීන් එක්ක රටේ ඉදිරි පැවැත්ම ගැන කොහොමද බලාපොරොත්තුවක් තියාගන්නෙ ?

කරුණාකරලා තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් , වාණිජමය අරමුණු වෙනුවෙන් , ෆේස්බුක් එකේ යූටියුබ් එකේ රීච් හදා ගැනීම වෙනුවෙන් මනුෂ්‍ය ප්‍රාණියෙක් ගේ මුළු ජීවිතයම විකුණන් කන්න එපා .

මාධ්‍යයට හා සමානවම මේ මාධ්‍ය පාවිච්චි කරන ඔයාගේත් වගකීමක් තියෙනවා මේ වගේ දේවල් විවේචනය කරන්න මේ වගේ දේවලට විරුද්ධ වෙන්න . අදාළ සිද්ධියේ වින්දිතයාගේ අත්තා පනත්තා නත්තා කිරිකිත්තා වෙනකන් පරම්පරාවේ සියලුම තොරතුරු මාධ්‍යධ්‍යගත කරනකම් ටීවී එකේ ඉස්සරහට වෙලා ෆෝන් එක ඉස්සරහට වෙලා කට අරන් බලන් ඉන්නව නං ඇත්තටම ඔයා ෆේල් මනුස්සයෙක් . ජඩ මාධ්‍යයේ script වලට අහු උන ඉත්තෙක් .

එක තත්පරයකට හරි හිතලා බැලුවද තුරඟ තරග පිටියෙ ඝාතන සිදුවීම ඇතුලේ ඉන්න ඒ මියගිය තරුණියගේ පවුලෙ මිනිස්සු හෙට ඉඳන් මේ සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය තුළින් එල්ල වෙච්ච බලපෑමත් එක්ක , පුරුදු පරණ විදිහට ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි ද කියලා . ඔවුන්ට ඔවුන්ගේ සාමාන්‍ය ජීවන චර්යාව නැති කලේ ඔබ ! කරුණාකරලා මිනිසුන්ගේ ජීවිත විකුණගෙන කන්න එපා .

සමහර ප්‍රවෘත්ති වල සිරස්තල බලන්න බැරි තරම් අප්‍රසන්නයි , ඒ සිරස්තල හදන උදවිය දන්නවද නැද්ද කියන්න මම දන්නේ නැහැ ප්‍රවෘත්තියක් කියන්නේ ඇක්සිඩන්ට් එකක් උනහම හැප්පුන වාහනයෙ ටයර් එකෙ කට්ටා කීයක් තිබ්බද , හැප්පෙන වෙලාවේ driver ඇඳන් හිටපු යට ඇදුම මොන පාටද කියල කියන එක නෙවෙයි ! ඉතින් ඔය වගේ අවම මාධ්‍ය සදාචාරය වත් භාවිත කරන්න දන්නේ නැති බහුතරයක් මාධ්‍යවේදීන් නිසා පිරිහෙන්නේ අපේ රට අපේ සමාජය සහ අපේ පරම්පරා.

මනුස්සයෙක්ගේ පෞද්ගලික තොරතුරු අත්තනෝමතික විදියට අවභාවිතා කරන එක සදාචාරයට වගේම නීතිය ටත් පටහැනි වැඩක්.රටක මාධ්‍යයක් තුළින් වැඩි වැඩියෙන් මාකට් වෙන්න කුණු නං ඔබ හොඳට මතක තියාගන්න ඒ රටෙන් වැඩි පිරිසක් කුණු කන ඌරන් .

ගැහැණියක් හෝ පිරිමියෙක් දූෂණය උනහම , බෙල්ල කපල මරල දැම්මම , අනේ ඉතිං මැරිල ඉවරනේ මොනා දැම්මත් කමක් නැහැ කියලා ඇගේ සියලුම පවතින තොරතුරු මාධ්‍ය වලට මුදා හරින්න එපා . ඇය හෝ ඔහු මියගියාට ඇයගේ ඇයගේ හෝ ඔහුගේ පවුලේ උදවිය හෙට ඉදන් ජීවත් වෙන්න ඕනත් මේ සමාජයෙමයි .

රටේ මීළඟ මිනීමැරුම් වලට අනුබල දුන් සියලුම මාධ්‍යවේදියනි, මාධ්‍ය පරිශීලකයිනි, තමන් කිසිදිනක නොදුටු නන්නාදුනන තරුණියක් මිය ගිහින් පැය ක් යන්නට කලියෙන් ගණිකාවක් කිරීමට උර දුන් මාධ්‍යවේදියනි , මාධ්‍ය පරිශීලකයිනි, ප්ය්දෝර් දොස්ත්යෝව්ස්තිගේ “අපරාධය හා දඩුවම” නවකතාවේ ප්‍රධාන චරිතයවූ හා මනුෂ්‍ය ගාතනයකට සම්බන්ධ “රස්කොල්නිකොව් ” තම පෙම්වතියවූ, කාස රෝගයෙන් පෙලෙන තම අඩ සොහොයුරු සොහොයුරියන් ගේ කුසගිනි නිවීම සඳහා රුබල් 30 කට තම පතිවත බේබදු තැබාරුමකට විකිනු “සෝනියා” ඉදිරියේ දණගසා කියන්නේ “මා දනගසන්නේ සෝනියා නමැති තරුණිය ඉදිරියේ නොව, ඔබ තුල දික්විදින මනුෂ්‍ය ආත්මභාවය ඉදිරියෙයි” පවසන්නේ, සියලුම ආකාරයේ දුකටපත් මනුෂ්‍යයන් වෙනුවෙන් නොවේද?

හදවත් විකුණු මාධ්‍ය ජාලා හිමියනි, මාධ්‍ය කරුවෙනි, නුබලාගේ මාධ්‍ය චාරය නින්දා සහගතය.

~ පවනි වාසනා ~

Your email address will not be published. Required fields are marked *