වෙනස් කරමු ද? නිවැරදි කරමු ද?

වෙනස් කරමු ද? නිවැරදි කරමු ද?

104 views
0


මේ ගෙවෙන්නේ සිස්ටම් චේන්ජ් හෙවත් ක්‍රම වෙනසක් ගැන බෙහෙවින් කතාකරන සමයකි. එහි අදහස පවතින ක්‍රමය වෙනුවට අලුත් ක්‍රමයක් ආදේශ කළ යුතුය යන්නය. පවතින ක්‍රමය වෙනුවට ආදේශ කෙරෙන ක්‍රමය කුමක්ද යන්න අපැහැදිලි වීම ප්‍රධාන ගැටලුවකි. ගෝඨා ගෝ හෝම් සටනෙහි පලයක් ලෙස ගෝඨාභය ඉවත් වීමෙන් පසු කළ යුතු කුමක් ද යන්න ගැන පොදු මතයක් කිසිවකුට නො තිබුණු තත්ත්වයට මෙයද සමානය.

පවතින ක්‍රමය හෙවත් සිස්ටම් එක ප්‍රකාශයට පත්වන ආකාර දෙකක් ඇතිබව තේරුම් ගත හැක.
ප්‍රාදේශීය සභා , පළාත් සභා , පාර්ලිමේන්තුව ඇතුළු පරිපාලන ව්‍යුහය සහ මැතිවරණ ක්‍රමය පළමු වන්න වන අතර, විවෘත ආර්ථිකය පදනම් කරගත් වත්මන් ආර්ථික ක්‍රමය දෙවැන්න සේ පෙනී යයි.

මේ දෙක අතරින් පළමුවැන්න පිළිබඳ විවේචනයක් යම් මට්ටමකින් පැවතියද ක්‍රම වෙනසක් යන්නෙන් බොහෝ දෙනකු අදහස් කරන්නේ, විවෘත ආර්ථිකය වෙනස් කළ යුතුය යන්න බව පෙනේ. එනම්, වර්තමානයේ මෙරට මුහුණ දෙන අර්බුදයට හේතුව විවෘත ආර්ථිකය ය යන්නය.

මෙරට මුහුණ දෙන ගැටලුවලට හේතුව විවෘත ආර්ථිකය නම් විවෘත ආර්ථික පිළිවෙත අනුයන ඉන්දියාව, ඇමෙරිකාව, වියට්නාමය ඇතුළු ලොව අනෙකුත් රටවල ද අප මුහුණ දී ඇති තත්ත්වය උදා විය යුතුය. එහෙත් එසේ නැත.
තර්කානුකූලව සිතන කල මෙරට පැනනැඟී ඇති ගැටලුවලට හේතුව විවෘත ආර්ථිකය නොව; විවෘත ආර්ථික සංකල්පය මෙරට නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීමය. නිදසුනක් ලෙස මෙරට මගී ප්‍රවාහනය පෞද්ගලිකකරණය දක්වන්නට පුළුවන. එතෙක් ගමනාගමන මණ්ඩලයේ ඒකාධිකාරය යටතේ පැවැති මගී ප්‍රවාහනය විවෘත කිරීම වෙනුවට ආණ්ඩුව කරනු ලැබුවේ තම හිතවතුන් පිරිසකට මාර්ග බලපත් ලබා දී මුල් කාලයේ, “මගී ප්‍රවාහනය” වෙනුවට ලොරි රථ ආදියෙන් මගීන් “ඇදීමේ” ජාවාරමකට ඉඩ සැලසීමය. එසේ කරනු වෙනුවට සංවිධිත සමාගමකට හෝ කිහිපයකට මගී ප්‍රවාහන කර්මාන්තයේ ආයෝජනය කරන්නට ආරාධනා කළේ නම් ලොරි චැසි වලට බස් බොඩි ගසා දුවන වත්මන් මගී ප්‍රවාහන පද්ධතිය වෙනුවට සුවපහසුවෙන් ගමන් යාමේ අවස්ථාව ජනතාවට හිමිවන්නට තිබුණි. එසේම, කල්බදු වාරික ගෙවිය නොහැකිය, බස් ගාස්තු නැංවිය යුතුය කියමින් කන්කෙඳිරිගාන බස් හිමියන් ගේ කරච්චලයෙන් මිදී හොඳ බදු ආදායමක් උපයා ගන්නට ආණ්ඩුවටත් හැකියාව ලැබෙන්නට තිබිණ. ගමනාගමන මණ්ඩලය දේශපාලන හිතවතුන්ට සලකන ස්ථානයක් කරනු වෙනුවට , සුදුසුකම් සහිත කළමනාකාරිත්වයක් යටතට පත්කොට තරගකාරී ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම නිවැරැදි විවෘත ආර්ථික පිළිවෙත වුවත් එය එසේ වූයේ නැත.

පෞද්ගලික සෞඛ්‍ය අංශයක් වෙනම ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම වෙනුවට රජයේ වෛද්‍යවරු පෞද්ගලික සේවයේ යෙදවීම, පෞද්ගලික පාසල් වෙනුවට පෞද්ගලික ටියුෂන් බලගැන්වීම, පෞද්ගලික පාසල්වලට නියාමන යාන්ත්‍රණයක් සකස් නොකිරීම ආදි වශයෙන් බොහෝ අංශ සඳහා මෙකී තර්කය ආදේශ කළ හැකිය.

ගැටලුව විදෙස් ආයෝජකයන් ගෙන්වීම නොව එය රටට වාසිදායකම ආකාරයට සිදු නොවීමය. ආයෝජකයන් ගෙන් කොමිස් ගැසීමය. වත්මන් ආර්ථික අර්බුදයට හේතුව ද විවෘත ආර්ථිකය නොව විවෘත ආර්ථිකයේ විකෘතියක් මෙරට ක්‍රියාත්මක වීම බව ඒ අනුව නිගමනය කළ හැකිය.
ජනතාව සම්බන්ධයෙන් ගත් කල ද විවෘත ආර්ථිකය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන්ට ඇති ආකාරයේ ගැටලුවක් ඔවුනට නැත. පවතින සීමිත නිදහස් වෙළෙඳපොළ රටාව යටතේ පවා 1970-77 සංවෘත්ත ආර්ථික රටාවට වඩා සුව පහසු ජීවන රටාවක් ජනතාවට හිමිවී ඇති බව ජනතාව අද්දැකීමෙන් දනිති.

සෞඛ්‍ය, ඉඳිකිරීම් ආදි අංශවල දියුණුවට පමණක් නොව කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකරණය වැනි සාධක කෙරෙහිද විවෘත ආර්ථිකය ඉවහල් වූ බව අමතක කළ යුතු නැත. විවෘත ආර්ථිකය අහෝසි කරනවා යැයි කියනු වෙනුවට එයට මානුෂික මුහුණුවරක් දෙන බව කියන්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සිදු වූයේ ද විවෘත ආර්ථිකය සම්බන්ධයෙන් විරෝධයක් ජනතාවට නොමැති බව දැන සිටි නිසාය.

ජනතාවට අවශ්‍ය ව ඇත්තේ ද වැරදි පීල්ලේ දුවන නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය කවුරුන් හෝ විසින් නිවැරැදි මාවතට ගෙන වත්මන් අර්බුදයෙන් රට ගොඩ යනු දැකීමය. චන්ද්‍රිකා බණ්ඩාරනායක සිට ගෝඨාභය දක්වා ඡන්ද හැසිරීමෙන් පෙනුණේද ජනතාවට අවශ්‍ය පවතින ක්‍රමය වෙනස් කරනවාට වඩා නිවැරැදි කර ගැනීම බවය. විවෘත ආර්ථිකය නියාමන වගකීම ආණ්ඩුව තබාගෙන බදු පිළිවෙත ආදිය මගින් හැසිරවීමට පමණක් ආණ්ඩුව වගබලා ගත යුතුය. පවතින රාජ්‍ය ව්‍යාපාර වුව දේශපාලන මැදිහත් වීමෙන් මුදා නිසි කළමනාකාරිත්වයක් යටතේ ක්‍රියාත්මක වන්නට ඉඩ සලසනනේ නම් ඒවා ද ලාබදායී ආයතන බවට පත් කරන්නට හැකි වනවා ඇත.

~ අනුර කේ එදිරිසූරිය ~

Your email address will not be published. Required fields are marked *