බදු නැති රටක පායාවිද සූර්යා

බදු නැති රටක පායාවිද සූර්යා

77 views
0

ඉතාලියේ සේවය කරන මිතුරකු මෑතක මට කීයේ,තමා සේවය කළ අවන්හලේ හිමිකරු අවන්හල තමාට පවරා විශ්‍රාම ගත් බවයි.

අවන්හල් හිමියකු විශ්‍රාම ගැනීම ගැන මගේ විස්මය සන්සිඳුවනු වස් මිතුරා කීයේ, ව්‍යාපාරික ජීවිතය තුළ  හිමිකරු ගෙවන ලද බදු මුදල් උපයෝගී කර ගනිමින් ඔහුට රජයෙන් විශ්‍රාම වැටුපක් හිමි වන බවයි.

උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින තවත් මිතුරකු එදිනෙදා වියදම් උපයා ගැනීම සඳහා අමතර රැකියාවක නියැලේ.  ඔහු කියන්නේ, දින පහක් සේවය කළ විට, එක් දිනක ඉපයීමට ආසන්න මුදලක් තමාට බදු වශයෙන් ගෙවන්නට සිදු වන බවයි. එහි අනෙක් අර්ථය ඕස්ට්‍රේලියාවේ දී අනියම් සේවකයකුට වුව බදු දැලින් ගැලවී ඉන්නට හැකියාවක් නොමැත්තේ ය යන්නයි.

මේ වන විට ලංකාවේ ද බදු අය කිරීම් සම්බන්ධ සංවාදයක් පවතී. නව බදු පැනවීම් වලට එරෙහිව තැන තැන සිදු කරන පෙත්සම් අත්සන් ගැනීම් ආදිය අනුව එය සංවාදයකට වඩා විරෝධතාවක් බවද පැහැදිලි වේ.

එතෙක් 8% වශයෙන් පැවැති වැට් බදු අනුපාතය 15% දක්වා ඉහළ දැමීම. 2.5% සමාජ ආරක්ෂණ බද්දක් අලුතින් පැනවීම. බැංකු තැන්පත් පොලියට 5% ක බද්දක් පැනවීම. සමාගම් වලට 30%  බද්දක් හඳුන්වා දීම. ලාබය මත අය කරන බද්ද 30% දක්වා වැඩි කිරීම මෙකී විරෝධතාව ට හේතු වී තිබේ. උද්ධමනය,  ජීවන වියදම සීග්‍ර ලෙස ඉහළ ගොස් ජන ජීවිතය කඩා වැටෙමින් පවතින සහ රැකියා පවා අහිමි වෙමින් පවතින වකවානුවක වැට් බදු අනුපාත ඉහළ නැංවීම, සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකට ජනතාව පත් කිරීමක් බවද අමුතුවෙන් කිය යුතු නැත.  පවතින බදු විරෝධය කරළියට පැමිණ ඇත්තේ පහළ ආදායම් ලාභි ජනතාව අතරින් නොව, ඉහළ ආදායම් සහිත වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් අතරින් බවද පෙනේ.

මෑත දිනෙක විශේෂඥ වෛද්‍යවරයකු සඳහා අංකයක් වෙන් කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එක් වෛද්‍යවරයකුගෙන් මට ලබා ගත හැකි අංකය ලෙස දන්වනු ලැබුවේ අංක 60ය. වෛද්‍යවරයා ගේ චැනල් ගාස්තුව රු. 2500/-කි. චැනල් සේවා ස්ථානයට රු. 500/- වෙන් කරන්නේ යැයි සැලකුව හොත් එකී වෛද්‍යවරයා ගේ ඒ සේවා ස්ථානයේ පමණක් ආදායම 120,000කි. එම මුදල මෙරට සාමාන්‍ය කම්කරුවකුගේ මාසික ආදායම මෙන් දෙතුන් ගුණයකට ආසන්නය. ඒ ඔහු රජයේ රෝහලේ සේවයෙන් උපයන වැටුපට අමතරවය. වෛද්‍යවරුන් හැර මෙවැනි ආදායම් ලාභී ටියුෂන් ඇදුරන් ආදි බොහෝ පිරිස් සිටිති. එවැන්නන් බදු දැලට හසු කර ගන්නා යන්ත්‍රණයක් මෙරට ඇත්තේ නැත. ඒ වෙනුවට සිදු වන්නේ, දුප්පතා ගේ සීනි, හාල්, පිටි ටිකට වැට් ගසා දුප්පතාගේ ම ගෙළ සිර කිරීමය. ඕස්ට්‍රේලියාවේ තාවකාලික රැකියාවක දීත් බදු ගෙවන්නට සිදු වීමත් මේ තත්ත්වයත් සසඳා බැලිය යුතුය.

