බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද,  යුතුද ?

බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද,  යුතුද ?

74 views
0

දිනෙන් දින තියුණු වෙන ඡන්ද උණුසුම සමගම ආගම ධර්මය කෙරෙහී ඇතිවෙන උනන්දුවද වැඩිවෙමින් පවතින බව පසුගිය සති කිහිපය තුල සිදුවූ සිද්ධීන් තුලින් පෙනී යයි. මින් වඩා අවධානය ලැබුවේ දළඳාවට විවිධ අර්ථකථන ලබාදීමත්, පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීති මගින් දඬුවම් ලබාදීමත්ය. මේ අතර නිර් ආගමිකයයි කියා ගන්නා පිරිස් විසින් විශේෂයෙන්ම බුදු දහම විවේචනයට ලක් කිරීමත්, එයට එරෙහිව බුදු දහම වෙනුවෙන් තම තමන්ගේ කැපවීමේ ප්‍රමාණය ජනතාවට පෙන්වීමට සමහර දේශපාලකන්ගේ උත්සාහ ගැනීමත් කැපී පෙනෙන්නට තිබුණි.

තමන් පන්සල් 45000ක් සෑදූ බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන අතර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද වකවානුවේ තමන් බෞද්ධ සංගමයේ සභාපතිත්වය දැරුබව අනුර කුමාර දිසානායකත්, පුස්තකාලය ගිනිතැබූ නිසා තමන් ළඟ තිබූ බෞද්ධ පොත්පත්වල ප්‍රමාණය මෙතෙකැයි කියා කීමට අපහසු බව රනිල් වික්‍රමසිංහත් විවිධ අවස්ථා වලදී ප්‍රකාශ කරතිබේ.

මේ අතරතුර බුද්ධ පුත්‍රයින් වන්නට චීවර දැරූ හිමිවරුන් දේශපාලනයට සහභාගිවෙමින් නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ කරමින් බුදු දහම ප්‍රශ්ණ ගොඩකට අද දමා ඇතිබව පෙනෙන්නට තිබේ. දැන්, ගැටලුව වන්නේ සැබෑ බෞද්ධයින් කවුරුන්දකියා සොයාගැනීම හා චන්දයක් ලංවූ විට කාගේත් කතාබහට ලක්වෙන බුදු දහමට ලැබෙන මේ විශේෂත්වයට හේතුව සොයා බැලීමයි.

සියයට 74ක් වූ සිංහල බෞද්ධ ජනතාව නොමග හැරීමෙන් මිස බලයට පත්වීමට ඉඩක් නොලැබෙන බව කෛරාටික දේශපාලකයින් තම අත්දැකීමෙන්ම ලබා ඇති දැනුමයි.

පන්සලකට ගොස් මල්පහන් පුජා කරමින් තමන් බෞද්ධයින් යයි කියාගන්නා බෞද්ධයෝ බහුතරයක් දිනෙන් දින බුදුන් දෙසු දහමින් නෛෂ්ක්‍ර‍‍ම​‍ය ලඟා කරගනීමින් ඇතිබව පෙනෙන්නට ඇත. නැති අයෙකුට දෙනවා වෙනුවට තමන්ගේම එකෙකුට දීමේ මානසිකත්වය ගොඩනැගී ව්‍යාප්ත වී ඇත්තේ එහෙයිනි. අනුන්ගේ දෙයක් ම කඩා වඩා ගැනීමට මාන බලන ජාතියක් වී ඇත්තේද එහෙයිනි. තමා හැර වෙනකෙක්ට කිසිවක් නො ලැබිය යුතුයැයි පවතින මානසිකත්වයක් බිහිවී ඇත්තේද එහෙයිනි. එකා පරයා අනෙකා ගොඩ එන්නට උත්සාහ දරන්නේද එහෙයිනි.

කුළුදුලේ උපන් පුතුන්, තම බිරින්දෑ හා රජ සැප අතැර දමා මහමගට බට බුදුන් වහන්සේ දෙසු ධර්මය අපට කියාදෙන්නට චීවර දැරූ බුද්ධ පුත්‍රයින්, අද රථ වාහන, මාලිගා වැනි ගඳකුටි වලට ඇලුම් කරමින් දේශපාලනයේ නිරත වන්නේ මේ ලෞකික සැප සම්පත්, නිවන් සැපට වඩා සැපයකැයි අවභෝධ කරගත්තාක් මෙනි.

මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ තමන්ගේ යහපතකට නොව අයහපතකට යැයි තෝරාගන්නට නොහැකිවූ බහුතරක් (උපතින්)බෞද්ධයින් මේ අපේ කරුමයයැයි කියමින් සිත් සනහා ගනු ලබන අතර, තම තමන්ගේ දේශපාලන වාසි උදෙසා ජනතාව තව තවත් විලම්භීත කරවීමට මේ දේශපාලකයෝ තමන්ගේ බෞද්ධ දැනුම, පන්සල් වෙහෙර විහාර කරලීම, බෞද්ධ පොතපත පිලිබඳ පුරාජේරු මේ අතරමන් වූ මේ අතරමන් වූ ජනතාව ඉදිරියේ ඇදබාමින් සිටී.

බුද්ධ ධර්මය නිසිසේ අවභෝධ නොකරණ මිනිසුන් පෘතුවියේ ඇති පස් හා නිය අග තිබු පස් සමග සසඳා, ධර්මාවභෝධය ලබන්නන්ගේ ප්‍රමාණය කෙතරම් අල්ප දැයි දෙදහස් පන්සීය වසරකට පෙර බුදුන් වනසේ ප්‍රකාශ කල බව අපි සියල්ලෝම දනිමු.

බෞද්ධයා රැකීම, වෙහෙර විහාර රැකීම, බුද්ධ ධර්මය රැකීමට තමනට ජන බලය ලබාදෙන ලෙස මොරදෙන පක්ෂ නායකයෝ බෞද්ධ දැයි ඇසීමට එයට වඩා සාධක උවමනා නැත. සැබවින්ම ප්‍රශ්නය වන්නේ බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද, එසේ කල යුතුද ? ධර්මය පිළිපැදීම හැර, බුද්ධ ධර්මය රැකීමට විකල්ප නැත.

යකඩයෙහී උපන් මල මෙන් බුද්ධ පුත්‍රයින්ගේ දුෂ්චරිතය හේතුවෙන් ඔවුන් විසින්ම බුදු දහම වළලා දමන බව වරක් පසේනදී කෝසල රජතුමන්ගේ සිහින දහසය පැහැදිලි කරමින් බුදුන් වහන්සේ වදාළ සේක.

බුදු දහම රැකීමට කිසිවෙකුට හැකි නොවෙනු ඇති අතර ඒ සඳහා මජර දේශපාලකයින් පත්කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලුවා වැනිය.

එහෙයින් අප හමුවේ ඇති මේ සංදර්ශන, බෞද්ධ හා අබෞද්ධ ගැටළුවක් නොවෙන බවවත් වටහා ගැනීමට තරම් අප සිහි කල්පනාවෙන් සිටිය යුතුය. රටකට, ජනතාවකට තමන් කල සියලු පව් සෝදා හැරීමට දේශපාලකයින්ගේ ප්‍රබන්ධ කතා වලට ඉඩක් නොමැති බව දන්නා ඉතා අල්පයක් වූ සැබෑ බෞද්ධයෝ මොවුන් සියල්ලන්ගේම අංගනයන් දෙස බලමින් බුදුන් දෙසූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්නට උත්සාහ කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදිමින් ඉන්නවා වත් දැයි අප විමසිල්ලෙන් බලා සිටින්නෙමු

Your email address will not be published. Required fields are marked *