චන්දයකට පෙර ජනතාවගේ අධ්‍යාත්මය ඇවිස්සීමේ ජඩ ලාංකීය දේශපාලනය

චන්දයකට පෙර ජනතාවගේ අධ්‍යාත්මය ඇවිස්සීමේ ජඩ ලාංකීය දේශපාලනය

288 views
2

වාද විවාද රැසක් මැද පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා  භාර ගැනීමේ දිනය ලබන 18 වන දා සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත.

පෙබරවාරී 18 වනදා සිට 21 වන දා දහවල් 12 දක්වා මෙම නාම යෝජනා භාර ගැනීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභා සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කර ඇත. නමුත් පළාත් පාලන මැතිවරණ උණුසුමත් සමග රට තුළ ආන්දෝලානාත්මක මාතෘකා වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙමින් පවතී.

මේ දිනවල නිතර ඇසෙන කියවන වචනය වී ඇත්තේ බුදු දහම අනතුරකට ලක්ව ඇති බවයි. දළදා මාලිගාව අපහාසයන්ට ලක් වන බවයි. මේ සිද්ධි අතර කැපී පෙනෙන සිද්ධියක් වනුයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ ගේ දළදා මාලිගාවට අපහාස කරමින් සිදුකරන ලද යයි කියන ප්‍රකාශය යි. මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ මෙන්ම සමාජය තුළ ද වාද විවාදයන්ට තුඩුදෙන හේතුවක් විය. ප්‍රතිඵලය සේපාල් අමරසිංහ අත්අඩංගුවට පත්වීමයි. මේ වන විට ඔහු සම්බන්ධව නඩු කටයුතු සිදු කිරිමෙන් පවතී.

සේපාල් අමරසිංහගේ ප්‍රකාශයේ උණුසුම වියැකී යන්නටත් පෙර නැවතත් දළදා මාලිගාව සම්බන්ධව සමාජ අවධානය වැඩියෙන් යොමු වෙන සිදුවීමක් සිදු විය. එහෙනම් කුරුණෑගල පොතුහැර, වදාකඩ ප්‍රදේශයේ ඉදිකරනු ලබන ව්‍යාජ දළදා මාලිගාවයි. මෙම සිදුවීම සඳහා මර්වින් ද සිල්වා නමැති බොදු ජනතාවගේ වීරයා ඉදිරිපත් වී සමථයකට ලක් කළා යැයි පැවසේ. මෙයද මේ වන විට වන විට සමාජයේ කතාබහට ලක් වී ඇත්තකි.මෙලෙස විවිධාකාරයෙන් දළදා මාලිගාව හා සම්බන්ධ සිදුවීම් මෙන්ම බුදු දහමට අපහාස කිරීමෙන් සිදු වෙතැයි පවසන ක්‍රියා සැබැවින්ම ආගමකට අපහාස කිරීමේ අරමුණකින් සිදු වන්නක් ද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුයැයි පැවසීම තර්කානුකුල වේ.

මීට වසර හතරකට පෙර එනම් 2019 වර්ෂයේ දී ද  අප්‍රේල් මසදී බොහෝ ජීවිත හානි මෙන්ම බරපතළ තුවාල, සුළු තුවාල ආදී රැසක් සමග කිතුනු භක්තිකයන් එල්ල කරමින් පල්ලි හා හෝටල් කිහිපයකද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සිදුවිය.ඒ හා සමගාමීව මුස්ලිම් ප්‍රජාවට කරදරකාරී කාලයක් ආරම්භ විය.සමාජය තුල මුස්ලිම් ප්‍රජාවට විවිධ අඩන්තේට්ටම් සිදු විය.එය අවසන ජාතිවාදී මානසිකත්වයක් සමාජය තුළ සැරිසරන්නට ද හේතු විය.  එම වර්ෂයේ අවසානයේ දී පැවති ජනාධිපතිවරණයෙ එක් පාර්ශවයක පොරොන්දු වූයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලූ  වැරදිකරුවන් අල්ලාගෙන ඉහලම දඬුවම් ලබා දෙන බවයි.ඉන් වසර හතරක් ගත වී ඇති නමුත් තවමත් වගකිවයුතු කිසිවෙකුත් දඬුවම් ලබා නොමැත.නමුත් පොරොන්දු වූවන් බලය භුක්ති විඳිමින් සිටිති.

