
පාර්ලිමේන්තු වටරවුමේ “පත්වීමක්” ඉල්ලා සටන්කරන පිරිස් ඇත්තට ම ඉල්ලන්නේ කුමක් ද?
අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් සංවිධාන පවසන පරිදි වත්මන් ආණ්ඩුව රැකියා විරහිත උපාධිදාරීන් වෙත බලයට පත්වීමට පෙර “රැකියා” ලබාදෙන බවට පොරොන්දු ලබා දී තිබේ ද? රැකියාවක් පොරොන්දුවක් මත පදනම්ව ලබාදීමට නම් ඊට සුදුසු රික්තකයන් ශ්‍රී ලංකාවෙ රැකියා වෙළඳපොළ තුළ පවතින්නේ ද?
ඔබත් මමත් හොඳින් දන්නා කරුණක් නම් පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ “රැකියාවක්” ලබා ගැනීමට උපාධියක් සම්පූර්ණ කිරීම යන පදනම මත පමණක් ප්‍රමාණවත් නොවන බව. ඊට සුදුසුකම් සම්පූර්ණ කරමින් අයදුම්පත් යොමු කරමින් මෙන් ම ඉන් පසුත් සම්මුඛ පරීක්ෂන හෝ ඇතැම් විට තරඟ විභාගයන්ට මුහුණ දෙමින් තමන්ගේ හැකියාව සහ සුදුසු බව තහවුරු කිරීමට යම් උත්සහයක් දැරිය යුතු බව. නමුත් මෙම පිරිස ප්‍රකාශ කරන්නෙ ඔවුන්ට එවැනි උත්සහයන් දැරීමට නොහැකි බව හෝ එවැනි උත්සහයන්ගෙන් අසමත් වූ නිසාවෙන් කිනම් හෝ පත්වීමක් ලබාදීම රජයේ යුතුකම බව ද? එසේත් නැතිනම් උපාධියක් සම්පූර්ණ කරන තුරු මහජනතාවගේ බදු මුදල්වලින් නිදහස් අධ්‍යාපනයක් ලබා දෙමින් පෝෂණය කර ඉන්පසු රැකියාවක් ලබාදී ඔවුන් නඩත්තු කිරීම රජගේ සහ රාජ්‍ය පරිපාලනයේ යුතුකම බව ද? මොවුන්ගේ ඉල්ලීම වූ නිශ්චිත රාජකාරියක්, වගකීමක් හෝ සේවා ස්ථානයක් නොමැති හුදෙක් ම පිං පඩියකට පුටු රත්කිරීමට පමණක් ඇති “පත්වීම්” ලබාදීම් පසුගිය කාලවකවානු සුලභව ලබාදී ඇති බව සත්‍යය. එයින් රාජ්‍ය සේවාවන් දූෂිත සහ කල්මරණ සේවාවන් බවට පත්වී ඇති ආකාරය ද සෑම පුද්ගලයෙකුම පාහේ අත්විඳ ඇති බව ද විශ්වාසය.
යම් පක්ෂයක් හෝ පුද්ගලයෙක් තමන්ට රැකියා අවස්ථාවක් ලබාදේවි යන බලාපොරොත්තුව මත තමන්ගෙ අයිතියක් වූ ඡන්දය භාවිතා කර ඉන්පසු තම අභිප්‍රායන් ඉටු නොවීම හේතුවෙන් ඉල්ලිම් වෙනුවෙන් ගැටීම තෝරගන්නා ඔවුන් සැබවින්ම එම කාලය තුළ තමන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් වඩ වඩාත් වර්ධනය කරගනිමින් ඔවුන්ගේ අරමුණ වූ රැකියා සිහිනය වෙත යොමු වූවානම් මෙම ගැටුම් සැබවින් ම මීටවඩා ඵලදායි ලෙස නිරාකරණය වීමට ඉඩ කඩ ඇති බව පැහැදිලි ය.
උපාධියක් සම්පූර්ණ කර රජයේ විශ්වවිද්‍යාලයකින් පිටත්වන විටම බන්දේසියක තබා රැකියාවක් ලබාදිය යුතු බවට නියමයක් , නීතියක් ලංකාවේ හෝ වෙනත් කිසිදු රටක නොමැතිබව සඳහන් කළ යුතු අතර විශ්වවිද්‍යාලයකින් ඉවත්වන විට ම කෙටි කාලයක් තුළ රැකියා අවස්ථා හිමිවන්නෙ ඔවුන් සතු හැකියාවන් සහ දක්ෂතාවයන් මත පදනම් ව බැවින් ගැටුමට පෙර තමන් සුදුස්සෙකු වීමට ක්‍රියාකල යුතු ආකාරය සියලු උපාධිදාරීන්ට විෂයක් ලෙස හෝ ඉගැන්විය යුතු ය. අවම වශයෙන් ඉගෙනගත් විෂය අනුව රැකියාවක් නොමැති නම් රැකියාවකට යොමුවිය හැකි විෂයක් ඉගෙනගැනීමට උපාධිධාරී මොළ මෙහෙයවීමට ඔවුන් උත්සුක විය යුතු ය.