මූලික ළමා අයිතිවාසිකම් සපුරන්නවත් ශ්‍රී ලංකාවට පුලුවන් ද ?

මූලික ළමා අයිතිවාසිකම් සපුරන්නවත් ශ්‍රී ලංකාවට පුලුවන් ද ?

121 views
1

පාසල් උපකරණ වල මිල 300% කින් ඉහළට !

පාසල් දරුවන්ගේ දෙමාපියන් හඬා වැටෙයි , පාසල් උපකරණ මිල අධික ලෙස ඉහළට !

අභ්‍යාස පොත් හා ලිපි ද්‍රව්‍ය මිල අහස උසට !

මෙ විදියට උඩින් සටහන් කලේ ප්‍රවෘති සිරස්තල කීපයක් . ඇත්තටම අද කතා කරන්න වුවමනාය කියල මට හිතුනෙත් ඔය ගැන . සාමාන්‍යයෙන් අපේ රටේ රෝයල් පාටි ගැන , ගුරුවරුන්ගෙ වස්ත්‍රෙ ගැන , බාර් එකේ පෝළිම ගැන , දික්කසාද උන නළු නිළියො ගැන වාද විවාද එමටයි . ඒ නිසාමයි මේ ගැන කතා කළ යුත්තෙත් . අපි කතා කරල කතා කරලම අපිට කතා කරන්න අවශ්‍යම කාරණා මගහැරිලා . මේ වෙනකොට පාසල් උපකරණ වල මිල ගණන් සාමාන්‍ය දරුවෙක්ට ලඟා කරගන්න බැරි සුඛෝපභෝගි භාණ්ඩ බවට පත් වෙමින් පවතිනවා . 

ඔය සියල්ලටම කලින් ලාංකේය දරුවා ගැන කතා කළොත් , ඔවුන් තව දුරටත් ලංකාව තුළ සුරක්ෂිතද යන කාරණාව ගැන විවෘතව කතා කළොත් , ආවසාන වශයෙන් කියන්න තියෙන්නෙත් ලියන්න තියෙන්නෙත් කතා කරන්න තියෙන්නෙත් මෙච්චරයි . 

දිනකට ළමා අපයෝජන 12 ක ප්‍රමාණයක් වාර්තා වන ,

දෛනික ළමා ගැබ් ගැනීම් 10 සීමාව ඉක්මවන ,

දෙමාපිය ඇරියස් ළමයින්ගෙ ජීවිත වලින් කවර් කරන ,

නිදහස් අධ්‍යාපනය තුළ නිවහල් ළමුන් වහලුන් කරන ,

ළමා මන්දපෝෂණය යුනිසෙෆ් හි 06 වෙනි ස්ථානයෙ සිටින ,

මෙ සිරිලකෙහි 

ළමයින් යැයි හංවඩු ගසන්නා වූ හුදු අවිහිංසක මනුස්ස ප්‍රාණීන් තවදුරටත් සුරක්ෂිත ය කියල හිතන එක , තවදුරටත් ඔවුන්  සුවපහසුවෙන් සිටිනවා කියල හිතන එක රටේ වග කිව යුතු පුරවැසියන්ගේ සහ වැඩිහිටියන්ගේ මුග්ධ බව .

ඇත්තටම අද වෙනකොට ලංකාව ඇතුළෙ ළමයා ට වැඩිහිටියන් විසින් ළඟා කරල දීලා තියන ස්ථානය තමයි මම උඩ සදහන් කලේ . ඇත්තටම ඒ සියල්ලට වග කියන්න ඕන වැඩිහිටියන් .. ඔව් ඔවුන් ගෙදර අම්මාගේ තාත්තාගේ සිට අවිහිංසක මහ ජනතාව හූරාගෙන කන දේශපාලකයා දක්වා ඕනෑම කෙනෙක් විය හැකියි  . රටක් ඇතුලත එ රටෙහි දරුවා සහ ඔහුහේ අනාගතය අනාරක්ෂිත වීම කෙරෙහි සියලු වැඩිහිටියන් නානාවිධ පැතිකඩ වලින් වග කිව ‍යුතුමයි . 

අද කතා කරන්න තිරණය ගරගත්තු මාතෘකාවෙන් පරිබාහිරව යන්න වුවමනා නැති නිසා ආයෙමත් පාසල් උපකරණ වල මිල ඉහල යාම පැත්තට හැරෙමු .  රටේ අධ්‍යාපනය ගත්තම , ලංකාව තුළ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කරල දීලා තියනවා සුවහසක් දරුවන්ට , රජයේ පාසල් ගොඩනගල , නිළ ඇදුම් වවුචර් පත් ලබා දීලා සියලු දරුවන්ට එකා වගේ ඉගෙන ගන්න පුලුවන් පරිසරයක් නිර්මාණය කරල දීලා තියනවා . ළමයින්ගෙ චින්තනය වැඩි කරන්නය කියල පෞද්ගලික සුඛ විහරණය පැත්තකට දාලා එක කාලෙක පාසල් වල විද්‍යාගාර ගොඩ නැගුවා . ඉතින් ළමයි කෙසෙවෙතත් ළමයින්ගේ අධ්‍යාපනය හරි සුරක්ෂිතයි නේ , ඒ හොදටම ඇතිනේ . 

පිස්සු කතා කරන්න එපා හිතවතුනි , 

පහසුකම් හා සේවා ගාස්තු රුපියල් තුන්දාස් පන්සීය යි , නැත්නම් ඊට වැඩියි . 

සපත්තු කුට්ටමක් රුපියල් තුන්දහත් පැනලා . 

රෙදි යාරයක ගාණ ඩබල් වෙලා . 

