දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්

දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්

194 views
0

දුම්රියක වැසිකිළියක බිලිඳකු දමා ගිය පුවත මේ දිනවල ජනමාධ්‍ය වල සහ සමාජයේ දැඩි අවධානයට  ලක්ව තිබේ. දරුවාගේ මව වයස විසි හයක තරුණියකයි කියති. දරුවාගේ පියා ද සම වයසේ තරුණයෙකි. වයස විසිහය යනු විවාහයට සුදුසු වයසේ දෙන්නා ම පසුවන්නන් බැවින් දරුවකු ලැබෙන්නට සිටිය දීත් ඔවුන් විවාහ නොවීමට  හේතු තිබිය යුතුය.

තරුණිය සහ තරුණයා වෙත වරද පටවන්නට උත්සාහ කරනු මිස ඔවුනට විවාහයට තිබුණු බාධා, දරුවා හදා  වඩා ගැනීමට පැවැති අපහසුතා ආදිය විමසන්නට කිසිවකු උනන්දු වන බව පෙනෙන්නට නැත. පරීක්ෂණ වලදී හෙලි වී ඇත්තේ යම් අයකු හදා වඩා ගනු ඇත යන විශ්වාසය ඇතිව දරුවා දමා ගිය බව ය.

අවිවාහක ව දරුවකු බිහි කිරීම වත්මන් සමාජ පිළිගැනීම අනුව තරුණියකට, සියතින් ගෙළ සිඳ ගැනීමක් බඳු ය. එවන් දරුවකු සමඟ තරුණියක් බාර ගන්නට පවුලේ අය පවා කැමති නොවෙති. සමාජයේ අවමානයට ලක් වන්නට දැරියටත් පවුලේ අයටත් සිදු වේ. බිලිඳුන් කසළ බඳුන් වල දමා යන තරුණියන්, උපන් විගස දරුවන් මරා දමන තරුණියන් දක්නට ලැබෙන හේතුව එය ය.

නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීමද මෙවැනි සිදුවීම් වලට බලපානු ලැබේ. දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම ඇතැමුන්  සලකන්නේ පාප කර්මයක් වශයෙනි. කලකට ඉහත, ලිංගික අධ්‍යාපන කෘතියකට භික්ෂූන් ඇතුළු සුචරිත වාදින් ගෙන් එල්ල වුණු විරෝධය, මෙවැනි සිදුවීම් හමුවේ සමාජය මතකයට නඟා ගත යුතුය. ගුරුවරුන් පවා ලිංගික අධ්‍යාපනය ලබා දීමට පසුබට වන්නේ ඊනියා සදාචාරය නිසාය. ලිංගිකත්වය පිළිබඳ මනා වැටහීමක් නැති සමාජයක මෙවැනි දේ බලාපොරොත්තු විය යුතුය. උපත් පාලන උපකරණයක් මිල දී ගන්නන් දෙස පවා සමාජය බලන්නේ වපර ඇසිනි. උපත් පාලන ක්‍රම වුව 100% විශ්වාස කළ නොහැකි ය.

කවර හේතුවක් නිසා හෝ ඇතිවන දරු ගැබක්, දරුවෙකු හදා වඩා ගැනීමට තරම් ආර්ථික හෝ මානසික සුදානමක නැති තත්වයක් තුල අවශ්‍ය නම් ඉවත් කර ගන්නට, විශේෂයෙන්ම ගැහැනියකට ගබ්සාවක පිහිට පතන්නට හැකියාවක් බොහෝවිට නැත. වෛද්‍ය නිර්දේශ මත හෝ ගබ්සාව නීතිගත කරන්නට පමණක් නොව ඊට උත්සාහ කරන්නට වත් සුචරිතවාදීහු ඉඩ නො දෙති. පසුගිය සමයේ ගබ්සාව නීතිගත කළ යුතු බවට ඇති වුණු සංවාදයක දී භික්ෂූන් සිවුරු ඔසවා ගනිද්දී කතෝලික සභාව ද තරගයට ලෝගු ඔසවා ගත්තේ ය.

ගබ්සාවට විරුද්ධ නම් මව්පියන්ට බරක් වන හෝ අනවශ්‍ය දරුවන් රැක බලා ගැනීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට හෝ ආගමික ආයතන වලට හෝ සමාජයට තිබිය යුතු නමුත් එවැන්නක් ද නැත. රාජ්‍ය නොවන සංවිධාන වැනි ආයතන මැදිහත් ව කෙරෙන කැපකරු මාපිය ක්‍රම හා සමාන වැඩසටහන් සමහරක් පවතින නමුත් ඒවා ප්‍රචලිත හෝ අවශ්‍ය පමණට හෝ නැත.  ඒ හේතුව නිසා රට පුරා නීති විරෝධී ගබ්සා ආයතන බිහි වී තිබේ. ගබ්සා සඳහා එවැනි ස්ථාන තෝරා ගන්නා කතුනට ජීවිත අවදානමට ලක් වීමට පමණක් නොව වෙනත් අඩන්තේට්ටම් වලට ගොදුරු වන්නට පවා ඇතැම් විට සිදුවේ. නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කළ සමයේ, අවිවාහක ඇඟලුම් සේවිකාවන් ගේ දරුවන් විකිණීම සඳහා කටුනායක ප්‍රදේශයේ ” ළදරු ගොවිපොළ ” නමින් හැඳින්වුණු  ළදරු  ජාවාරම් පොළ බිහි ව තිබුණු බව පැවසිණ. එවැනි ජාවාරම් බිහි වන්නේ ද  අනවශ්‍ය දරු ගැබ් ඉවත් කර ගැනීමට හෝ අනවශ්‍ය දරුවන් රැක බලා ගැනීමට නීත්‍යනුකූල ක්‍රමයක් නොමැති වීම නිසාය.

මව සහ පියා විවාහක හෝ අවිවාහක වුවද, නීත්‍යනුකූල හෝ අනියම් යැයි හඳුන්වනු ලබන ඇසුරක ප්‍රතිඵලයක් වුවද, දරුවෙක් යනු ජාතික වස්තුවකි. කවර ආකාරයෙන් උපත ලැබුවා වුව උපන් දරුවකු රැක බලා ගන්නට රජයට සහ සමාජයට වගකීමක් තිබේ. ලංකාවේ ඒ සඳහා පරිවාස නමින් හැදින්වෙන ආයතනයක් පැවතියද එය අවශ්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැත. එසේම, පරිවාසය තුළ දී දරුවන් අවභාවිතයට සහ අපචාර වලට ලක් වූ අවස්ථා ද කොතෙකුත් හෙළිදරව් වී තිබේ. පරිවාසයට දරුවකු බාර දීමද අතිශය අසීරු සේම, මව්පියන්ගේ කැමැත්ත පමණක් අනුව එසේ කරන්නට හැකියාවක් ඇත්තේ ද නැත.

උපන් විගස දරුවන් මරා දැමෙන, තැන තැන කිරි දරුවන් දමා යන සමාජයේ ම දරු පල අහිමි, හදා වඩා ගැනීමට දරුවන් බලාපොරොත්තුවෙන් පසුවන පිරිසක් ද සිටිති. අවම වශයෙන් මෙකී දෙපිරිස මුණගස්වන වැඩපිළිවෙළක් සකසන්නට හෝ බලධාරින් කටයුතු කරන්නේ නම් ප්‍රශ්නය යම් පමණකින් හෝ නිරාකරණය කරන්නට හැකි වනු ඇත.

මෙවැනි සිද්ධි වලදී පොලිසිය හැසිරෙන්නේ ද උසාවියටත් පෙර වරදකරුවන් තීරණය කරන ආකාරයෙනි. දුම්රියේ දමා ගිය දරුවාගේ මවගෙන් උසස් යැයි කියන පොලිස් නිලධාරියකු ප්‍රශ්න කළ ආකාරය අනුව පැහැදිලි වන්නේ, ඔහු නීතියත් සදාචාරයත් දෙකම නො දන්නා බවය. ජනමාධ්‍ය කැමරා පෙරටු කරගෙන තරුණිය අත්අඩංගුවට ගැනීමට යාම හේතුවෙන් තරුණියගේත් ඇගේ පවුලේ සාමාජිකයන්ගේත් පෞද්ගලිකත්වය සහ මානව හිමිකම් බරපතළ ලෙස කඩ වූ නමුත් ජනමාධ්‍ය කළේ ද ඒ හැසිරීම ප්‍රශ්න කිරීම නොවේ; තරුණිය අපරාධකාරියක් ය  යන පූර්ව නිගමනයේ පිහිටා පොලිස් නිලධාරියාට වීරත්වයක් ආරෝපණය වන ආකාරයට කැමරා සහ මයික් එල්ල කරගෙන සිටීමය.

මව්පියන්ට දරුවන් එපා වීම ඛේදවාචකයකි. නමුත් ඒ මතය සමාජගත කරන සංවාදයක් රට තුළ ඇති බව හෝ ඒ ඛේදවාචකයේ බරපතළකම සමාජය වටහා ගෙන ඇති බවක් හෝ පෙනෙන්නට නැත. එහෙයින් ඉඳුරා සිදු වන්නට නියමිත, යළි යළිත් දරුවන් මගතොට දමා යාම සහ නැවත නැවතත් ඒ බව ජනමාධ්‍ය ඔස්සේ විකාශය වීම පමණි.

~ අනුර කේ එදිරිසූරිය ~

Your email address will not be published. Required fields are marked *