අපේ මිනිස්සු කතන්දර ඇසීමට ආශාවක් දක්වති .කතන්දර ගෙතීමටත් ආශාවක් දක්වති .අපේ පොලිසියේ ඇතැම් නිලධාරීන් ද කතන්දර ගෙතීමට මනා දක්ෂතාවක් දක්වයි. අත් අඩංගුවට ගන්නා සැකකරුවන් බෝම්බ පෙන්වීමට පොලිසිය සමග යයි.අතර මගදී සැකකරු පොලිසිය දෙසට අත් බෝම්බයක් විසි කරයි.පොලිසිය ආත්මාරක්ෂාව සදහා වෙඩි තබයි.සැකකරු එම වෙඩි පහරින් මිය යයි.
පොලිසිය ,සැකකරුවකු ආයුධ පෙන්වීමට රැගෙන යයි.සැකකරු අතර මගදී ජීප් රියෙන් පැන පොලිසිය දෙසට වෙඩි තබා දිව යාමට උත්සාහ කරයි.පොලිසිය ආත්මාරක්ෂාව සදහා වෙඩි තැබීම නිසා සැකකරු එම ස්ථානයේදීම මිය යයි.
පුදුමය නම් පොලිසිය සැකකරුවන් ගෙනි යන්නේ මාංචු ගලවාගෙනය.එය එසේ නොවන්නේ නම් සැකකරුවන් මාංචු පිටින් ම පොලිසිය ට වෙඩි තබයි: බෝම්බ ගසයි. මේ කවර නම් ප්‍රාතිහාර්යයක් ද ?
පොලිසිය භාරයට ගන්නා සැකකරුවන් ගේ ජීවිතය පිළිබඳව වගකීම ඇත්තේ පොලීසියට ය.පුද්ගලයකු පොලිස් අත් අඩංගුවේ දී මිය යා හැක්කේ එම පුදගලයා අසාධ්‍ය රෝගයකින් පෙලුනහොත් පමණි .එහෙත් එම මරණය සිදු විය යුත්තේ පොලිසියේදි නොව රෝහලේ දී ය. බොහෝ කලාතුරකින් හිටි වනම බලවත් ලෙස රෝගාතුර වී පොලිසියේ දී මිය යා හැක. එහෙත් එයට ද සාධාරණ හේතුවක් තිබිය යුතුය .
පොලිසිය ට දී ඇති බලය වූ කලී අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කර චෝදනා තිබේ නම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමය.
පොලිසිය ට නඩු විභාග කර හෝ නොකර සැකකරුවන් ට දඩුවම් කළ නොහැකි ය. පොලිසිය එසේ කරනවා නම් එය අධිකරණය ට කරන අපහාසයක් වේ.සැකකරුවන් පොලිසිය භාරයේ සිටින විට පොලිසිය වෙත විශාල වගකීමක් ඇත. ඒ වෙන කිසිවක් නොව සැකකරුවන් ගේ ජීවිතය ආරක්ෂා කිරීම ය.පාසල වෙත උදේ යන දරුවා සවස ගෙදර ආ යුත්තේ ද දෙපයින් මිස රෝද පුටුවෙන් නොවේ. පොලිසිය ට ගෙන යන සැකකරුවන් ද නැවත ගෙදර ආ යුත්තේ දෙපයින් මිස මිනීපෙටිටියෙන් නොවේ.
එහෙත් අපේ රටේ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් පොලීසියෙන් නැවත ගෙදර එන්නේ කෙසේ යන්න සිහි බුද්ධියක් ඇති හැම දෙනාම දනිති . අත් අඩංගුවට ගන්නා සැකකරුවකු පිළිබඳව පොලිසිය භාරකරුවකු වේ.භාරකරුවන් වන පොලිසිය සැකකරු ගේ නිවසට භාර දිය යුත්තේ අත් අඩංගුවට ගන්නා අවස්ථා වේ හිටි තත්ත්වයෙන්මය.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව කිසිදු සැකකරුවකු කෲර අමානුෂික වධ හිංසා වලට ලක් නොකළ යුතුය. තවද මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ ද සදහන් වන්නේ කිසිදු පුද්ගලයකු කෲර අමානුෂික වධ හිංසා වලට සහ දඩුවම් වලට ලක් නොකළ යුතු බවයි .ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය ආසියානු කලාපීය මානව හිමිකම් සම්බන්ධ කීර්තිමත් ආයතනයක් වන අතර එහි දර්ශක වලට අනුව මෙරට පොලිස් අත් අඩංගුවට පත් වූ පුද්ගලයන් වධ හිංසා වලට ලක්වීම පිළිබඳව රතු එලියක් දැල්වේ.වෙනත් මානව හිමිකම් දර්ශක වලට අනුව ද ශ්‍රී ලංකාව සිටින්නේ පසුගාමි අවස්ථාවක ය.
මෙම වධ හිංසනය සිදු වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 11 වන ව්‍යවස්ථාව ට අනුව කිසිදු පුද්ගලයකු කෲර අමානුෂික වධ හිංසා වලට ලක් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යන්න පැහැදිලිව සදහන් කර ඇති පසුබිමකය.
පොලිසිය ට ගෙන යන සැකකරුවකු නැවත නිරුපද්‍රිතව ගෙදර එනවා ද යන්න සැක සහිත බව ට සැකකරුවන් ගේ සමීපතමයන් අධිකරණයේ රිට් පෙත්සම් ගොනු කරන්නේ අතීත අත්දැකීම් නිසා ය. මේ සියල්ලම ඉතා බරපතළ කරුණු වන අතර ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම අසීමාන්තික ලෙස උල්ලංඝනය කිරීමක් වේ.
මෙම කරුණ සම්බන්ධව මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය පුද්ගලයන් ගේ ජීවිතය පිළිබඳව ලබා දුන් ඉතා වැදගත් නඩු තීන්දුව කි.
පොලිස් අත් අඩංගුවේ දී ඝාතනය වූ මොහොමඩ් ඉර්ෂාන් නම් පුද්ගලයකු පිළිබඳව ඔහු ගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ ව පොලිස්පතිවරයා ට නියෝග කළේ පොලිස් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සදහා සුදුසු චක්‍රලේඛයක් සහ මාර්ගෝපදේශ මාලාවක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ය. ඒ අනුව පසුගියදා එම චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ මාලාව පොලිස්පතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී .ඒ අනුව පොලිස් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් ගේ ජීවිතය පිළිබඳව පොලිසිය වගකීම භාර ගත යුතුය .මෙහි සරල අරුත නම් පොලිස් අත් අඩංගුවට ගන්නා කිසිදු පුද්ගලයකු මියයාම සිදු නොවිය යුතුය යන්නය. මෙය මේරටේ මානව හිමිකම් පිළිබඳව අධිකරණය ලබා දුන් අතිශය වැදගත් නඩු තීන්දුව කි. මෙය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍යය සතු වගකීමක් වන අතර එම වගකීමෙන් බැහැර වීමට කිසිදු මාධ්‍යයකට නොහැකි ය.
එස් .එම්.ජයසූරිය