#යළිනොලියමි සමඟ යළි උඩ ආ බුද්ධිමය දේපල ව්‍යාජ PDF ජාවාරම

#යළිනොලියමි සමඟ යළි උඩ ආ බුද්ධිමය දේපල ව්‍යාජ PDF ජාවාරම

385 views
1

ෆේස්බුක් ට්විටර් සමාජ මාධ්‍ය වල සැරිසැරූ ඕනම කෙනෙක්ට මේ වෙනකොට ඔය හොර pdf කතන්දරය ඇහැගැටිලා තියෙන්නම
ඕන. #යළිනොලියමි හෑෂ්ටෑග් එකකින් කර්තෘවරුන් සහ පාඨකයන් විශාල ප්‍රමාණයක් මෙම හොර pdf ජාවාරමට විරෝධය දක්වලා තිබ්බත් ඔබ දකින්න ඇති. යම් යම් අය විවිධාකාරයේ නිර්වචන ‘යළිනොලියමි’ හෑෂ්ටැග් එක සම්බන්ධවත් ඉදිරිපත් කරල තිබ්බ.
ඒක නෙවෙයි මේ ප්‍රශ්නයට විසදුම කියලත් සඳහන් කරල තිබ්බා. ඔව් ඇත්ත හෑෂ්ටෑග් එකකින් හොර pdf කරණය නවත්වන්න බෑ. නමුත් පාඨකයින් සහ කතුවරයින් සියල්ලම පාහේ එකා වෙනුවෙන් එකා හිටහත්තා මේ අනීතික ක්‍රියාදාමයට විරුද්ධ වෙන්න . නොලියා ඉන්න එක නෙවෙයි මේ කාර්‍යයේ ඇත්තම අරමුණ උනේ ව්‍යාජ සහ අත්තනෝමතික පිටපත්කරණයට තිත තැබීම . මේ ගැන තවදුරටත් හොයා බලන එක වටින්නෙ කලින් කලට ඔය විදියේ pdf හොරු සම්බන්ධ ගැටලු උඩ ඇවිත් යට ගියාට මේ වතාවෙ සමාජය තුළ යම්කිසි උණුහුමක් ඇති කරමින් මේ සිද්ධිය නැවත ලියන්නන් සහ කියවන්නන් අතර ගට්ඨනයක් ඇතිකරලීම .

ග්‍රන්ථ ව්‍යාජ pdfකරණය පිළිබද ගැටලුව එකවරම කරළියට ආවෙ කොහොමද ?

සමාජ මාධ්‍ය පරිහරණය කරන්නියක් විදියට මම බොහෝ වෙලාවට දැක්ක දෙයක් තමයි ටෙලිග්‍රෑම් සහ ෆේස්බුක් කියන ප්ලැට්ෆෝම් දෙක හරහා මෙම ව්‍යාජ පිටපත් අත්තනෝමතික ලෙස බෙදාහැරීන . ඩරාස් ආයතනය හරහාත් මෙම ජාවාරම කාලයක් තිස්සෙ සිදු වුණා . E පිටපතක් විදියට කර්තෘ අවසරයවත් නැතිව මෙම පොත් සංස්කරණය කරල බාගත කරන්න යම් කිසි මිලක් නියම කරමින් මූල්‍යමය ජාවාරමක් කාලයක් තිස්සේ මොවුන් කරගෙන යමින් සිටියා. ඔතනදි තව දුරටත් හොයල බැලුවම වට්සැප් සහ තවත් වෙබ් අඩවි ඔස්සෙත් මෙම ජාවාරම ඉතා සාර්ථක විදියට ඔවුන් කරගෙන යමින් සිටියා .

ඔය සියලු ක්‍රියාවලීන් සිද්ධවෙමින් පවතින අතරෙ , ෆේස්බුක් හරහා සිදු වුණ වචන හරඹයක් හේතුකරගෙන තමයි මේ යළිනොලියමි හෑෂ් ටෑග් එක හරහා යටගියාව පැවති pdf විරෝධතාවය උඩට එන්නෙ .

අසේල වෙදමුල්ල නම් ෆේස්බුක් ගිණුම් හිමියෙක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ , ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උපලේකම් , ප්‍රතිභා ප්‍රකාශන අධිපති , ලේඛක ලසිත රවීන් උමගිලිය මහතා ඉලක්ක කර ගනිමින් දැමූ කමෙන්ට් කීපයක් මේ හටන යළි ආරම්භ වෙන්න හේතු උනා . එම කමෙන්ට් සියල්ල කියවල බැලුවම එහි වචනාර්ථය තමයි පෙර කී අසේල නමැති පුද්ගලයා ලසිත මහතාට අභියෝග කරන්නේ ” ඔබේ පොත් pdf කරනවා , පුළුවන් දෙයක් කරපම් “යැයි කියා අභියෝග කිරීම .
ඇත්තටම පොතක අයිතිකරුට , කතෘට අභියෝග කරමින් ඒ පොත තමන්ට වුවමනා විදියට විකෘති කරනවා යැයි තර්ජන හා ගර්ජන සිදු කිරීම ජාතියක් විදියට අපි ලැජ්ජා විය යුතු කාරණාවක් .

මේ ඔස්සේ පටන් ගත්තු #යළිනොලියමි හෑෂ් ටැග් එක හරහා තමයි වඩාත් ගැඹුරටත් සංකීර්ණවත් මේ ප්‍රශ්නය කතා බහට ලක් වෙන්නේ . ජනමාධ්‍ය හරහා පවා මේ ගැන කතා බහට ලක්වෙමින් පවතිනවා මේ වෙනකොටත් .

කාගෙවත් පොතක් අපිට ඕන විදියට pdf කරන්න පුලුවන්ද ?

මේ ප්‍රශ්නයට දෙන්න පුලුවන් කෙටිම සහ සෘජුම පිළිතුර තමයි බැහැ කියන එක . මේ ගැන තවදුරටත් විස්තර කළොත් පොතක් කියන්නේ බුද්ධිමය දේපළක් , පොතක ව්‍යාජ පිටපතක් සකස් කිරීම කියන්නේ බුද්ධිමය දේපළ අවභාවිතා කිරීමක් . ශ්‍රී ලංකාවේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතට අනුව මෙලෙස බුද්ධිමය දේපළ අවභාවිතා කිරීම කියන්නේ දඩුවම් ලැබිය හැකි වරදක් .

වරක් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ කෘතිය අනවසරයෙන් මුද්‍රණය කර බුද්ධිමය දේපළ පනතේ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කළා යැයි අධිකරණයෙන් දඬුවම් නියම වූ ව්‍යාපාරික මංජුල කීර්ති අබේසේකර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ අත්තඩංගුවට ගන්නා ලද අතර ඔහු වරද පිළිගැනීමෙන් පසු අධිකරණය වසර දහයකට අත්හිටවූ මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 25,000 ක දඩයක් නියම කර තිබිණි .

පොතක ව්‍යාජ පිටපතක් සකසන එක කොයිතරම් නම් බරපතළ ද කියලා ඔය උඩ කිව්ව දෙයින් පැහැදිලි වෙනවා ඇති . සාමාන්‍යයෙන් හැම පොතකම පාහේ පිටුවක් වෙන් වෙනවා මෙන්න මෙහෙම සඳහන් කරපු .

‘ සියලුම හිමිකම් ඇවිරිණි … කර්තෘගෙ ලිඛිත අවසරයකින් තොරව මෙම ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් හෝ උපුටා ගැනීම, කවර මාධ්‍යයකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම හා මුද්‍රණය කිරීම අලෙවි කිරීම , බෙදා හැරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ .

ඔය විදිහට පොතක සටහන් වෙලා තියෙකොට සාක්ෂරතාවයක් නැති මිනිස්සු විදිහට , තව කෙනෙකුගේ පොතක් ඒ අදාල පොතේ අයිතිකරුගේ අවසරයක් වත් නැතුව පීඩීඑෆ් ගත කරලා බෙදා හැරීම හෝ , යම්කිසි platform එකක් හරහා මුදලට අලෙවිකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා ඒ පොත් pdf කරන සියලු දෙනා වගේම ඒ පිටපත් කියවන සියලු දෙනාමත් දැනගත යුතු කරුණක් .

මේ ගැන කතුවරුන්ගේ අදහස් මොනවගේද ?

“මේ මොහොතේ හොරුන් හඳුනා ගත යුතුය. බුද්ධිමය දේපල හොරුන්ට විරුද්ධව සටන ආරම්භ කළ යුතුය. ප්‍රකාශකයින් සියලු දෙනාම එකට එක්ව හොරුන්ට විරුද්ධව නීතිමය පියවර ගනිද්දී ලේඛකයෙක් වශයෙන් මගේ යුතුකම විය යුත්තේ හොරුන් හොරකම නවතාලන තුරු, එසේත් නැතිනම් හොරකම අවම කරන අතුරු පොත් නොලියා සිටීම යැයි අවංකව සිතමි.

මගේ පොත් පොත්වලට ආදරය කළ, මගේ ලියවිලි අගය කළ, ලේඛකයෙක් ලෙසින් ශක්තිමත් ස්ථාවරයක් ගොඩ නගා ගන්නට උදව් දුන් , පාඨක ඔබෙන් ඉල්ලීමක් කරමි . එනම් මේ pdf හොරුන්ට විරුද්ධව කරන අපගේ සටනට සහය දැක්වීම ඒ ඉල්ලීමයි . ‘

  • ලේකක මංජුල සේනාරත්න –

‘ නිර්මාණකරුවන් අපට දරුවන් වැනි ය. මගේ ‘ දඩයම් බල්ලො ‘ නිර්මාණය එවැනි සමාජජාලාවල, අන්තර්ජාල කණ්ඩායම්වල pdf කර ඇති අයුරු දකිද්දී මට දැනුණේ, මා බිහි කළ දරුවා මගේ ඇස් ඉදිරිපිට පාපතරයෙකු අතින් අතවරයට ලක්වෙනවා වැනි හැඟීමකි . ඒ වේදනාව ඔබට දැනී තිබේ ද ? ඔබේම දරුවකු ඔබේ ඇස් ඉදිරියේ විනාශ වෙනවා .. අපිවන් නිර්මාණකරුවන්ට එය උපරිමයට දැනී ඇත. ඒත් අපි කිසිදා එවන් දෙයක් මේවා කරන අයට අත් වේවා යන්න පතන්නේ නැත. එහෙත් මෙවන් අපරාධ සිදු කරන්නන්ට මේ මහපොළොවේ නීතිය දවසක ක්‍රියාත්මක වේවි යැයි සිතමි . ‘

  • ලේකක සමීර ඒකනායක –

මේ අනීතික පිටපත්කරණය සම්බන්ධව ලේඛකයන් දක්වලා තිබ්බ අදහස් තමයි ඔය . ඉතින් ලේඛකයෙක් විදිහට තමන්ගෙ පොතක් තමන් නොදැනුවත්වම ඔය විදිහට ව්‍යාජ පිටපත් සැකසීමකට ලක් වෙලා තියෙන එක ඔහුට කොයි විදිහටද දැනෙන්නෙ කියලා දැන් ඔබට අවබෝධ ඇති . එක් අතකට මෙය සදාචාර සම්පන්න නැති වැඩක් වගේම නීති විරෝදී වැඩක් .පාඨකයෙක් විදිහට ඔයා ඒ විදිහට හොර පිටපතක් කියවන කෙනෙක් නම් හොඳින් මතක තියාගන්න , ඔයත් යම් ආකාරයකින් හෝ මෙම ව්‍යාජ පිටපත්කරණය සඳහා දායකත්වයක් දක්වලා තියෙනවා . ඉතින් හා බුද්ධිමත් පාඨකයෙක් විදිහට ඔබට කරන්න පුළුවන් දේ තමයි මේ වෙනුවෙන් කතා කරන එක , මේ දේවල් විවේචනය කරන එක , මේ දේවල් වලට විරුද්ධ වෙන එක , එහෙම නැත්නම් මේ ව්‍යාජ පිටපත් කියවීමෙන් වැලකී ඉන්න එක .

ඔබේ පොතක ව්‍යාජ pdf පිටපතක් ඔබ නොදැනුවත්ව සකසලා නම් ඔබට කරන්න පුලුවන් මොනාද ?

මේ වෙනකොටත් ඔයාගෙ අවසරයක් නැතිව ඔයාගෙම පොතක් ව්‍යාජ පිටපත්කරණයට ලක්වෙලා නම් ,
ඔයාට එම පිටපත සැකසූ පුද්ගලයා හෝ කණ්ඩායම හදුනාගන්න පුලුවන් නම් මහෙස්ත්‍රාත් අධිකරණය හරහා පෞද්ගලික පැමිණිල්ලක් ඒ වෙනුවෙන් යොමු කරන්න හැකියාව තියෙනවා .
එම ව්‍යාජ පිටපත සකසපු පුද්ගලයව ඔයාට හඳුනාගන්න බැරි නම් ඔයාට පුළුවන් බුද්ධිමය දේපළ කාර්යාංශයේ බුද්ධිමය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධව පත් කරලා ඉන්න ජනරාල්වරයා හරහා මේ පිළිබඳ පැමිණිල්ලක් ගොනු කරන්න .
මේ ක්‍රම දෙක හරහා හරහාම ඔයාට මේ ව්‍යාජ පිටපත්කරණයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් .

මේ වෙනකොටත් pdf ජාවාරම්කරුවන්ට විරුද්ධව පාඨකයන් සහ ලේඛකයන් කියන දෙපිරිසම නැගී සිටිමින් ඔවුන් නීතියේ රැහැනට හසුකර දීම සඳහා විශාල ප්‍රයත්නයක යෙදී සිටිනවා . අදාළ පුද්ගලයන්ට විරුද්ධව රහස් පොලීසියේ cyber crime අංශයේ නඩු පැවරීම ආදියත් මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා . මාධ්‍ය හරහා මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ජනමාධ්‍ය වගකීම කරගෙන මේ වෙලාවේ දී ගොඩක් මාධ්‍ය ආයතන කටයුතු කරනවා . බොහෝ පාඨකයන් ගණනාවකුත් අදාළ නීති විරෝධී කණ්ඩායම් වලට විරුද්ධ වෙමින් ඔවුන්ගේ අනන්‍යතාවයන් ලේඛකයන්ට හෙළි කරමින් මේ සඳහා සහය පළ කරමින් ඉන්නවා .
මේ විදිහෙ ධනාත්මක ප්‍රතිචාර සහිත ප්‍රගමනයක් එක්ක මේ අනවසර අත්තනෝමතික ව්‍යාජ පිටපත්කරණය නවතා දැමීම සඳහා ගත හැකි ගත හැකි සියලුම ක්‍රියාදාමයන් මේ වෙනකොටත් සමාජය තුළින් ඔවුනොවුන් ක්‍රියාත්මක කරමින් පවතිනවා .

හොඳින් මතක තියාගන්න මේ වෙනතුරු මේ කතා කළේ අනවසර අත්තනෝමතික ව්‍යාජ පිටපත්කරණය ගැන මිසක , කර්තෘගේ කැමැත්තෙන් කර්තෘගේ අවසරයක් ඇතිව pdf පිටපත් සකස්කිරීම ගැන නෙවෙයි .

ඔබ කියවමින් ඉන්නේ පොතක අනීතික ව්‍යාජ පිටපතක් නම් කරුණාකරලා ඒ වෙනුවෙන් මේ දැන්ම විරුද්ධ වෙන්න !

~ පවනි වාසනා ~

Your email address will not be published. Required fields are marked *