ලාංකීය වාමාංශය ලගාකරගත හැකි ජනතා ජයග්‍රහණයේ කොටස්කරුවන් වනවාද?

ලාංකීය වාමාංශය ලගාකරගත හැකි ජනතා ජයග්‍රහණයේ කොටස්කරුවන් වනවාද?

130 views
0

වසර දෙකකට පෙරාතුව, මහජන අරගලයෙන්, එවකට ශ්‍රී ලංකාවේ 7වෙනි විධායක ජනාධිපතිවූ ගෝටාභය රාජපක්ෂ තනතුරෙන් සහ රටින් පලවාහැරීමට හැකිවීම ලාංකික ජනතාව ලත් එක් විශාල ජයග්‍රහණයකි. එතැන් සිට වසර දෙකක කාලසීමාවක් තුලදී, මහජන කැමැත්තෙන් පත් නොවුන, කුමන්ත්‍රනකාරී ලෙස පාර්ලිමේන්තුවේ චන්දයෙන් පමණක් පත්වූ අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙකු යටතේ පැවති  ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් අරාජිකවූ ලාංකීය රජය, සමාජයේ විවිද පාර්ශ්ව සටන් කර දිනාගත් අලුත් ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන්, ජනතා මනාපයේ අඩු ප්‍රතිෂතයකින් වුවද ඊනියා නිදහසින් පසු මාරුවෙන් මාරුවට පාලන බලය අත්පත් කරගෙන සිටි ඔටුනුපලන් පල්හොරුන්ගෙන් මුදවා, පිරිසුදු සමාජවාදීන් නොවුනත්, වාම නැබුරුවක් ඇති  ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරියක පත්කරගැනීමට හැකිවීමම “අරගලය” ලැබූ ජයග්‍රහණයේ එක් පළමු පියවරකි.

මේ අනපේක්ෂිත ජනග්‍රහණයෙන් රටේ ජනතාවගේ සියලුම ප්‍රධාන පසමිතුරන් වියරු වැටී ඇත, ඊට පිළිතුරක් ලෙස ලාංකීය වාමාංශය, තමනට රිසිලෙස මතවාදීමය වෙනස්කම් ඉදිරිපත් කරමින්, පෑහිය නොහැකි දීගයකදී මෙන් විරසකවී ඇත. නමින් සමාජවාදීන් වෙන, ප්‍රාමාණික ජනපදනමක් වත් නැති මෙම වාමාංසික පක්ෂ, තම පොදු සතුරා අතහැර, අමනාපවූ මිතුරා තම ප්‍රධාන සතුරා කරගෙන ඇත.

සමාජ සාධාරණය හා ප්‍රජාතන්තවාදය ගැන ළයට ගසාගනිමින් කෑ මොරදෙන සියලුම ධනේශ්වර දේශපාලන පක්ෂ, ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිට ලැබුණු චන්ද ප්‍රතිශතයේ අඩුව උළුප්පමින් නොවැම්බර් 14 වෙනිදාට පවත්වන බවට ප්‍රකාශයට පත්කොට ඇති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට, බහුතර මන්ත්‍රී ආසන සංක්‍යාවක් දිනා, අලුතින් පත්වූ ජනාධිපති හා අගමැති වරියට බාධා කොට, 76 වසරක් තිස්සේ , පවත්වා ගෙන ආ ජනතා විරෝධී, නීතියේ ආධිපත්‍යට පටහැනි දුෂිත ක්‍රමයම තවදුරටත් ආරක්ෂා කරගෙන පවතාවගෙන යාමට කැසකවමින් සිටී.

අලුත් ආණ්ඩුවට අභියෝග බොහෝය. මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු එකින් එක ඉටු කල යුතුය. සමස්ත රාජ්‍යය පධ්ධතියේම ජනතා සුභසාධනය වෙනුවෙන්ම කැපවුන වෙනෙසක් ඇතිකළ යුතුය, අපට මිතුරු පාර්ශවයන් හා සතුරු පාර්ශවයන් හොඳින් හඳුනාගෙන සමස්ත ලෝක ප්‍රජාව සමග මිත්‍රශීලී ජාත්‍යන්තර සම්බන්ධකම් අලුත්කරගත යුතුය්. සියල්ලට කලින් පරිහානියට ලක්ව අබල දුබලවූ දේශීය ආර්ථිකය, “සමර්ථනීය” ආර්ථිකයක් කරගත යුතුය. මේ සියල්ල සපුරා ගැනීමට දින සති මාස හෝ වසර ගණනක් ගතවෙනු ඇත. මුළු මහත් ජනතාවගේම කැමැත්ත, සහයෝගය සහ දායකත්වය නොමැතිව එය බොහෝ අසීරු කටයුත්තකි. එනමුදු අමාරුම කාර්යය වූ පළමු පියවර තබා ඇත.

සියලුම ලාංකීය වාමාංශික පක්ෂ, පෙරමුණු, සංවිධාන තීරණාත්මකව සලකා බැලිය යුතු “අනුලංඝනීය” වගකීමක් ඇත. ඒ අමාරුවෙන් ලබාගත් මුල් ජයග්‍රහණය ජනතා සතුරන් අතට පත්කොට ජනතාව පරාජය කරනු වෙනුවට, 2022 ජනතා අරගලය විසින් ඉල්ලාසිටි සියලු ජයග්‍රහණයන් ලබාගැනීමට සංවිධානයවී පෙරමුණ ගැනීමය.

ලාංකීය වාමාංශයට අද දින ඇති අභියෝගය නම්, මතවාදීව හෝ වෙන කිසියම්ම හේතුවක් නිසා බෙදී, ඉතිහාසයේ කුනුබක්කියට යන්නේද, නැතිනම් ලගාකරගත හැකි ජනතා ජයග්‍රහණයේ කොටස්කරුවන් වනවාද යන්න කඩිනමින් තීරණය කිරීමය. නැගිටපල්ලා, නැගිට වරෙල්ලා, දැන් නුබලගේ වාරය ඇවිල්ලා!

Your email address will not be published. Required fields are marked *