ලංකාවම හඬවන “Fengal”

ලංකාවම හඬවන “Fengal”

25 views
0

ඉකුත් 21 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන වැසි සහිත කාළගුණය මේවන විට ලක්ෂ 4 ඉක්මවූ පිරිසක් අවතැන් වූවන් බවට පත්කොට හමාරයි. එසේ ම මෙම කාළගුණය ජීවිත 12ක් බිළිගෙන ඇති අතර ඉන් 5ක් පාසල් සිසුන් වීම හදවත් කම්පාකරවන පුවතක් වුණා. අම්පාර මාවඩි පාලම අසලදී ට්‍රැක්ටරයක් පෙරලීමෙන් සිදුවූ අනතුරක් මෙම ජීවිත හානිවලට මූලික වූ අතර එම රථයේ රියදුරු සහ ළමුන්ගේ ආරක්ෂාවට එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුට ද අනතුරින් ජීවිත අහිමි වුණා. එසේ ම ගල් ඔය හා මොරහීල් ඔය අතර පිහිටා තිබූ ගඩොල් පෝරණුවක රැඳීසිටි පුද්ගලයෙකුද අයහපත් කාළගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා. තවද මෙලෙස ම දිස්ත්‍රික්ක ගණනාවක් ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර පවතින අධික වැසි සහිත කාළගුණයෙන් වැඩිම හානි වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රීක්කයෙන්. මේ අතර නිල්වලා ගඟ සහ කැළණි ගඟ ඇතුළු ගංගා කිහිපයක් අවධානම් මට්ටමක පවතින අතර 60% ක අවදානම් මට්ටම ඉක්මවා තිබීම හේතුවෙන් වික්ටෝරියා ජලාශය , පොල්ගොල්ල මහවැලි ජලාශය , පරාක්‍රම සමුද්‍රය ,  කොත්මලේ ජලාශය , කලා වැව සහ රාජාංගනය ජලාශයෙහි වාන් දොරටු විවෘතකර පවතින අතර ජලය මුදාහැරෙන ජලාශ සහ පහත්බිම් ආශ්‍රිත ජනතාව ඉන් දැඩි අවදානමකට ලක්ව තිබෙනව. තව ද  පවතින අධික ජල ධාරිතාවය හේතුවෙන් අංගමුව ජලාශය , අලුත් දිවුල්වැව, නාච්චදූව ජලාශය , තබ්බෝව සහ දඹුලු ඔයෙහිද වාන් දොරටු විවෘත කර තිබෙන බැවින් ඒ අවට ජනතාවට දැඩි සැලකිල්ලෙන් සිටින ලෙස බලධාරීන් නිවේදන නිකුත්කර තිබෙනවා.  

මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ මාතලේ යන කඳුකර ප්‍රදේශවලට නායයෑම් පිළිබඳ රතු නිවේදන තවදුරටත් බලාත්මක කර තිබෙනව. එසේ ම  පවතින නායයෑම් සහ පස්කදු කඩාවැටීම් හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි හානි එල්ල වී ඇති අතර දෙමෝදර සහ හාලිඇල අතර ප්‍රදේශයක වූ නායයෑමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයෙහි දුම්රිය ධාවන කටයුතු අඩාල වී පවතිනවා.  එසේම මාර්ග රැසක් පස්කඳු කඩාවැටීම් සහ ගිලාබැසීම් හේතුවෙන් රථවාහන ධාවනය කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවයි වාර්තාවන්නෙ. 

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට නිරිත දෙසින් කිලෝමීටර් 100ක් පමණ දුරින් මේවන විට ස්ථානගතව පවතින මෙම ගැඹුරු පීඩන අවපාතය සුලිකුණාටුවක් බවට පරිවර්තනය වෙමින් හෙට(29) දින වන විට තමිල්නාඩුව ප්‍රාන්තයෙන් ඉන්දියාවට ඇතුල්වීමට ඉඩකඩ ඇතිබවට කාලගුණ අනාවැකි පළවනවා. එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියේ තවදුරටත් ගිගුරුම් සහිත වැසි සහ සුළං තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ පවතින බවයි. තව ද විපතට පත් ජනතාව සහන සැලසීමේ කටයුතු සඳහා යුධ , නාවික සහ ගුවන් හමුදා මෙන් ම පොලිස් සහන සේවා කණ්ඩායම් රැසක් කඩිනම් පියවර අනුගමනය කරමින් සිටින අතර ඔවුන් බෝට්ටු සහ හෙලිකොප්ටර් මගින් විපතට පත්වූවන් කඳවුරු වෙත යොමුකිරීමට සහ  වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතුකර තිබෙනව. 

Your email address will not be published. Required fields are marked *