අභ්‍යාස පොත් වල මිල ගණන් ට්‍රිබල් වෙලා . 

කෑමපෙට්ටි වතුර බෝතල් ආසාවටවත් අරන් දෙන්න බැරි තරම් මිලාධිකයි . 

ඉතින් තවදුරටත් ළමයා තියා ළමයාගෙ අධ්‍යාපනයවත් සුරක්ෂිත නෑ හිතවතුනි. 

රුපියල් 120 ට තිබ්බ පිටු 120 පොත දැන් රුපියල් 225 ක් 

රුපියල් 65 තිබ්බ පිටු 40 පොතක් දැන් රුපියල් 150 ක් 

පිටු 40 සී ආර් පොතක් දැන් රුපියල් 290 ක් 

රුපියල් 115 ට තිබ්බ පිටු 40 ක චිත්‍ර පොතක් දැන් රුපියල් 230 ක් 

සපත්තු සහ පාසල් බෑග් මිල ගණන් පෙර මිලට වඩා රුපියල් 1000 කින් පමණ ඉහළ ගිහින්  

රුපියල් 10 ට ගත්තු මකන කෑල්ලක් , පෑනක් , පැන්සලක් දැන් රුපියල් 50 ට කිට්ටුයි . 

ඉස්සර මට මතකයි රුපියල් 100 ට මම පෑන් 10 ක් ගත්තා , ඒ පෑනම දැන් 100 ට 3 යි ගන්න හැකි . 

අභ්‍යාස පොත් මුද්‍රණය කරනු ලබන දිස්ත්‍රික් නියෝජිතයන් කියන විදියට මේ වෙනකොට රුපියල් 800 ට විකුණන පොත් ඉස්සරහට රුපියල් 2000 කට විතර අලෙවි මිල සදහන් වෙන්න පුලුවන් ලු . 

ඇත්තටම මේ වෙනකොට පාසල් උපකරණ මිල ඉහළ යාම ඛේදවාචකයක් බවට පත් වෙන ගමන් තියෙන්නෙ . මේ ගැන සමාජ මාධ්‍ය තුළ අහිංසක මව් පියන්ගෙ අදහස් සටහන් වෙලා තිබ්බා . එක් පියෙක් කියනවා තමන්ගෙ දරුවට පාසල් පොත් කට්ටලය ගන්න රුපියල් 12000 ක මුදලක් වැය වෙනව කියල . දරුවො තුන් දෙනෙක් ඉන්න ගෙදරකට දළ වශයෙන් රුපියල් 36000 ක මුදලක් යනව පාසල් භාණ්ඩ මිලට ගන්න . ගෙදර එක භාරකාරයෙක් හිටියොත් ඔහුගේ හෝ ඇයගේ මසක මුලු වැටුපම තමන්ගෙ දරුවන්ගෙ පාසල් උපකරණ කට්ටල වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා . 

මේ ඛේදවාචකයට මම පෞද්ගලික ව දරුණු විදියට මුහුණ දෙමින් සිටින අයෙක් . මම විශ්වාස කරනවා ඔයත් ඔයාගෙ පවුලේ කීපදෙනෙක්මත් නියත වශයෙන්ම මේ වෙනකොට මෙම අධික ලෙස මිල ඉහළ ගිය පාසල් භාණ්ඩ හේතුවෙන් පීඩනයට පත් වෙලා ඉන්නවා කියල . 

මේ කාරණාවට හේතුව ලෙස බලධාරීන් , දේශයේ මුර දේවතාවන්ට නොදෙවැනි දේශ පාලකයන් පවසන්නෙ ,

කඩදාසි සහ මුද්‍රණ කර්මාන්තය ට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය ඉහළ ගිහින් තියෙන හින්දාත්,මෙරට පොලී අනුපාතය ඉහල යාම හින්දත් , ඩොලරයේ අගය ඉහල යාම හින්දත් මේ තත්වය උදා වෙලා තියනවා කියල යි . 

පාසල් උපකරණ වලට මේ වෙනකොට පනවල තියෙන සෙස් බද්ධ මෙම මිල ඉහළ යාමට බලපාන තවත් හේතුවක් . 

කොයි විදියට ගත්තත් මේ විනාශ වෙමින් යන්නේත් , මේ ක්ෂය වෙමින් යන්නේත් රටේ අනාගතය බාර ගැනීමට සිටින අහිංසකයන්ගේ ජීවිත . 

දරුවන් වෙනුවෙන් තවදුරටත් පෙනි සිටිය යුතු තැන් තිබියදී , ගුරුවරුන්ගේ සාරියටත් , ගුරුවරුන්ගේ සරමටත් මුල් තැන දීම ඇත්තටම මම දකින්නේ විහිලුවක් විදියට . 

සාරියක් හරි ඔසරියක් හරි සායක් හරි වේවා මොන වස්ත්‍රයක් හරි ඇදන් පාසලකට ගුරුවරු විතරක් ගියහම ඇතිද ? 

ඉදිරියට ගුරුවරුන් අධ්‍යාපනය ලබාදෙන්න ඕන ඩෙස්ක් සහ පුටු වලට ද ? 

අවම වශයෙන් රටේ දරුවන්ගේ මූලික අවශ්‍යතා වත් සපුරාගත නොහැකි ජාතියක් ලෙස ශ්‍රී ලාංකික අපි කොයිතරම් අසමත් ද ?

විසඳුමක් ලැබෙනකන් අරගල කළ යුතු , වාද කළ යුතු ප්‍රශ්න තිබියදී දෑස් කන් පියාගෙන බලා සිටීම කොයිතරම් යුක්ති සහගත ද ?

~ පවනි වාසනා ~

Your email address will not be published. Required fields are marked *