අනුරගේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරයි ද?

අනුරගේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරයි ද?

48 views
0

 මහ මැතිවරණයත් අවසන් වී ඇති කාල සීමාවක නැවත පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ ඊයේ(20) පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහිකය සංවිධානයේ  නීතීඥ අමිල එගොඩහවත්ත, රොහාන් සිල්වා පියතුමා සහ නීතීඥ මනෝජ් නානායක්කාර යන සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන්. මෙම පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහිකය සංවිධානය, පාස්කු ප්‍රහාරය සිදුවී මාස 67ක් ගතවී ඇතත් එහි විමර්ශන තවමත් කල්වරමින් පැවතීම පිළිබඳ පැවති ආණ්ඩු සහ හිටපු ජනාධිපතිවරුන්ට සෘජුව චෝදනා එල්ලකළ අතර නව රජය සහ නව අමාත්‍යවරුන් යටතේ අගතියට පත් වූවන්ට කඩිනමින් යුක්තිය ඉටු වේ යැයි බලාපොරොත්තුවන බව ද සඳහන් කළා. 

එසේ ම මෙම අමානුෂික ප්‍රහාරයේ විමර්ශනවල දිශානතිය වෙනස් කරමින් අපරාධකරුවන්ට ආරක්ෂාව සැපයූ ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ ඔවුන්ගේ හිතෛෂීන්ට විරුද්ධව කරුණු රැසක් ඉදිරිපත් කළ මනෝජ් නානායක්කාර පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහරිමින් සිටි පිල්ලෙයාන් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම විමර්ශනවල ධනාත්මය ආරම්භයක් බවයි. 

පාස්කු ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවකට වඩා බලය තහවුරුකරගැනීමේ අන්තවාදී සමූලඝාතනයක් බවත් ඊට වගකිවයුතු කුලී හේවායන් හැරුණුකොට මහ මොළකරුවන් දේශපාලන බලයන් භාවිතා කරමින් සැගව සිටින බවත් සඳහන් කළ මෙම සමාජ ක්‍රියාකාරීන් පැවසුවේ විමර්ශනවල ප්‍රධාන අරමුණක් විය යුත්තේ එම කුමන්ත්‍රණකාරීන් සමාජයට හෙළිකිරීම බවයි. තව ද පොලීසිය ඔවුන්ගේ දේශපාලන වහල්භාවය ඉවත්කර අපක්ෂපාතීව මෙම විමර්ශනවලට සහයවෙමින් ඔවුන්ගේ වගකීම් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුන් සඳහන් කළා. නැවත වතාවක් 2019 පාස්කු ඉරුදින ඝාතනයට යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කිසිදු බලයක් භාවිතාකර කාලය සමඟ වළලාදැමීමට හෝ අමතක කරදැමීමට ඉඩනොදී වගකිවයුතු පාර්ශව පිළිබඳ අවධානයෙන් පසුවනබවත් ඔවුන් අවසාන වශයෙන් ප්‍රකාශ කළා. 

Your email address will not be published. Required fields are marked *