තවත් ගැටලුවක් වන්නේ මෙරට බදු ප්‍රතිපත්තිය සැමට එක සේ සමාන නොවීමය. සීනි බදු සහනය ආදිය විසින් පෙන්නුම් කෙරුණේ ආණ්ඩුවට අවශ්‍ය වූ විට තම හිතවතුනට වාසිදායක වන ආකාරයට බදු පිළිවෙත හසුරුවන්නට පසුබට නොවන බවය. බදු පැහැර හරින්නන් සම්බන්ධයෙන් තත්ත්වයද ඊට දෙවැනි නැත. බදු පැහැර හැරීමේ යෙදෙන්නන් ද බොහෝ විට දේශපාලන හිතවතුන් ම ය. ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් නැත. නීතිමය ක්‍රියාමාර්ග ගත්තා වුවද ඒවා සිදු වන්නේ ඉබි ගමනටත් වඩා සෙමිනි.

ජනතාව විසින් ගෙවනු ලබන බදු මුදල් ආණ්ඩුව විසින් වැය කරනු ලබන්නේ කුමක් සඳහා ද යන්න ද ගැටලුවකි. නිදර්ශනයක් වශයෙන්, වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරු 39ක් සිටිති. ඔවුනට විශේෂිත රාජකාරියක් ඇත්තේ නැත. ලේකම්වරු නැත. ඉන් කියැවෙන්නේ, ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කර ගැනීමට රාජ්‍ය ඇමැතිවරුන් යනුවෙන් පිරිසක් පත්කර ජනතා බදු මුදලින් ඔවුන් නඩත්තු කරමින් සිටින බවය. මීට අමතර ජනතා බදු මුදල් නිකරුණේ කාබාසිනියා කරන වැඩසටහන් තව කොතෙකුත් තිබේ. බදු සංකල්පයේ මූලිකාංගය වන්නේ, ඇති තැනින් අය කර නැති තැනෙහි යහපත වෙනුවෙන් එම මුදල් වැය කිරීමය. එහෙත් මෙරට දී සිදු වන්නේ දුප්පතාගේ හිස මත බදු බර පටවා සුළු පිරිසක ගේ සුඛවිහරණය වෙනුවෙන් එම මුදල් වැය කිරීමය.

වර්තමාන බදු පිළිවෙත හේතුවෙන් වෛද්‍යවරුන්, බැංකු කළමනාකරුවන් වැනි පිරිස් රට හැර යන තත්ත්වයක් උද්ගත ව ඇති බව ද කියැවේ. එය ද සාධාරණ නැත. හේතුව මේ කියන පිරිස් මෙරට නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සුදුසුකම් ලබා වෘත්තිකයන් බවට පත්වූවන් වන හෙයිනි. එනම් ජනතාව ගේ බදු මුදලින් ඉගෙන ගත් පිරිසය. ආණ්ඩුව බදු ගසන්නේ ය කියා රට හැර යාම ඒ නිසා සාධාරණ නැත. එසේ යන්නේ නම් ඔවුන් තමන්ට අධ්‍යාපනය ලබා දීමට ජනතාව දැරූ වියදම් පියවා යා යුතුය. අනෙක ඔවුන් මෙරට නොමිලයේ අධ්‍යාපනයේ පිහිටෙන් සුදුසුකම් සපුරා ගෙන බදු පාරාදීස වලට ඉගිල යනවා ද නොවේ. යන්නේ වෙනත් රටක රැකියා කර එම රටවලට බදු ගෙවන්නට ය.

බදු මුදල් යනු ආණ්ඩුවක ආදායම් මඟකි. බදු ගෙවීම නෛතික අවශ්‍යතාවක් පමණක් නොව ආදායම් උපයන්නන් ගේ වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ. සාධාරණ සහ දැරිය හැකි බදු ක්‍රමයක් සැකසීමට ආණ්ඩුවට වගකීමක් තිබේ. අය කරනු ලබන බදු විනිවිද භාවයකින් යුතුව සමාජයේ පොදු යහපත වෙනුවෙන් වැය කිරීමට කටයුතු කිරීමට ද ආණ්ඩුව වග බලා ගත යුතු වේ. අධික සහ අසාධාරණ බදු බරට එරෙහි වන්නට ද ජනතාවට අයිතියක් තිබේ.

 ~ අනුර කේ එදිරිසූරිය ~

පින්තුරය, colombo now පිටුවෙන් උපුටා ගන්නා ලදී

Your email address will not be published. Required fields are marked *