මෙය 2023 වර්ෂය යි.ජනාධිපතිවරණයක් නොවුනත් පළාත් පාලන මැතිවරණයක් ළඟ ළඟම පැමිණේ.ඒ හා සමගම රටේ එක් ආගමකට විවිධ අඩත්තේට්ටම් වීමට පටන් පටන් ගෙන ඇත.එවැනි දේවල් වළක්වාගෙන ආගම ආරක්ෂා කිරීම සඳහා දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් කලඑළි බැස ඇත.මෙය සැබැවින්ම බුදු දහම සඳහා සිදුවෙන අපහාසයක්ද නැතිනම් මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයක් ද?මෙම පැනය සමාජ මාධ්‍ය ජාලා තුළ නිතරම ඇසෙන පැනයක් බවටද පත්ව ඇත.මෙතෙක් කාලයක් පුරාවට ටකරමකට, උළු කැට කිහිපයකට හා සිමෙන්ති උරයකට ඡන්දය හිඟා කෑමක් සිදුවිය.එක් පසෙකින් එම ක්‍රමය බස් එකක් දක්වා වැඩි දියුණු වී ඇත.තවත් පසෙකින් ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත් සංවේදී වන ආගම,ජාතිය හා සංස්කෘතිය වැනි සංවේදී නිල අල්ලා ගෙන ඇත.මෙම අවස්ථාවේදී ජනතාව නැටවීම උදෙසා තදින්ම අල්ලාගෙන සිටින නිලය ආගම ද?

එකම නාට්‍යයේ තවත් පිටපතක්  අලුත් නළුවන් පිරිසක් විසින් රඟදක්වමින් සිටී.     2019 වර්ෂයේ දී 69 ලක්ෂයකින් රැවටුනා සේම 2023 වර්ෂයේ දී අප අපවම රවටා ගත යුතුද? මැතිවරණයක් සමගම පුරුද්දක් ලෙස ආගමක්, ජාතියක් සංස්කෘතියක් තර්ජනයකට ලක් වීම නැවත නැවතත් ප්‍රශ්න කරමින් තර්කානුකූලව සිතා බැලිය යුතු කරුණකි.සේපාල් අමරසිංහ හා ජානක සේනාධිපති දළදා මාලිගාවට අපහාස කිරීමේ හා අනුරූ තැනීමේ චරිත ලෙස රඟපාමින් සිටින විට තවත් පිරිසක් බුදු දහම අනතුර යැයි මහ හඬින් කෑ ගසමින් සිටී.  බුදු දහම ආරක්ෂා කළ යුතු ම යැයි තරයේ පවසමින් උපරිම රංගන දායකත්වය ලබා දෙයි. තිරය පිටුපස සිටින්නා වූ පිරිසද ඔවුන්ගේ භූමිකාව රඟ දැක්වීමට පටන් ගෙන සිටී.එනම් ඔවුන්ගේ එකම පරමාර්ථය ආගම රැක ගැනීමත් එයට සිදුවුන සියලු අපහාසයන් ගෙන් එය බේරා ගැනීම එකම පරමාර්ථය බවත් ජනතාවට ඒත්තු ගැන්වෙන ආකාරයේ ක්‍රියා වල නිරත වීමයි. .මෙය බෞද්ධ ආගමිකයින් කුපිත කර වීමෙන් පමණක් නවතින ක්‍රියා පිළිවෙලක් වේවිද?

බුදු දහම බේරා ගත යුත්තේ ආගම ඉත්තෙක් කරගනිමින් ඡන්ද හිඟා කන ජඩ දේශපාලකයින්ගේ සහ ඔවුන්ගේ පිටපතට රංගන දායකත්වය ලබාදෙන අනෙකුත් නළුවන්ගෙන් ද වේ.

~ අරවින්දි ප්‍රමෝද්‍යා ~

Comments
  • S.A. dinuka lakshan#1

    January 11, 2023

    අමුතුවෙන් කියන්න දෙයක් නැ ඉතින් මට නම් අති විශිෂ්ඨ රංගන හැකියාවගෙන් පරිපුර්ණ වු පිරිසක් රංගනය තුල යෙදෙ මෝඩ ලාංකික වැසියා විශේෂයෙන්ම සිංහල ඇයො රංගනය බලා අනෙ සාදු මේ උතුම් උත්තමයන් රටට අවැසි යනුවෙන් කියාවි. දේශපාලන සාක්ෂරතාවය ප්‍රශ්නයක් සැබැවවටම තියෙනවා එහි අගය මොනවට පැහැදිලි කරාවි ඉදිරියෙදි සාක්ෂි සහිතව ආගම ජාතිය මේ දෙක දේශපාලනය තුල ඉත්තන් බව හොදින් අවබෝධ කරගත යුතුය ආගම යනු පුද්ගලයාගෙ අධ්‍යාත්මික සංවර්ධන සහ වර්තමානයෙ සතුටින් යහපත් ව ජිවත් විමට මිස යම් යම් දෙවල් අහිප්‍රේරණය කරන්නක් නොව 🤜😎

    Reply
  • Ranjuka#2

    January 10, 2023

    Superb…🔥

    Reply

Leave a Reply to S.A. dinuka lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *