නිදහස කාගේද, උන්ගෙද ? අපේද?

නිදහස කාගේද, උන්ගෙද ? අපේද?

76 views
0

මෙවරත් රුපියල් කෝටි විස්සක පමණ ඇස්තමේන්තුවකට යටත්ව නිදහස් දින සමරුව අති උත්කර්ෂවත්ව සමරන්නට පිඹුරු පත් සැකසෙන පරිසරයක සැබෑ නිදහසේ අරුත ගැන සලකා බලමු.

නිදහස යනු මානව අයිතිවාසිකමේ කොඳු ඇට පෙලයි, යම්කිසිවෙකු තම බිරිදට, දරුවනට හෝ සේවකයිනට “මා නම් මෙයාලට අවැසි විදිහට නිදහස දීල තියෙන්නේ” කියා කියන්නේ නම්, එයද එක්තරා විදිහක උද්දච්ච අධිකාරීවාදී කියමනකි. නිදහස දිය හැක්කක් නොවේ, අනිවාර්යයෙන්ම තිබිය යුතුය, රැකිය යුතුය.

නිදහස මානසික, ශාරීරික, දේශපාලනික හා සාමාජීය ලෙස ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්විය හැකියි. ඉතින් විදේශ රටකින් පාලනය උන පාලනතන්ත්‍රයෙන් මිදීමේ ප්‍රීතිය සමරණ්නට මේ සා විශාල ධන්ස්කන්ධයක් යොදවා ලකේට උත්සව සංවිධාන කරන්නේ, පැවති  දූෂිත පාලනයට එරෙහිව සාර්ථක ජනතා  නැගිටීමක් සිදුවී නෙරපා හැරි රජයකට ආදේෂ කල පැරණි රජයේම ඡායා පිටපතකි.

ඉතින් මහ ජනතාව  සතුව මානසික, ශාරීරික ,දේශපාලනික සහ සාමාජීය නිදහස නැත. එම නිදහසේ අනගිභවනීය තෘප්තිය උදෙසා සිදුකල අරගලේ ස්වර්ණමය සෙවනැලි තවමත් සමාජය පුරා වැටී ඇත්තේ යලි පීඩනය වැඩි උන ඕනෑම මොහොතක නිදහසේ ප්‍රථිමාව නෙලීමේ අභිප්‍රායෙනි.

අපි ඔබට කියමු, රුසියානු මහා ගත්කරු පියදෝර් දොස්තොයෙවෝස්කි ට අනුව “නිදහස යනු, තම පසුම්බිය කාසි වලින් පුරවා, ඒවා වියදම් නොකලද, එම කාසි එකෙනෙක ගැටෙන හඩින් ලැබෙන තෘප්තියකි. එලෙසෙම නිදහස අහිමි කරනු ලැබූවෙකුට, නිදහස සඳහා ගෙවිය යුතු මුදල රුපියල 100 ක වටිනාකම නම්, එය එම වටිනාකම මෙන් දස දහස් ගුණයකි”. ලංකාව වැනි රටක නම් ජීවිතයෙනි.

පවතින ආර්ථික අහේනිය හමුවේ වේලක් කෑවොත් ඊළඟ වේල සරි කර ගැනීමට දත කන්නට සිතන බහුතරයකට වෙන කිසිඳු අවශේෂ සිතුවිල්ලක් පහල වන්නෙ නැත, අනිත් අවම අවශ්‍යතාවන් වත් සන්තර්පණය කර ගැනීමට ආර්ථික ශක්තිය නැති බැවින් මානසික නිදහසක් ඇත්තේම නැත, ප්‍රසස්ථ හෙද සේවයක් නැති කමින් සෞඛ්‍ය නිදහස නැත, ලෙඩට දුකට රජයේ ආරෝග්‍යශාලා වල බේත් හේත් නැත, පරීක්ෂණ කර ගැනීම සඳහා පහසු කම් නැත, තමන් දරණා මතය අරභයා වැඩ කර පාර්ලිමේන්තු යවන තමාගේ නායකයා පටු දේශපාලන වාසි තකා පිල් මාරු කිරීමෙන් ව්‍යස්ථාපිත සර්ව ජන ඡන්ද බල අයිතියේ නිදහස ඛන්ඩනය වෙන බැවින් දේශපාලන නිදහස නැත, ඇති නැති පරතරය නිසා නිසි පරිදි භාන්ඩ හා සේවා ලබා ගැනීමට නොහැකි කමින් අන්‍යෝන්‍යව මිනිසුන් සමඟ සන්නිවේදනය ගොඩ නගා ගැනීමේ සාමාජීය නිදහස නැත, ඒ නොයෙක් සම්බාධක නිසා තම අනන්‍යතාවය රැකගෙන සමාජයට මුහු වීමට නොහැක.

මේ ශෝචනීය තත්වය නිසා ඇත්තටම නිදහස නිදහසේ සමරණ්නට තරම් සතුටක් ලාංකීය ජනතාවගේ සාතිශය බහුතරයගේ දෑසේ ලියවී නැත.

නමුත් මිත්‍රවරුනි පාලිත අපේ නිදහසේ ඉරණම මෙහෙම උනාට පාලක උන්ගේ නිදහසේ ඉරණම නම් හරිම ප්‍රභාසම්පන්නය.

හිතු පැතූ සම්පත් වඩම්මන්නට පුලුවන්, වෙන එකක් තියා නාගලෝකෙන් නයි පවා වඩම්මන්ට පුලුවන් මහානුභාව සම්පන්න ආර්ථික හය්යක් තියෙන මුන්ට මුන්ගේ ක්‍රමය වන ධනවාදය තුලින් කල නොහැක්කෙ ගෑනියෙක් මිනිහෙක් කිරීම පමණකි, එය නොහැකි උනා කිය කර කියා ගත හැකි අන් දේවල් ඇසුරෙන් මේ අය්යල අක්කල කොහොම මානසික නිදහසක් අත් විඳිනවා  ඇත්ද, හෙම්බිරිස්සාවටත් සින්ගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් දුවන මුන්ට ශාරිරක නිදහස ගැන වද වෙන්නට කිසිඳු අවශ්‍යතාවයක් නැත. ලංකාවේ තරම් ජඩ, අවස්ථාවාදී දේශපාලනයක් ලොව කොහේවත් නැත. රන් වැට පැන වඳින්න, ඉතා වැදගත් පුද්ගලයන්  (VVIP) ලෙස සම්භාවනාවට පත් වෙන්නට, හිතූ හිතූ ලෙස පැති මාරු කරන්නට සමත් දේශපාලන නිදහසක් මොවුන් ලබා ගන්නේ මුදලේ අනුහසිනි,ඉතින් මෙසේ යස ඉසුරින් පෝෂණය උන මිනිස් කුලකයකට තිබෙන සමාජීය නිදහස කතා කරන්නට දෙයක් ඉතුරු කර නැත. පාතාලයාගේ සිට ජනාධිපති දක්වා , ගණිකාවගේ සිට පුජ්‍ය උත්තමයන් දක්වා විහිදුන සමාජ  සම්බණ්ධතාමය නිදහසක් මොවුන් රිසි සේ බුක්ති විඳිති.

ඉදින් සගය,  2023 පෙබරවාරී 4 වෙනිදාද, නාමික උත්සවයක් පවත්වා ජාතික ධජය ඔසවනවා වෙනුවට පශ්චිම භාගය කසා ගැනීමට නිය පොත්තක් නැති උනත්, ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ න්‍යායෙන් පවත්වන්නට යෙදෙන  අති උත්කර්ෂවත් උත්සවයක් නවත්වන්නට මහජනතාව ලෙස අපි බල කල  යුත්තේ අවමයෙන් හෝ ඒ මුදලින් මිනිසුන් රැසකගේ ජීවිත රැක ගැනීමට ඖෂධ සපයා ගැනීමේ ඇති අවකාශය හෝ සැලකිල්ලට ගැනීමෙනි,

එනයින්,

ඇත්තටම අපේ බදු මුදල් ගසා කෑමෙන් , ලෝකෙට ණය වෙමින් ඒ ණයෙන් කොමිස් මුදල් සාක්කුවට දමා ගනිමින් ජෝගි නටන ජීවිතයේ වල්බූරු නිදහස අයිති උන්ටය, දැන් වත් කෙලින් කටින් හිට නොගත්තොත් අපට සදා කල් අයිති හිඟමනය. 2023 පෙබරවාරී 4 වෙනිදාද අප සමරනු නොව අරගල කලයුත්තේ අපව නිදහස බුක්තිවිදීමෙන් පහකර ඇති දිනක් ලෙසය.

~ හරීන්ද්‍ර නයනජිත් පැටිඅරඹගේ ~

Your email address will not be published. Required fields are marked *