කාටත් දිය නොහැකි, එහෙත් ස්ථාපිත කලයුතු මානව හිමිකම්

කාටත් දිය නොහැකි, එහෙත් ස්ථාපිත කලයුතු මානව හිමිකම්

124 views
0

මානව හිමිකම් යනු මේ දිනවල නිතර අසන්නට ලැබෙන වචන දෙකකි. කනගාටුවට කරුණ ඒ වචන දෙකට සමගාමීව අසන්නට ලැබෙන්නේ, ආරක්ෂා වීම හෝ ආරක්ෂා කිරීම යන්න නොව කඩ කිරීම හෝ කඩ වීම බව පෙනීමය.

මානව හිමිකම් පිළිබඳ හෝ මානව හිමිකම් වල වටිනාකම සම්බන්ධයෙන් මෙරට ජනතාවට අවබෝධයක් තිබේ ද යනු ද ගැටලුවකි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් නිකුත් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  වාර්තාව හෙවත් (එකල ආණ්ඩු හිතවාදීන් නම් කළ ආකාරයට දරුස්මාන් වාර්තාව) ට එරෙහිව මෙරට ඇතැම් පිරිස් විරෝධතා පෙළපාලි පැවැත්වුයේ එකී හේතුව නිසාය. ආණ්ඩුව මූලික අයිතිවාසිකම් කඩ කරන අවස්ථාවක ඒවා ආරක්ෂා කර දෙන්නට ඉදිරිපත් කෙරුණු වාර්තාවට විරුද්ධව ජනතාව වීදි බැසීම නිසා බාහිර ලෝකය විස්මයට පත් වු බවට සැක නැත.

මානව හිමිකම් යනු මිනිසකු ව උපත ලැබීම හේතුවෙන් ලැබිය යුතු, කාටත් දිය නොහැකි, එහෙත් දුර්දාන්ත පාලකයින් විසින් උදුරා ගන්නා, අහිමිකරනු ලබන අයිතිවාසිකම් සමූහයකි. 1948 එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශය මගින් ප්‍රකාශයට පත් කර ඇති මානව හිමිකම්, මෙරට 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශක්තිමත් කෙරී තිබේ.

මානව හිමිකම් සම්බන්ධ මෙරට කතාබහ සහ දැණුම බොහෝ විට; උද්ඝෝෂණ කිරීම, අදහස් ප්‍රකාශ කිරීම, කාන්තා සහ ළමා අයිතිවාසිකම් වලට පමණක් සීමා වී ඇති බව පෙනේ. එහෙත් මානව හිමිකම් යනු;

* දූෂණයට විරුද්ධව නැඟී සිටින්නට ඉඩ සලසන,

* අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දිරි ගන්වන,

* ආගම ඇදහීමේ මෙන්ම කිසිදු ආගමක් සරණ නො යෑමේ නිදහස ලබා දෙන,

* කැමැති කෙනෙකුට ආදරය කිරීමේ අයිතිය, සමාන රැකියා අවස්ථා දිරිමත් කරන, අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දෙන, පරිසරය පවා ආරක්ෂා කෙරෙන,

පොදු සම්මතයක් මගින් රජයන් වගකීම් වලට බැඳ තබන යන්ත්‍රණයකි.

මෙරට රජයන් විසින් ඒ වගකීම බිඳ දමන විට ඊට එරෙහි වීමේ අයිතිය ජනතාව විසින් ක්‍රියාවේ යොදවන බව පෙනෙන්නේ නැත. බහුතරය පුරුදු වී ඇත්තේ “ඕවා  ඔහොම තමයි” යන අදහස පෙරදැරිව ඉවසා දරා ගැනීමට පමණි.

ඔබට,  පවුලේ අයට, අසල්වැසියන්ට එකී අයිතිවාසිකම් භුක්ති විඳින්නට අවස්ථාව ලැබී ඇති දැයි ඔබ සිතා බැලිය යුතුය.

දරුවකු දුම්රිය වැසිකිළියක දමා යාමේ සිද්ධිය ආශ්‍රයෙන් මේ ගැන සරලව පැහැදිලි කිරීමට හැකිය.

තරුණ යුවළට විවාහ වන්නට නොහැකි වී ඇත්තේ තරුණයාට ස්ථිර රැකියාවක් නොමැති බැවින් තරුණියගේ පවුලෙන් අවසර නො ලැබුණු නිසාය. ඉන් තරුණියගේ කැමැති කෙනෙකුට ආදරය කිරීමේ අයිතිය කඩවී තිබේ. ඒ අයිතිය කඩවීමට හේතුව, සමාන රැකියා පිළිබඳ අවස්ථාව  තරුණයාට නො ලැබීමය. එකී හේතු දෙකම පදනම් කර ගෙන බිලිඳාගේ ජීවත් වීමේ අයිතියට බලපෑම් එල්ල වී තිබේ. මේ ආකාරයට පුද්ගලයන් ගේ අයිතිවාසිකම් කඩ වන අවස්ථා කොතෙකුත් තිබේ. නමුත් ජනතාව ඒ ගැන පුළුල් ව කල්පනා නො කරන බැවින් හුදෙකලා සිදුවීම් හෝ ප්‍රවෘත්ති පමණක් ලෙස ඒවා යටපත් වේ.

එක්සත් ජාතීන්ගේ තවත් වාර්තාවක් පෙන්වා දෙන ආකාරයට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට නිවාස වලින් 86%ක් පෝෂ්‍යදායී ආහාර ගැනීම අඩු කර ඇති සේම, අවුරුදු පහට අඩු දරුවන් 17%ක් මන්දපෝෂණයට මුහුණදී ඇත. ඒ අතර, මානව හිමිකම් උල්ලංඝනය,  ආර්ථික අපරාධ සහ දූෂණය රටේ කඩා වැටීමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් ගේ වාර්තාවෙන් පෙන්වා දී තිබේ. 1948න් පසුව දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණදී සිටින අවස්ථාවේ පළමු වරට මෙරට මානව හිමිකම් කඩවීම සහ ආර්ථිකය අර්බුදය සම්බන්ධයෙන් එකවර කතාකරන තත්ත්වයක් ඇතිවී තිබීම පිටුපසද මෙතෙක් අවධානයට යොමු නොවූ, අවධානය අනිවාර්යයෙන් යොමු කළ යුතු රහසක් පවතින බව ජනතාව වටහා ගත යුතුය.

 ජීවත් වීමට, ඖෂධ, ආහාර, ජලය, ඇඳුම් පැලඳුම්, නවාතැන් සඳහා ප්‍රවේශ වීමට හැකියාව මානව හිමිකම් මඟින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට ආණ්ඩුව; උද්ඝෝෂකයන් අනීතිකව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, වැඩවර්ජනය කිරීමේ අයිතියට බලපෑම් කරමින් ගැසට් පළ කිරීම ආදිය මගින් ඍජුව සහ ඖෂධ හිඟය, ආහාර උද්ධමනය, විදුලිය ගාස්තු ඉහළ නැංවීම ආදිය මගින් වක්‍රව මානව හිමිකම් කඩ කරමින් සිටී.

 “පෙර පැවැති ආණ්ඩු සියල්ල ඇතුළත්ව ශ්‍රී ලංකා රජය බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය සහ අපහරණයට වගවිය යුතු පුද්ගලයන් හඳුනා ගැනීමට සාර්ථක සංක්‍රාන්තික යුක්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් සත්‍යයට, යුක්තියට සහ හානිපූරණයට වින්දිතයන්ට ඇති අයිතිවාසිකම් තහවුරු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇත.”යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් වාර්තාව පවසයි. අත්අඩංගුවට ගැනීම්, ඝාතන, අතුරුදන් කිරීම් ආදියට පමණක් නොව ඉහත මතු කළ ජීවන වියදම, මන්දපෝෂණය, විරැකියාව ආදියට ද අදාළ කරගෙන ජනතාව එම වාර්තාව අවබෝධ කර ගත යුතුය.  

එසේම එහිම; ” වර්තමාන අභියෝග ආමන්ත්‍රණය කිරීමට සහ අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීමට මූලික වෙනස්කම් සිදු විය  යුතුය” යනුවෙන් ද සදහන්ය.

එජා මානව හිමිකම් කොමිසම එකී යෝජනාව කරන්නේ ආණ්ඩුවට බව සැබෑ නමුත් ක්‍රම වෙනසක් සඳහා සැබෑ පෙනී සිටින සහ ක්‍රියාත්මක වන රජයකින් මිස අන් කිසි රජයකින් එකී අපේක්ෂාව සපුරා ගත නොහැකි බව වටහා ගෙන ජනතාව කටයුතු කළ යුතුය.

~ අනුර කේ එදිරිසූරිය ~

Your email address will not be published. Required fields are marked *