ලංකාවේ විදුලිය ජනනයේ<strong>, </strong>පරිපාලනයේ හා බෙදාහැරීමේ මාෆියාව

ලංකාවේ විදුලිය ජනනයේ, පරිපාලනයේ හා බෙදාහැරීමේ මාෆියාව

341 views
0

අපොස උසස් පෙළ විභාගය ට පිළිතුරු සපයන දරුවන් ට අඛණ්ඩව විදුලිය සැපයීම අපොහොසත් වූ රාජ්‍යයක පුරවැසියන් වන අපට අප ගැන වාගාඩම්බරයක් ඇති වන්නේ නම් එය අතිශය හාස්‍යජනක ය.වසර හැත්තෑ පහක් තිස්සේ අප විසින් උපයා ගත් අස්වැන්නේ එක් කොටසක් වන්නේ විදුලි අර්බුදය යි.විදුලි බල ඌනතාවය විදුලි

බල අර්බුදයක් දක්වා උග්‍ර වන තෙක් දේශපාලන නායකකාරකාදීන් මෙන්ම විදුලි බල ලොක්කන් ද වගේ වගක් නැතිව සිටීම මේ රටේ පොදු ජනතාවගේ අවාසනාවකි.අධ්‍යාපනය ට හෝ වේවා සෞඛ්‍යයට හෝ වේවා බලශක්තිය ට හෝ වේවා මේ කිසිවකට අප රටේ සැලසුමක් හෝ ජාතික ප්‍රතිපත්තියක් නැත .දේශපාලනඥයින් ට තිබෙන්නේ ඔවුන් ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ය.නිලධාරීන් ට තිබෙන්නේ ඔවුන් ගේ වෙනම න්‍යාය පත්‍රය කි.එම න්‍යාය පත්‍ර වල අවසන් ඉලක්කය තම තමන් ගේ සුඛ විහරණය යි.

මේ රටේ විදුලිය බල අර්බුදය සදහා වගකිවයුත්තන් රාශියක් සිටිති.  බලයේ සිටි ආණ්ඩු සියල්ලම මෙන්ම විදුලිය බලය ට අධිපති ඇතැම් නිලධාරීන් සහ පරිසරය සුරැකීමේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ද ඇතැම් වෘත්තීය සමිති ද  මෙයට වගකීම භාර ගත යුතුය .සුවිශේෂයෙන්  ගල් අගුරු බලාගාර ඉදිකිරීමෙන් අම්ල වැසි ඇති වන බවත් එයින් උඩරට තේ වතු වලට මාරාන්තික අපල කාලයක් උදාවන බවත් උදේ සවස මාධ්‍ය හරහා ජප කරමින් නන් දෙඩවු පරිසර ප්‍රේමින් (පරිසර කාවුන්)අද කෂාය බිව් ගොළුවෝ  ලෙස හැසිරෙති.නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කර වසර ගණනාවක් ගත වුවත් අර කියු මාරාන්තික අපලය නම් තේ වතු වලට ලැබුවේ නැත .සාම්පූර් බලාගාරය ආරම්භ කිරීම ලත් තැනම ලොප් වූයේ ද පරිසර ප්‍රේමින් ගේ සහ දේශප්‍රේමින් ගේ අනුහසිනි.අප රටේ බොහෝ සම්පත් මෙන්ම සමාජ අර්බුද ද විකුණා ගෙන කෑම අනාදිමත් කාලයක සිට පැවත එන අංක එකේ සූදුවකි.මේ රටේ පොදු ජනතාව එම සූදූවේ ඉත්තන්‍ ය.සූදූ අන්තුවන්ට කිසිදු අපල උපද්‍රවයක් නැති අතර ඔවුහු සැමදා සුවෙන් වැජඹෙන්නේ සතුටු සිතෙන්‍ ය.සාම්පූර් බලාගාරය ආරම්භ නොකිරීමේ ශාපයෙන් අපට අදටත් ගැලවීමක් නැත .කෙසේ වෙතත් ගල් අගුරු බලාගාර බල ශක්ති අර්බුදය සදහා සර්වකාලීන විසදුමක් ද නොවේ.පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බල ගන්වන තෙක් තාවකාලික විසදුමක් පමණි.

මේ සියල්ල මෙසේ සිදුවන අතර ආණ්ඩුව නැවත උත්සාහ ගන්නේ විදුලි බිල දෙවන වරටත්  වැඩි කිරීමට ය.විදුලි බල විෂයය භාරව සිටි ඇමතිවරුන් මෙන්ම විදුලිය හැසුරු ලොක්කන් ද වර්තමාන විදුලිබල බලදරුවන් ද විදුලි බල මණ්ඩලයේ සියලුම වස් දොස්  පාරිභෝගිකයන් ගේ හිස මත ට හෙලා අත පිස දැමීමට මාන බැලීම කෙතරම් ලැජ්ජා සහගත ද ?මණ්ඩලය වසර ගණනාවක් තිස්සේ ලද පාඩුව පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට ඇති සදචාරාත්මක හෝ නෛතික රාමුව කුමක් ද ?

පුනර්ජනනීය බලශක්තිය නම් සංකල්ප පිළිබඳව අටෝරාශියක් සම්මන්ත්‍රණ පැවැත්වීම නවතා දමා එවැනි බලාගාර ඉදිකිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලකට යාමට තවමත් ප්‍රමාද වන්නේ මන්ද යන්න ගැටලුව කි.

අනිත් අතට විදුලියබල මණ්ඩලය ට කෝටි ගණනාවක් පොලු තියා ඇති දේශපාලන බලවතුන් ගෙන් ඒවා අය කර ගැනීමට හෝ විදුලිය විසන්ධි කිරිමට උත්සුක නොවන විදුලි ලොක්කන් රටේ පොදු ජනතාව ගේ විදුලියේ පොඩි ඇරියස් එකටත් රතු බිලක් එවා ඉනික්බිතිව විදුලිය විසන්ධි කිරීමට ඉමහත් උද්‍යෝගයක් දක්වන බව නොරහසකි .ඒ සියල්ලම ඉවසා වදාරන පොදු ජනතාව තව දුරටත් පීඩාවට පත්

කිරීමට කැස කැවීම අකටයුත්තකි.

අනිත් අතට විදුලිය උත්පාදනය සම්බන්ධව විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ආයෝජනය කිරීමට රජය ට ආර්ථික අපහසුතාවයන් පවති නම් ඒ සදහා පෞද්ගලික ව්‍යසායකයින් ට අවස්ථා ව දිය යුතුය .ඇතැම් ඊනියා දේශප්‍රේමි බලවේග තම දේශපාලන අරමුණ ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට සියල්ලටම විරුද්ධ වීමේ කලාව ප්‍රාගුණ්‍යය කර ගැනීම සදහා විදුලිය අර්බුදය  වේදිකාවක් කර ගැනීමට  තැත් කරයි නම්

එය ජනතාව ගොනාට ඇන්දවීමකි.මක් නිසා ද යත්  කවර තත්ත්වයක් යටතේ වුව විදුලිය බල සේවකයන් ගේ අයිතිවාසිකම් ආරාක්ෂා විය යුතු නමුත් එය මුවාවෙන් පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගෙන අඩු මුදලට විදුලිය සැපයීමේ ව්‍යාපෘති අහෝසි කිරීම ට  කිසියම් බලවේගයක් උත්සාහ කරයි නම් එය ආනන්තරීය පාප කර්මයකට සර්ව සම වේ.එහෙත් එම විසදුම් තාවකාලිකව පැලැස්තර පමණි.දැන් වහාම කළ යුත්තේ විදුලිය පිළිබඳව ජාතික සැලැස්මක් පිළියෙළ කිරීමය.එම ජාතික සැලැස්ම නිර්මාණය කළ යුත්තේ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මිස දේශපාලනඥයන් නොවේ.මෙහිදී වෙතත් රටවල් බල ශක්ති අර්බුදය විසදා ගත් ආකාරය පිළිබඳව අධ්‍යයනය කළ යුතුය .අප තවමත් විශ්වාසය තබන්නේ ජල විදුලිය ,තාප විදුලිය සහ ගල් අගුරු බලාගාර පිළිබඳව ය.ජල විදුලිය උපරිම ධාරිතාවය ට ගොස්  තිබේද යන්න නිවරැදි ලෙස තක්සේරු කළ යුතුය .අනිත් අතට තාප බලාගාර ක්‍රියාත්මක කරන්නේ ඉන්ධන දහනයෙනි.මේවා ට අති විශාල මුදලක් වැය වේ.ගල් අගුරු බලාගාර වල ක්‍රියාකාරිත්වය රදා පවත්නේ ගල් අගුරු සැපයීම මතය.යම් හෙයකින් ගල් අගුරු සැපයුම අඩාල වුවහොත්  විදුලි සැපයුම දිනකට පැය තුන හතරකට සීමා වනු ඇත .ඒ නිසා අප ඉදිරියේ ඇති විදුලිය බල අර්බුදය අතිශය බරපතළ ය.අප විසින් හදුනා ගත් විකල්ප බල ශක්ති ප්‍රභව තවමත් හුදකලාව කල් ගත කරන අතර අප  ඒවා දෙස බලන්නේ ප්‍රේතයන් සහ පිසාචයන් දෙස බලන ආකාරයට ය.

අපගේ විකල්ප බල ශක්ති ප්‍රභව මොනවා ද ?

1.සුළං බලය-මේ පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරීක්ෂණ පැවැත්වූ අතර එය සාර්ථක විය .එම පරීක්ෂණ සිදු කර වසර ගණනාවක් ගත වුවත් අප තවමත් සුළං බලාගාර ඉදිකිරීමේ මුල් අදියර පසු කළා පමණි .

2.රළ බලයෙන් විදුලිය නිපදවීම-මේ පිළිබඳව ප්‍රශස්ත ඇගයුමක් තවම කර නැත .

3.සූර්‍ය බලශක්තිය -මෙය කිසියම් ප්‍රගතියක් අත් කර ගෙන ඇතැත් එය කිසිසේත්ම ප්‍රශස්ත වර්ධනයක් නොවේ.මහා පරිමාණ ජලාශ මතු පිට සූර්‍ය පැනල එලීම කළ හැකි වුවත් අප තවමත් ඒ පිළිබඳව සිතා නැත .

4කුනු කසල භාවිතයෙන්  විදුලිය නිපදවීම.-මේ රටේ කුණු කදු ගොඩ ගැසෙන නමුත් ඒවායින් විදුලිය නිෂ්පාදනය කිරීම සදහා නිසි වැඩ පිළිවෙලක් නැත.බොහෝ රටවල් සිය විදුලි බල අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කුණු  කසල වලින් සපුරාලන බව අතිශයෝක්තියක් නොවේ.

විකල්ප බල ශක්ති භාවිතයේ දී අප තවමත් සිටින්නේ ගල් යුගයේ ය.

මේ සියල්ල මෙසේ සිදු වන අතර තුර අපට ඇති ලොකුම ප්‍රශ්නය විදුලි බිල වැඩි කිරීම සදහා ක්‍රමවේද සෙවීමය.ඒ පිළිබඳව වාද විවාද කරමින් කල් මැරීමය.අපේ රටේ ජන මාධ්‍ය වේදිකා  තනා දෙන්නේ විදුලි බිල වැඩි කිරිමට පක්ෂ සහ විපක්ෂ පාර්ශ්වයන් ට හිතේ හැටියට වාද විවාද කිරීමට විනා විකල්ප බල ශක්තිය පිළිබඳව හරවත් සංවාදයක් ඇති කිරීමට නොවේ.අපේ දේශපාලකයින් කෙතරම් ඉන්ද්‍ර ජාලික මායාවේ පැටලි ඇත්ද කිවහොත් ඉන්දියාවට පවා විදුලිය සැපයීම ට වරෙක පාරම්බෑවේය.එසේ උදම් අනිමින් සිටි අපට දිනකට පැය දෙක තුනක් අදුරේ සිටීමට සිදු වීම පරිහානික සමාජයක මග සලකුණු නොවේද?

~ එස් .එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *