ගමේ ආණ්ඩුව සාදා ගැනීමට නැවත වරක් මේ රටේ පොදු ජනතාව ට අවස්ථාව උදා වී ඇති බවත් මෙය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්කෘෂ්ඨ සහ සාධනීය පියවරක් බවත් එම නිසා ඡන්දය කටුගා දැමීම ආනන්තරීය පාප කර්මයක් වන බැවින් සුපිරිසිදු ,නොකළැල්,පවිත්‍ර පුද්ගලයන් ගමේ ආණ්ඩුව ට පත් කර යැවීම පොදු ජනතාවගේ යුතුකමක් බවත් දේශපාලන කරලියේ මෙන්ම මුහුණු පොතේ ද ජප කිරීම ද මේ වන විටත් ආරම්භ කර ඇත .ගමේ ආණ්ඩු වල මතු නොව මහ ආණ්ඩු වල කෙරුවාව මේ රටේ පොදු ජනතාව යහමින් අත්විද ඇත . ඡන්ද පොළට යන ඡන්දදායකයන් ඡන්ද කටුගෑමට පෙළඹෙන්නේ නම් මෙම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව පිළිබඳව මහජන විශ්වාසය බිද වැටී ඇති බව ට එය කදිම සාක්ෂියක් වනු ඇත .එය එසේ වුවත් ඡන්ද පොළට ගොස් ඡන්ද කටුගා දමන ලෙස ට යෝජනා කිරීමට තරම් අප සාහසික විය යුතු නැත .
ග්‍රීසියේ ජන්ම ලාභය ලබා ලෝකයේ බොහෝ රටවල රාජ්‍යයන් දේව භාෂිතයක් ලෙස පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පයේ උත්තරීතර බව පිළිබඳව අබමල් රේනුවක හෝ සැකයක් හෝ විචිකිච්චාවක් නැත . එහෙත් අප වැනි ආසියානු කලාපීය රටවල් මේ භුක්ති විදින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ස්වරූපය ද? අතීත අත්දැකීම් වලින් තහවුරු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නම් වෙස්මුහුණෙන් අප වෙත පැමිණ, විටෙක අප සනසවමින් තවත් විටෙක අප උද්දාමයට පත් කරමින් , විටෙක අප රවටමින් අපේ අධ්‍යාත්මය උසිගන්වමින් හැසිරෙන, වෙසගනක් අපගේ සියලුම අයිතිවාසිකම් උදුරා ගෙන ඇති බව නොවේද ?
නොඑසේ නම් ගම් මට්ටමේ සිට ජාතික තලය දක්වා දේශපාලන නායකයින් වසර හැත්තෑවකට ආසන්න කාලයක් තිස්සේ කරගෙන ආ ප්‍රොඩාකාරී, ජනතා විරෝධී දේශපාලනය මෙතෙක් කල් යහතින් වැජඹුණේ ඇයි ? මෙම වෙසගන විටෙක ශාන්තුවරියක් ලෙස ද විටෙක රාගාධි කාමිනියක් ලෙස ද තවත් විටෙක අමානුෂික මිනීමරු යක්ෂණියක් ලෙස ද පොදු ජනතාව ගේ පහස ලද බව නොරහසකි . මෙවර පුංචි ඡන්දයේදී ද මෙම කාමිනිය රාගාධි හැගීම් වලින් අප උත්ප්‍රාසයට පත් කර ඕනෑම ඡංද ලන්සුවක දී ඇදිවත ලිහා අප ගේ පහස ලැබීමට උත්සුක වනු නිසැකය.
මෙම සංදර්භය තුළ පුංචි ආණ්ඩුවේ මහජන නියෝජිතයින් සියලුම දෙනා කොමිස් කුට්ටි ප්‍රතික්ෂේප කරමින් අල්ලස සහ දූෂණය පිටු දකිමින් , දීමනා සහ අනෙක් සන්තෝසම් පිළිකෙව් කරමින් පරමාදර්ශී සත්පුරුෂයින් බවට පත් වන බවට ඇති සහතිකය කුමක්ද ? ජරපත් වූ සමාජය තුළ හෙට දිනයේ ද බිහිවන පුංචි ආණ්ඩුවේ නායකකාරකාදීන් බහුතරයක් අල්ලස, දූෂණය සහ සොරකම සිය උදන වාක්‍යය බවට පත් කර ගනු නිසැකය .එවන් වාතාවරණයක් තුළ පූර්ව මැතිවරණ සමයේදී අලුත් වෙනසක් පිළිබඳව පාරම්බෑ දේශපාලන වන්දිභට්ටයින් මැතිවරණ ප්‍රථිඵල නිකුත් වී සුළු කාලයක් තුළ ජනතාව ට කොකා පෙන්වීම ප්‍රත්‍යක්ෂ ය.
වසර හැත්තෑවකට ආසන්න කාලයක් තිස්සේ මේ රටේ පවත්වන ලද මහා මැතිවරණ ,ජනාධිපතිවරණ ,පලාත් පාලන හා පලාත් සභා මැතිවරණ යන සියලුම මැතිවරණ වලදී මාර්කට් වුයේ ජාතිකවාදය හෝ ජාතිවාදය හෝ දේශීය ආර්ථිකය හෝ යුද්ධය හෝ සාමයයි. එක් එක් වකවානු වල හමනා රැලිවලට හසුවන ඡන්දදායකයන් මැතිවරණයෙන් පසු නන්නත්තාර වීම වසර 75ක් පිරෙන ලාංකීය දේශපාලන ඉතිහාසයේ අප අත්දුටු තවත් සංසිද්ධියක් වේ.
පවත්වන හෝ නොපවත්වන ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රථිඵල පිළිබඳව සියයට සියයක් නිවරැදි ලෙස පුරෝකතනය කළ නොහැකි වුවත් විපක්ෂයේ දේශපාලන බලවේග සහ පවත්නා ආණ්ඩුවේ සහ එම ආණ්ඩුව ට හිතැති බලවේග අතර කරට කර තරගයක් ඇති වනු ඇත .කවුරු කෙසේ කීවත් මේ රටේ ඡන්දදායකයින් බහුතරයක් සිය ඡංද ප්‍රකාශ කිරීමේදී පක්ෂ වල ප්‍රතිපත්ති පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත . ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක වන පොහොට්ටු-එජාප කණ්ඩායමත් , සමගි ජනබලවේගයත් යන දෙකම අතහැර දමා තෙවන විකල්ප බලවේගයකට පූර්ණ බලයක් ලබා දීමට මෙරට බහුතරයක් තවමත් සූදානම් ද යන්න විවාදිතය. මේ රටේ තවමත් ඇත්තේ ඡංද ගොඩවල් දෙකකි. එක ගොඩක් නියෝජනය කරන්නේ එජාපයේ කණ්ඩායම් දෙකය. අනිත් ගොඩ එජාපය ට එරෙහි ඡන්ද ගොඩයි. එම ඡන්ද වලින් බහුතරයක් හැසිරෙන ආකාරය පිළිබඳව පැහැදිලි නිගමනයකට එලඹීමට තවමත් කල් වැඩිය.
මෙවරත්, ලාංකීය චන්දදායකයා තවදුරටත් රැවටෙනවාද, එහෙමත් නැතිනම් අප විසින් පාලනය කළහැකි විකල්පයක් තෝරා ගැනීමට අප මෙතෙක් ඉගෙනගත් පාඩම් වලින් සන්නද්දව තීරණයක් ගන්නවාද යන්න විචක්ෂණශීලිව සිතා බැලිය යුතුවේ, එසේ නැතිනම් වෙන්නේ එක් එක් පලාත් පාලන ආයතන වල බලය දැනට පාර්ලිමේන්තුවේ සිටින කුමන කණ්ඩායම ලබා ගත්තද පවත්වාගෙන ගෙන යන දූෂිත රාමුව තවදුරටත් ශක්තිමත් ලෙස ඉදිරියට ගමන් කරන බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කල හැක.
~ එස් .එම්.ජයසූරිය ~