සොරකම දුෂණය “ජානගත”වූ පරිහානික ලාංකීය සමාජය

සොරකම දුෂණය “ජානගත”වූ පරිහානික ලාංකීය සමාජය

335 views
0

කාලාන්තරයක් තිස්සේ දේශපාලනය සමග ඈදුණු හොරකම ,වංචාව හා දූෂණය නිසා දේශපාලකයින් යනු දූෂිතයන් යන්න මෙරට ජනවිඥානයේ පතුලටම කිදා බැස ඇති ආප්තයකි.මෙකී මතවාදය ජනප්‍රිය  මතවාදයක් වන අතර එය සෑම දේශපාලනඥනයකුටම  ආදේශ කළ හැකි නියතයකි යන්න තරයේ අදහන පිරිසක් ද වේ.දූෂිත දේශපාලන භූමීකාවන් තුළ ජනතාව එසේ ඇදහීම සම්බන්ධව ජනතාව ට චෝදනා කළ නොහැකි ය.ඒ තරමටම බහුතරයක් දේශපාලන නායකයින් ජනතාව පිළිකුලට බදුන් වී ඇත .එහෙත් මේ අප දකින්නේ හොරකම ,වංචාව සහ දූෂණය යන ත්‍රිවිධ තක්කඩිකම් වල එක් පැතිකඩක් පමණි .මෙහි අනිත් පැතිකඩ එක්කෝ නොසලකා හැර ඇත .නැතහොත් උවමනාවෙන්ම යටපත් කර ඇත .එසේ යටපත් කරන්නේ තමන්ගේ ආත්ම ලාභය සදහා ය.මෙහි අනිත් පැතිකඩ කුමක්ද ?එනම් ඇතැම් නිලධාරීන් ගේ හොරකම ,දූෂණය සහ වංචාව යි.නිලධාරීවාදය මෙන්ම ඇතැම් නිලධාරීන් ගේ තක්කඩිකම් සහ හොරමැරකම් ඇතැම් දේශපාලකයින් ගේ එවැනි ක්‍රියා වලට දෙවනි නොවේ.

කොමිස් කුට්ටි  වලින් මහා පරිමාණ ධනවතුන් බවට පත් වූ නිලධාරීන් පිළිබඳව පරික්ෂණ පැවැත්වීම හුදු වචනය ට පමණක් සීමා වී ඇත .එවැනි තක්කඩි නිලධාරීන් ගේ දූෂණ සහ වංචා අනාවරණය වූ විට ඔවුන් ඇතැම් අවස්ථා වල තනතුරු වලින් ඉවත් කළත් ඔවුන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම අදෘශ්‍යමාන හස්ත වලින් වැලකේ.හාස්‍යජනක කරුණ නම් එබදු දූෂිත නිලධාරීන් “සිස්ටම් චේන්ජ් ” සදහා ද පෙළ ගැසී සිටිමයි.තමන් සාධු ජනයා යැයි ආත්ම වර්ණනා කරගනිමින් හුදී ජනතාව රවටමින් මේ සට කපට නිලධාරීන් ගෙන යන බෝසත් නිරූපණය අතිශය ජුගුප්සා ජනකය.විගණනයේ දෙවිවරු ලෙස හුදී ජනතාව විසින් බෞතීස්ම කරන ලද ඇතැම් නිලධාරීන් ගේ පැටිකිරිය ද  අතිශයින් දූෂිත බව ට සාක්ෂි නැතුවා නොවේ.මෙම පසුබිම තුළ දේශපාලන නායකයින් ගේ දූෂිත චරිත පිළිබඳව පමණක්

නිරතුරු මාධ්‍ය හරහා ජනතාව ගේ සිත් තුළ ට කාවැද්දීමට උත්සාහ කරන ගොබෙල්ස්වාදීන් ගේ  අරමුණ ජනප්‍රිය රැල්ලක් නිර්මාණය කර සටකපටකම් කරන නිලධාරීන් ට රැකවරණය ලබා දීම

නොවේද ?දේශපාලන නායකකාරකාදීන් ගේ දූෂණ පිළිබඳව පමණක් කතිකාවක් නිර්මාණය කර නිලධාරීන් ගිලටීනයෙන් මුදා ගැනීමේ ඊනියා මාධ්‍ය මෙහෙයුම් මෙසිරිලක ක්‍රියාත්මක වන බව ට ඕනෑතරම් සාක්ෂි තිබේ.

කවදත් හිස් පුද්ගලයන් පිම්බීමේ කලාවට උපන් හපන්කම දක්වන මෙරට ඇතැම් කසඩ මාධ්‍ය මෙම ඊනියා ව්‍යාපෘතියේ ඉදිරියෙන් සිටියි.එහෙත් මෙම කුපාඩිකම්

පිළිබඳව මෙරට පොදු ජනතාව ගේ දැනුම සහ අවබෝධය ශූන්‍ය මට්ටමේ පවතී.

සොරකම මෙරට බහුතරයක ගේ ජානගත වී ඇති බව ප්‍රකාශ කරන්නා එවැනි ඊනියා සාධු ජනයාගේ ගර්හාවට ලක් වීමට මතු නොව පළිගැනීම ට ලක් වීමට පවා හේතු කාරක විය හැකි වුවත් එසේ  ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම අපරාධය කි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ හැත්තෑවේ දශකයේ ආරම්භයේදී පත් කළ ලංගම සභාපතිවරයා වූ අනිල් මුණසිංහ මහතා බස් රථ මිලදී ගැනීමේ දී ඔහුට අදාළ සමාගම ලබා දීමට තැත් කළ කොමිස් මුදල් ප්‍රතික්ෂේප කර එම මුදල් වලින් ලංගමය සදහා  කාර් රථ ගෙන්වූ බව ප්‍රකට කරුණකි.ඔහු ගේ චරිතය කෙතරම් පරමාදර්ශී චරිතයක් වුවත් එවැනි අවංක නිලධාරීයකු පිළිබඳව අපේ පාසල් පෙළ පොතක යටත් පිරිසෙන් එක් වැකියක් හෝ සදහන් වේද?

වර්තමානයේ මෙරට තුළ දේශපාලන නායකයින් ගේ දූෂිත ක්‍රියා කාරකම් පිළිබඳව කතිකාවක් නිර්මාණය වී ඇති අතර එය සාධනීය තත්ත්වයකි.එහෙත් එහි ඌනපුරකයක් වී ඇති නිලධාරි දූෂණය පිළිබඳව කතිකාවක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවය කි. එය උඩු ගං බලා පිහිනීමක් වුවත් ,එවැනි සංවාදයක් සදහා වේදිකාවක් තැනීමට ප්‍රමාද වීම බරපතළ අපරාධය කි. එහෙයින්  එවැනි කතිකාවක් මෙතෙක් නිර්මාණය නොවීමට හේතු සාධක කවරෙක් ද යන්න සොයා බලා ඒ සදහා ප්‍රවේශයක් සකස් කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් නොවේද ?

~ එස් .එම්.ජයසූරිය ~

Comments

Your email address will not be published. Required fields are marked *