මල්ල බදා ගැනීමට කලින් ලිහා බැලීම නොහොත් – Living Together

මල්ල බදා ගැනීමට කලින් ලිහා බැලීම නොහොත් – Living Together

166 views
0

Living together සංකල්පය එහෙමත් නැත්නම් එක්ව වාසය කිරීම යන කාරණාව සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර විරෝධී අර්ථකථන ඉදිරිපත් වෙන කාලයක පළවෙනි ලිපියෙන් ම මේ සංකල්පය ගැන කතා කරන්න හිතුණේ එය කතා කළ යුතු ම මාතෘකාවක් බව හැඟී ගිය නිසා.

මොකද්ද මේ living together කියන්නෙ..?

නීත්‍යානුකූලව විවාහ වීමට කලින් යුවලක් එක වහලක් යට ජීවත් වීම එක්ව වාසය කිරීම ලෙස සරලව අර්ථ දක්වන්න පුළුවන්. දෙදෙනාගේ පොදු එකඟතාවය මත යම් කාලසීමාවක් මේ ලෙස එකට ජීවත් වීම සිදුකරන අතර සුදුසු කාලයක් තෝරාගෙන නීත්‍යනුකූල විවාහයකට අවතීර්ණ වීම, කිසිදා විවාහ නොවීම හෝ එකිනෙකා හැරයාම දෙදෙනාගේම කැමැත්ත මත සිදු කිරීම සිද්ධ වෙනවා. එක්තරා විදිහකට මේක විවාහයකට පෙර ගත කරන පරිවාස කාලයක් විදියටත් හඳුන්වන්න පුළුවන්.මේ පරිවාස කාලය තුළ එකිනෙකා පිළිබඳව යම් අවබෝධයක් දෙදෙනාට ම ලබාගැනීමට හැකි වෙනවා.

Living together අවශ්‍ය වන්නේ ඇයි ?

අද වෙද්දි විවාහය කියන සාධකය වාණිජකරණයට ලක් වෙලා ඉවරයි.විවාහ උත්සවය පවත්වන දවස හෝ දෙක වෙනුවෙන් අධික ලෙස ධනය, ශ්‍රමය, කාලය වෙන් කිරීම සුලභ කාරණයක්. නමුත් මධුසමයට පසුව සත්‍ය ජීවිතයට අවතීර්ණ විය යුතු යි.සරලව ම කිව්වොත් විවාහ ජීවිතය පටන් ගන්නේ මධු සමයෙන් පස්සේ එළඹෙන කාල සීමාව තුළ. විවාහ උත්සව කාලය තුළ දුටු ෆැන්ටසිය මේ විවාහ ජීවිතය තුළ නැති බව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.විවාහ ජීවිතය කෙසේ වෙතත් ජීවත්වීමේ දී මිනිසෙකු ප්‍රගුණ කළ යුතු කුසලතා කිහිපයක් තියෙනවා .මින් අපේක්ෂා කරන්නේ තෝරාගත් යම් යම් ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව වූ පරිණතභාවය.

පුද්ගකයෙකුට අනිවාරෙන් ම මානසික වශයෙන් හා ලිංගික වශයෙන් පරිණතභාවයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා.නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක්වත් නො ලැබෙන අපේ රටේ විවාහයට පෙර ලිංගික පරිණතභාවය ලබා ගැනීමට කිසිසේත් ම ඉඩක් ලැබෙන්නෙ නැහැ.විවාහ ජීවිතයක මූලික පදනම මෙන් ම විවාහයක් දෙදරා යාමට හේතුවන එක ප්‍රධාන සාධකයක් තමයි ලිංගිකත්වය .අතීතයට සාපේක්ෂව වර්තමානයේ දික්කසාද සංඛ්‍යාව වැඩි වෙලා තියෙනව.මේ සම්බන්ධව ගෘහස්ථ හිංසනය,මානසික ආතතිය,පුරුෂයාගෙ බීමත්කම ආදී විවිධ හේතු සාධක ඉදිරිපත් වුණත් ඒ සියල්ලක් ම කෙළවර “ලිංගික නො ගැළපීම” යන කාරණය ගැබ්වී ඇති බව මගේ විශ්වාසය යි.බටහිර රටවලට සාපේක්ෂව ආසියාතික රටවල පවතින යම් ආචීර්ණ කල්පික සම්මතයන් නිසා විවාහයට පෙර ලිංගිකව හැසිරීම මහා වරදකාරි දෙයක් විදියට සලකනවා.මේ නිසා ඇති වන බරපතළ තත්ත්වය තමයි යුවලක් ලිංගිකව නොගැළපෙන බව හඳුනාගැනීමට නොහැකි වීම.විවාහ ජීවිතයට අවතීර්ණ වුණාට පස්සෙ ඒ නොගැළපීම් හඳුනාගන්න ලැබෙන නිසා ම විවාහ ජීවිතය තුළ ආරවුල් හට ගැනීම සිදු වෙනවා.මෙහිදී අනියම් සබදතා වැනි කාරණා මුල් කොට ගෙන පුද්ගල ඝාතන සිදුවීම සම්බන්ධ පුවත් ශ්‍රී ලංකා සමාජයේ බහුලව අසන්නට දකින්නට ලැබෙනවා.ඉතින් , මේ තත්ත්වයන් අවම කරගන්න යෝජනා කළ හැකි හොඳම ක්‍රමවේදයක් විදිහට living together සංකල්පය හඳුන්වන්න පුළුවන්.

එක්ව වාසය කිරීම තුළ නීතිමය සීමා බන්ධන නැති වීම සුවිශේෂී කාරණාවක්. නීත්‍යානුකූල විවාහ ජීවිතය තුළ ඇති කෙරෙන වගකීම් යුතුකම් කිසිවක් ඉටු කිරීමේ අවශ්‍යතාවය මෙතැනදී ඇති වෙන්නේ නැහැ. දෙදෙනෙක් එක්ව වාසය කිරීමට යොමු වන්නේ ඔවුන් දෙදෙනාට එකිනෙකාව අවශ්‍ය වීම යන කාරණය මත ම පමණයි .”මිනිස්සු කාලා බලලා අඳුනගන්න බෑ”කියන කියමන අපේ සමාජයේ ගොඩක් ප්‍රචලිතයි. ඉතින් ඒ වෙනුවට අපිට පුළුවන් මිනිස්සු ඇසුරු කරලා අඳුනගන්න.

“Living together සහ සංස්කෘතිය”

රටක සුභසාධනය හෝ සංවර්ධනය යන කාරණා සංස්කෘතියත් සමඟ යහන්ගත වීම එම රටෙ සංවර්ධනයට ඇති ප්‍රබල ම බාධාවක් විදියටයි මම දකින්නෙ.ඕනෑම රටක යම් සංස්කෘතියක් තුළ අඩංගු වන සංස්කෘතික අංග 90% ක් ම ලැබෙන්නෙ සංස්කෘතික විසරණය මගින්.එහෙව් සංස්කෘතියක් මගේ හෝ අපේ යැයි කියමින් අල්ලා ගන්න කාටවත් අයිතියක් නැහැ.

සංස්කෘතිය කියන්නෙ මිනිසා විසින් ගොඩනගන ලද යම් යම් සම්මතයන්වල එකතුවක්.සංස්කෘතිය කාලයත් සමග යාවත්කාලීන විය යුත්තක් මිස එක තැන පල් විය යුත්තක් නො වේ.මං සරල උදාහරණයක් දෙන්නම්.ගමනාගමනය සඳහා ගොන් බැඳි කරත්ත භාවිත කිරීම කිසියම් රටක සංස්කෘතිය යැයි සලකමු. අනෙක් රටවල ගමනාගමනය සඳහා වාහන භාවිත කිරීම ආරම්භ කර තිබෙන කාලයක වාහන මිලට ගැනීම අවස්ථාව තිබුණත් සංස්කෘතිය රැක ගැනීමේ අරමුණින් එක් රටක් පමණක් ගොන් කරත්ත අත් නොහැරීම කෙතරම් අනුවණකමක් ද ? සංස්කෘතිය ආරක්ශා කිරීමට පෙර ජීවිතය දෙස පුළුල්ව බැලීමට හුරු වීම අත්‍යවශ්‍ය ම කාරණයකි.

“අතීත ලංකාවේ එක්ව වාසය කිරීම තිබුණ ද?”

ඔව්.නීත්‍යානුකූලව විවාහ වීම කියන සාධකය ශ්‍රී ලංකාවට එන්නේ පස්සේ කාලේක. එතෙක් ස්ව කැමැත්ත පරිදි සුදුසු අයෙක් සමඟ ජීවිතය බෙදා ගැනීමේ නිදහස අතීත ලාංකිකයන්ට තිබුණා. එම නිදහස තුළ ආදරය විශ්වාසය ගෞරවය ඔවුන් අත්වින්දා. එකම වෙනස තමයි අතීතයේ එම ක්‍රමය සමාජය පිළි ගැනීම සහ වර්තමානයේ දී සමාජය විසින් එය පිළි නොගැනීම.

“එක්ව වාසය කිරීම සහ අනාගතය”

විවාහය පිළිබඳව කථා කරද්දී අමතක කළ නොහැකි ම සාධකයක් තමයි දරුවන්.රටක අනාගතය තැනීමේ අත්තිවාරම තමයි විවාහය.මානසික ව්‍යාකූලත්වයෙන් තොර පරපුරක් බිහි කිරීම වැඩිහිටි ගැහැනු හා පිරිමි දෙපාර්ශවයේ ම උර මත පැටවුණු වගකීමක්.නමුත් ආරවුල් වියවුල්වලින් පිරුණ පව්ලක උපන් දා පටන් හැදී වැඩෙන දරුවන් අපේ රටේ සුලබයි.ඔවුන්ගේ මනස මුළුමනින්ම පිරී තියෙන්නෙ අමිහිරි අත්දැකීම්වලින්.විශේෂයෙන් ම දෙමව්පියන්ට ලිංගිකත්වය පිළිබඳව පරිණතභාවය නොමැති නම්, සම්බන්ධතා පිළිබඳව පරිණතභාවය නොමැති නම්,පව්ල තුළ මානසික සුවතාව ඇති කිරීමට පරිණතභාවය නොමැති නම් ඔවුන්ගේ දරුවන්ගේ එකී පරිණතභාවය අභියෝගයට ලක් වීම සාධාරණයි .

යල්පැනගිය ගතානුගතික ආකල්ප හා සම්මතයන් ඉවත හෙලා ජීවිතය දෙස පුළුල් දෘෂ්ටියකින් බැලීමට කාලය තවමත් උදා වී නැති බවත් දැන්වත් එය උදාකර ගත යුතු බවත් පවසමින් ඕෂෝ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් මම නිහඬ වෙන්නම්.

“ආදරය විශ්වාසය නීතිමය කොළයකට සීමා වූ තැන් පටන් ආදරය මිය යයි”

අදට ගිහින් එන්නම්.

දමිත්‍රි දර්ශා ( දමී )

Your email address will not be published. Required fields are marked *