වීදුරු කුඩුවක හිද හෙළුවෙන් වනන ආණ්ඩුව

වීදුරු කුඩුවක හිද හෙළුවෙන් වනන ආණ්ඩුව

87 views
0

ආණ්ඩුව අතීත කතා මතක් කරන්නට පටන් ගෙන තිබේ. ආසන්නතම නිදසුන, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබූ අඳුරු යුගයේත් දරුවන් සාර්ථකව විභාගයට මුහුණ දුන් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දා මහනුවර දී කීම ය.  1971 කැරැල්ල හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය වසරකින් කල් ගිය බව ද හේ වැඩි දුරටත් කියා තිබිණ.

ඇමැති මනූෂ නානායක්කාර ටත් අතීතය සිහිපත් වීමේ රෝගය බෝවී ඇත. ඒ බව පැහැදිලි වන්නේ, ගොවිජන සේවා මධ්‍යස්ථාන ගිනි තැබීම් ගැන ඔහුත් කතා කරන්නට පටන්ගෙන ඇති හෙයිනි. රටට ලොකු ම විනාශය කර ඇත්තේ 74 වසරක විනාශය ගැන කතා කරන අය බව මනූෂ කියයි. සුසිල් ප්‍රේමජයන්ත ගේත් මනූෂ නානායක්කාර ගේත් ප්‍රහාරයේ ඉලක්කය මූලික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහ ඊට අමතර ව පෙරටුගාමී සමාජවාදී පක්ෂය  බව පෙනේ.   

ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබීම ගැන කතා කරන සුසිල් ප්‍රේමජයන්ත සහ ගොවි ජන සේවා මධ්‍යස්ථාන ගිනි තැබීම ගැන කතා කරන මනූෂ නානායක්කාර  එසේ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක ඇමැතිකම් දරමිනි.

රනිල් වික්‍රමසිංහ මුල් වරට පාර්ලිමේන්තුවට පැමිණියේ 1977 මහ මැතිවරණය ජයග්‍රහණය කරමිනි. 1977 මැතිවරණ ජය සැමරීමට එවක එජාප නායකයා ව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ගේ මාමා ජේ ආර් ජයවර්ධන, පොලිසියට නිවාඩු දුන් බව මනූෂ නානායක්කාර මහතාට අමතක විය හැකි නමුත් ලංකා ඉතිහාසයේ ඒ බව කළු පැල්ලමක් ලෙස සටහන් වී තිබේ. පොලිසියට නිවාඩු දුන් කාලයේ එක්සත් ජාතික පාක්ෂිකයන් තම ජයග්‍රහණයේ සතුට සැමරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ආදි පරාජිත පක්ෂ වල සාමාජිකයන් ගේ නිවාස සහ දේපළ ගිනි තබා විනාශ කරමිනි. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ තබා ගෙන ඇමැතිකම් දරන ප්‍රසන්න රණතුංග මහතා ගේ නිවෙසත් ඒ ගින්නට හසු ව අළු දූවිලි විය.

එක්සත් ජාතික පක්ෂයේ ගිනි තැබීම් සම්බන්ධ ඉතිහාසය එතැනින් අවසන් වන්නේ නැත. ශ්‍රී ලංකාව මිනී කන්නන් ගේ දේශයක් වශයෙන් ලෝකය ඉදිරියේ හංවඩු ගැසුණු කළු ජූලියේ දී මෙරට අහිංසක දෙමළ ජනතාව ගේ දේපළ ගිනි තබා විනාශ කළේ, දේපළ කොල්ල කනු ලැබුවේ, මහා මාර්ගයේ නිරුවත් කර පහර දී දෙමළ මිනිසුන් අමානුෂික ලෙස ඝාතනය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ය. යාපනය පුස්තකාලයේ ගින්න ගැන වැටහීමක් නැතිනම් මනූෂ ට ඒ ගැන ඩග්ලස් දේවානන්ද ඇමැති මිතුරාගෙන්  අසා දැන ගන්නට පුළුවන. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හෙංචයියන් විසින් අවුළුවන ලද කළු ජූලි ගින්න උපයෝගී කර ගනිමින් එතෙක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර තරුණ කැරැල්ලකට මඟ පාදනු ලැබුවේ ද තරුණ තරුණියන් දහස් ගණනින් මහ මඟ ඝාතනය කර ටයර් මත පුළුස්සනු ලැබුවේ ද එක්සත් ජාතික පක්ෂය විසිනි. මනූෂ ගේ වත්මන් නායක රනිල් පමණක් නොව ඔහු පෙර සාමාජිකත්වය දැරූ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ පියා ආර් ප්‍රේමදාස මහතා ද මේ සියලු ගිනි වල වගඋත්තරකාරයෙක් බව මනූෂ ට සිහිපත් කළ යුතුය. ජනාධිපතිවරයකු මරණයට පත්වු පුවතක් අසා රටේ ජනතාව රතිඤ්ඤා පත්තු කර කිරිබත් පිස සතුට පළ කළේ ද ප්‍රේමදාස මහතා වෙනුවෙනි. එබැවින්, ගොවි ජන සේවා මධ්‍යස්ථාන ගිනි ඉක්මවා යන ගිනි පිළිබඳ ඉතිහාසයක් රනිල්ට සහ එජාපය ට ඇති බව මනූෂ කෙසේ වුව ජනතාව මතක තබා ගත යුතුය.

ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබීම් ගැන කතා කරන සුසිල් ප්‍රේමජයන්ත ගේ පාර්ශ්වය  ද මාධ්‍ය ආයතන ගිනි තැබීම් ආදියට සම්බන්ධ බව ජනතාවට අමතක වන්නට හේතුවක් නැත. මෙරට ආර්ථිකයට දරණු ම විනාශය සිදු කරනු ලැබුවේ ද සුසිල් ප්‍රේමජයන්ත ගේ නායකයන් වන රාජපක්ෂවරුන් ය. රාජපක්ෂ පාලනයට පෙර මෙරට අපරාධකාරයන් සිටි නමුත් ආර්ථික අපරාධකාරයන් යන වචනය මෙරට ඉතිහාසයට එක් කරන ලද්දේ රාජපක්ෂ රෙජීමය විසිනි. කළු ජූලි ගින්න, යාපනය පුස්තකාල ගින්න ඇතුළු සියල්ලට වග කිය යුතු රනිල් වික්‍රමසිංහ යටතේ ඇමැතිකම් දරමින් අන් අයගේ ගිනි ගැන කතා කිරීමට සුසිල් ට අයිතියක් ඇත්තේ නැත.

සුසිල්, මනූෂ වැනි අය ගිනි තැබීම් ගැන කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉලක්ක කර නම් ඒ දෙපිරිසම මේ වන විට අතීත වැරදි නිවැරදි කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමනක් සඳහා නව නායකත්වයක් යටතේ පෙළගැසී සිටිති. නමුත්, රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ තවමත් ගමන් කරමින් සිටින්නේ අතීතයේ සුපුරුදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන් මඟේ බව උදක්ම පැහැදිලිය. පළාත් පාලන මැතිවරණය හැකිළීමට ආණ්ඩුව දරන උත්සාහයෙන් පිළිබිඹු වන්නේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සිතියම හැකිළුෑ ලාම්පු කළගෙඩි ඡන්ද ඉතිහාසයම නොවේ ද? මැතිවරණ කොමිසමට එල්ල වන මරණ තර්ජන ගැන අසන විට මාධ්‍යවේදීන්, නීතිඥයන් ඝාතනය කෙරුණු අතීතය සිහිවේ. අධිකරණයේ විනිසුරන්ට කෙරෙන බලපෑම් විසින් ජේ ආර් ජයවර්ධන සමයේ විනිසුරන්ගේ නිවෙස් වලට ගල් ගැසූ ඉතිහාසයෙන් හෝ මහින්ද රාජපක්ෂ ගේ අගවිනිසුරුවරිය එළවා දැමු ඉතිහාසයෙන් හෝ ආණ්ඩුව  බැහැර වී නැති බව මැනවින් ඔප්පු වේ.

තමන්ගේ ඇසේ ඇති කුණු ගොඩ අමතක කර අනුන්ගේ ඇසේ කුණු රොඩ්ඩ ගැන කතා කරන මේ අමන දේශපාලකයන් ගේ බඩගෝස්තරවාදී උපාය උපක්‍රම ජනතාව තේරුම් ගත යුතුය. ඒවායින් නොමග නොයාමට බුද්ධිමත් විය යුතුය.

~ අනුර කේ එදිරිසූරිය ~

Your email address will not be published. Required fields are marked *