ප්‍රජාතන්ත්‍රවාදයේ මුලයෝ – “ජනතාවගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය”

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලයෝ – “ජනතාවගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය”

70 views
0

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ට අනුව මහජනතාව ට කිසියම් පොදු ආයතනයක කිසියම් තොරතුරුක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් එකී ආයතනයේ තොරතුරු නිලධාරීයා වෙත ලිඛිත ඉල්ලීමක් කර එම තොරතුරු ලබා ගත හැකි ය. අදාළ තොරතුරු ලබා දීමෙන් රටේ ජාතික ආරක්ෂාවට හෝ රටේ යහ පැවැත්ම ට කිසියම් හානියක් හෝ තර්ජනයක් වේ නම් එම තොරතුරු ලබා දීමෙන් වැලකී සිටීමට එම පොදු ආයතනය ට බලය ඇත. රටේ පවත්නා නීතියට අනුව වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මහජන නියෝජිතයින් සිය වත්කම් සහ බැරකම් පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කළ යුතුය .

මෙම පසුබිම තුළ මාධ්‍යවේදී චාමර සම්පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ වත්කම් සහ බැරකම් පිළිබඳව තොරතුරු සහ වත්කම් සහ බැරකම් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නාම ලේඛණයක් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ ය. පාර්ලිමේන්තුවේ එම තොරතුරු ලබා නොදීම නිසා මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමේ කොමිසම වෙත අභියාචනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ අදාළ තොරතුරු ලබා දෙන ලෙස ය. ප්‍රස්තුත කරුණ පිළිබඳව තොරතුරු කොමිසමේ තීන්දුව වූයේ එම තොරතුරු අදාළ ඉල්ලුම් කරුට ලබා දිය යුතුය යන්නයි.

තොරතුරු කොමිසමේ උක්ත තීන්දුව බල රහිත කරන ලෙස පාර්ලිමේන්තුව අභියාචනාවක් ඉදිරිපත් කළ අතර මේ කරුණ සම්බන්ධව අධිකරණ තීන්දුව වූයේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ ප්‍රතිපාදන වත්කම් සහ බැරකම් පනතේ ප්‍රතිපාදන වලට වඩා ඉහළ බවයි. ඒ අනුව අදාළ තොරතුරු ඉල්ලා ඇති අයවලුන් ට එම තොරතුරු ලබා දිය යුතු බවට අධිකරණය තීරණය කළේය .

මෙය මේ රටේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත සම්බන්ධව ලබා දුන් අතිශය වැදගත් නඩු තීන්දුවක් ලෙස සැලකිය හැක. මහජන නියෝජිතයින් ගේ වත්කම් සහ බැරකම් පිළිබඳව මහජනතාව වරින්වර ප්‍රශ්න කළ අතර එම තොරතුරු මහජනතාව ට දැන ගැනීමට අයිතියක් ඇති බව ඔවුන් ගේ මතය විය .

මෙම තොරතුරු මහජනතාව ට වැදගත් වන්නේ ඇතැම් මහජන නියෝජිතයින්  නීති විරෝධී ආකාරයට දේපළ උපයන බවට විවිධ චෝදනා ඉදිරිපත් වන පසුබිමක ය. මහජන නියෝජිතයකු ලෙස තෝරා පත් කිරීමට පෙර යම් පුද්ගලයකු සන්තකයේ සහ අයිතියේ පවතින දේපොළ එම තැනැත්තා හෝ තැනැත්තිය මහජන නියෝජිතයකු ලෙස තෝරා පත් කර ගෙන කාලයක් ගත වීමෙන් පසු වර්ධනය කර ගෙන තිබේ නම් එකී දේපොළ වර්ධනය කර ගත් ආකාරය පිළිබඳව දැන ගැනීමට මහජනතාව ට අයිතිවාසිකම් තිබේය යන්න මෙම ඓතිහාසික නඩු තීන්දුවේ හරයයි. එසේ කිරීම එකී මහජන නියෝජිතයා ගේ අවංකභාවය සහ පාරදෘශ්‍ය බව පිළිබඳව ලිට්මස් පරීක්ෂාවකි.

තවද එසේ තම වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින මහජන නියෝජිතයින් පිළිබඳව  තොරතුරු මහජනතාව වෙත සම්ප්‍රේෂණය වීම අතිශයින් වැදගත් වේ. මේ නයින් මේ රටේ දේශපාලන සංස්කෘතිය ඉතා වැදගත් ස්ථානයකට ඔසවා තැබීම කළ හැකි වේ. මෙම තීරණය නිසා මෙතෙක් වචනයට සීමා වී තිබුණු   වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම ජීව යාන්ත්‍රණයක් බවට පරිවර්තනය වන අතර මහජන නියෝජිතයින් මහජනතාව ට වගවීමේ අවශ්‍යතාව ද තෘප්ත වේ.

කෙසේ වෙතත් තම තමන් ගේ පෞද්ගලික දේපොළ සම්බන්ධයෙන් මතු නොව තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ වත්කම් සහ බැරකම් පිළිබඳවත් ජනතාව වෙත අවංකව කරුණු ඉදිරිපත් කිරීමේ වගකීමක් ජනතා නියෝජිතයින් ට ඇත. මෙය දෙආකාරයකින් මහජනතාව ට මෙන්ම මහජන නියෝජිතයින් ට ද වැදගත් වේ. එක් අතකින් තම තමන් ගේ පෞද්ගලික සහ පක්ෂයේ දේපොළ සම්බන්ධයෙන් ජනතාව ට ඇති සැක සංකා දුරු වේ. අනිත් අතට මහජන නියෝජිතයින් ට ජනතාව හමුවේ තම වංක හෝ අවංක භාවය පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගත හැකි ය. එපමණක්ද නොව මෙම ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ හැකි එක් මෙවලමකි. ඒ කෙසේ යත් දූෂණ චෝදනා වලට යටත් වන මහජන නියෝජිතයින් නිසැක වශයෙන් ම පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා ගෙදර යැවිය හැකි ය. මේ සියල්ලේම අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ රට තුළ යහපාලනය ස්ථාපනය කර ගැනීමට මග පෑදීමය.

පොදු ජනතාව, තම වටිනා චන්දයෙන් තෝරාපත් කරගත් මහජන නියෝජිතයින්, තමන් ඉදිරියේ ඇති නිරවද්‍ය තොරතුරු වලින් ජනතා වංචනිකයින් තෝරා බේරා ගෙන ඔවුන් දේශපාලනයෙන් ඉවත්කර තැබීමේ ආස්ථානයට තල්ලු වීම ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේලා සාධනීය ලක්ෂණක් වනු නොඅනුමානය .

~ එස්.එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *