සිසු සටන් සහ සිසු ගැටුම්

සිසු සටන් සහ සිසු ගැටුම්

203 views
0

මේ වන විට ආණ්ඩුවට බරපතළ විරෝධතා රැසකට එකවර මුහුණ දෙන්නට සිදුව තිබේ. ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් කොටසක් නිහඬව කකියන සිතින් යුතුව ආණ්ඩුවට සිතින් ශාප කරමින් සිටිති. තවත් පිරිසක් පන්දම්, විරෝධතා පුවරු රැගෙන වීදි බැස සිටිති. අධික සහ අසාධාරණ බදු බරට එරෙහිව වෘත්තිකයන්, රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන් ද සටනට පිවිස සිටිති.

මෙකී සටන් කණ්ඩායම් අතර පෙරමුණෙහි සිටින තවත් පිරිසක් වන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවය.

මේ මොහොතේ ආණ්ඩුව ශිෂ්‍ය සටන් වලට මුහුණ දීමට පොලිස් බල ඇණි, කඳුළු ගෑස්, ජල ප්‍රහාර පමණක් නොව විවිධ අණ පනත් පවා උපයෝගී කර ගනිමින් සිටින බව පැහැදිලිය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ ගල්වල සිරිධම්ම හිමි අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම ඒ සඳහා උදාහරණ වශයෙන් පවතී.

කඳුළු ගෑස්, ජල ප්‍රහාර, අත්අඩංගුවට ගැනීම් වලට අමතරව ආණ්ඩුව මේ වන විට ශිෂ්‍ය සටන්වලට මුහුණ දීම සඳහා තවත් උපායක් අනුගමනය කරමින් සිටින බව පැහැදිලි වේ. මෙහි දී ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත වන්නේ ශිෂ්‍ය සංගම් වල සංවිධානය  වීමේ හැකියාව දුර්වල කිරීම සඳහා විශ්ව විද්‍යාල වසා දමා සිසුන් නිවෙස් කරා යැවීමයි.  

රුහුණු විශ්ව විද්‍යාලයේ කඹුරුපිටිය තාක්ෂණ විද්‍යා පීඨයේ මෑත සිදුවීම ආශ්‍රයෙන් මේ තත්ත්වය පැහැදිලි කර ගන්නට පුළුවන.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පසුගිය දා ප්‍රකාශ කළ ආකාරයට එම පීඨයේ උප ශාලාධිපති කුසල් ගුණවර්ධන මහතා නිරන්තරයෙන් සිසුන් සමඟ ගැටුම් සහගත තත්ත්වයක් ඇති කර ගන්නා ආකාරයට හැසිරී ඇති බව පෙනේ.

සිසුන් විදුලි පහන් දල්වා ගෙන සිටීම, ඔවුන් ශබ්ද නගා කතා කිරීම, සිසුන් ගීත ගැයීම, පාපන්දු තරගයක් නරඹා සිසුන් ප්‍රීති ඝෝෂා කිරීම ආදිය කෙරෙහි උප ශාලාධිපතිවරයා තර්ජනාත්මක ලෙස හැසිරී ඇති බව  මුදලිගේ මහතා පවසයි. එසේම, උප ශාලාධිපතිවරයා සිසුනට පස්සට පයින් ගසා එළියට ඇද දමන්නට තර්ජනය කළ බවත්, බීමතින් අවි අත දරා පැමිණ ශාලාධිපතිවරයා  සිසුනට  තර්ජනය කරන ආකාරය මුදලිගේ මහතා වීඩියෝ දර්ශන පවා ඉදිරිපත් කරමින් ජනමාධ්‍ය වලට පැහැදිලි කරන්නන්ට යෙදිණ.

විශ්ව විද්‍යාල පරිපාලනයට අවශ්‍ය ව ඇත්තේ  විශ්ව විද්‍යාල පද්ධතිය අර්බුදයට යැවීම බව මුදලිගේ මහතාගේ අදහස වේ. එසේම, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ප්‍රචණ්ඩ, කලහකාරී පිරිසක් ය යන මතය සමාජගත කිරීමේ අරමුණක් පවතින බවද ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, කැලණිය , පාලි හා බෞද්ධ ආදි විශ්ව විද්‍යාල වල යම් යම් සිද්ධි හිතාමතා ම අවුළුවන ලද බවත් මුදලිගේ මහතා පෙන්වා දෙයි.  

විශ්ව විද්‍යාල සිසුන් තහංචි මගින් පාලනය කළ යුතු පිරිසක් යැයි කවුරු හෝ සිතන්නේ නම් වරදකි. විශ්ව විද්‍යාල සිසුන්ට නිදහස් පරිසරයක අධ්‍යාපනය ලබන්නට හැකියාව සහ අවසරය පැවතිය යුතුය. කඹුරුපිටිය සිද්ධියෙන් සහ රුහුණු විශ්ව විද්‍යාලයේ පවතින තත්ත්වය අනුව පැහැදිලි වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ෂටප්! සිට්ඩවුන්!  කියා පාර්ලිමේන්තුව හසුරුවන්නට ගත් උත්සාහයට සමාන පිළිවෙතක් අනුගමනය කරන්නට රුහුණු විශ්ව විද්‍යාලයේ පාලකයන් වෙර දරමින් සිටින බවය.

විශ්ව විද්‍යාල පරිපාලනය සමන්විත වන්නේ ආණ්ඩුව විසින් පත් කරනු ලැබු පිරිසකගෙනි. ආණ්ඩුවේ හිස උදුම්මා ගත් පිළිවෙත විශ්ව විද්‍යාල පරිපාලනයෙන් ද දිස්වීම කනගාටුවට කරුණකි. එයට ඉඩ දිය යුතු නැත. එවැන්නක් පරාජය කළ යුතු බවට සැකයක් ද නැත. නමුත් එහි දී පරිපාලනයේ උපක්‍රම වලට හසු නොවී කටයුතු කිරීමේ වගකීමද ශිෂ්‍ය ප්‍රජාවට තිබේ.  

ශිෂ්‍යයන් ගැටුමකට ඇද ගැනීම පරිපාලනයේ අවශ්‍යතාව නම් එම උපාය පරාජය කළ හැකි වන්නේ ශිෂ්‍යයන් ගැටුමට නොයා සිටීම මඟිනි. ශිෂ්‍යයන් ගැටුමට එළැඹෙන සැම අවස්ථාවකම දිනුම අත් වන්නේ ගැටුමක් ඇති කර සිසුන් ප්‍රචණ්ඩ පිරිසක් ය යන අදහස සමාජගත කරන්නට සැදී පැහැදී සිටින පිරිසටය. එකී පිරිස අතර ආණ්ඩුව, සරසවි පරිපාලනය පමණක් නොව ඇතැම් මාධ්‍ය ආයතන පවා සිටින බව, රුහුණු විශ්ව විද්‍යාලයේ ගැටුමෙන් පසුව දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී නො කැඩී තිබු දොරක් එම නාලිකාවේ ම රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී කැඩී තිබුණා ය යනුවෙන් මුදලිගේ මහතා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

රුහුණු සරසවියේ සිද්ධිය නැවත මතක් කරන්නේ නම්, උප ශාලාධිපතිවරයා සිසුනට තර්ජනය කරන දර්ශන මුලින් ම සමාජ ගත කිරීම වැනි උපක්‍රමයකට සිසුනට යා හැකි ව තිබුණි. ප්‍රධාන මාධ්‍ය ඒ සඳහා ඉඩ නො දෙන්නේ නම් සමාජ මාධ්‍ය භාවිතයෙන් එය කරන්නට තිබුණි. පොලිසිය හෝ විශ්ව විද්‍යාල පරිපාලනය හෝ බාර නො ගන්නා පැමිණිලි මහජන විනිශ්චය සඳහා ඉදිරිපත් කරන්නට තිබුණි. 1976 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වීරසූරිය සිසුවා ගේ පටන් 2012 රුහුණේ සිසිත ප්‍රියංකර සහ කැලණියේ ජානක ඒකනායක දක්වා සිසු ජීවිත රැසක් පාලකයන් විසින් බිලි ගනු ලැබුවේ සිසුන් ගැටුමක් දක්වා කැඳවා ගැනීමෙන් බව සිහි තබා ගැනීමෙන් අවම හානියකින් යුතුව ශිෂ්‍ය ප්‍රජාවට තම අරමුණට ළඟා වන්නට හැකි වනවා ඇත.

~ අනුර කේ එදිරිසූරිය ~

Your email address will not be published. Required fields are marked *