මගී අයිතිවාසිකම් සුරැකීමේ සාමූහිකය විසින් ඊයේ(11) දිනයේ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී මගී ජනතාවගේ අයිතීන් පිළිබඳ සහ මෙ වනවිට මුහුණපෑමට සිදුවී තිබෙන අර්බුදකාරී වාතාවරණය පිලිබඳ මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කළා. එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් වන ජයනි අබේසේකර , විදර්ශන කන්නංගර ඇතුළු පිරිසක් මීට සහභාගි වි තිබුණා.
මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව සුලුකොට සලකමින් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනාදී සියලු වගකිව යුතු ආයතන මගියාගේ ජීවිතය සම්බන්ධව වගකීම් විරහිතව ක්‍රියාකරන ආකාරය ඔවුන් ප්‍රශ්න කළා. දින කිහිපයකට පෙර කුරුණෑගල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර මූලික කොට ගනිමින් මගීන් මුහුණපාන අර්බුදකාරි තත්වයන් පිළිබඳව ද ඔවුන් විවෘත අදහස් දැක්වීමක් සිදුකළා.
බස් රථ මෙන් ම දුම්රිය තුළදී විශේෂයෙන් කාන්තාවන් අතවරයට ලක්වීමද ඔවුන් මෙම මාධ්‍ය හමුවේදී සාකච්ඡා කරණු ලැබූ අතර කිසිදු ප්‍රමිතියක් හො ආරක්ෂාවක් නොමැති අබලන් වූ බස් රථ මෙන් ම දුම්රිය මැදිරි සහ කිසිදු හික්මීමක් නොමැති රියදුරන් හේතුවෙන් මගී ජීවිත කොයි මොහොතේ අනතුරට පත්වේ ද යන්න අවිනිශ්චිත බව ද ඔවුන් ප්‍රකාශ කළා.
මෙ වෙනුවෙන් නිලධාරීන් හෝ බස් රථ හිමිකරුවන් හො ක්‍රියාත්මක නොවන වාතාවරණයක තමන්ගේ සහ තම සමීපතමයන්ගේ ජීවිත පිළිබඳ වගකීම වෙනුවෙන් මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බවත් එ වෙනුවෙන් හඬ නැගිය යුතු බවත් ඔවුන් අවසාන වශයෙන් ප්‍රකාශ කළා.