බඩට බත් නැති රටක “උපාධි ගැටුම”

බඩට බත් නැති රටක “උපාධි ගැටුම”

29 views
0

ක්‍රම වෙනසක් බලාපොරොත්තුවන රටකට අවශ්‍ය දියුණු ආකල්පයන් සහිත පාලනයක් ද, නැතිනම් ගොඩගසාගත් අධ්‍යාපන සුදුසුකම් සහිත නායකත්වයක් දැයි විමසිය යුතු සමයක නව රජය මේ දිනවල තවත් එක් අභියෝගයකට මුහුණදෙමින් සිටිනවා. පිටරටින් ආනයනය කරන සහල් තොග හෝ පාලනය කළ නොහැකි පොල් මිල හෝ විසඳුම් නොමැති වන සත්ව හානිවලටත් වඩා ඉහළින් මේ නැගී එන්නෙ ආචාර්‍ය, මහාචාර්‍ය, වෛද්‍ය සහ අධිනීතීඥ ගැටලුවයි. නව අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්නකරමින් පාර්ලිමේන්තුව තුළින් ම නැගී එන මෙම විරෝධය මේ වන විට අනෙකුත් දේශපාලන පක්ෂ සහ ඔවුන්ගේ අනුගාමිකයන් දියත්කරන මඩ ප්‍රහාර බවට පත්වී ඇති බව පැහැදිලියි. මූලිකව ම හිටපු කථානායක අශෝක රන්වලගේ ආචාර්‍ය උපාධියෙහි සත්‍යතාවය ප්‍රශ්නකරමින් ඇරඹුණු මෙම ප්‍රශ්න කිරීම් මේවන විට ආණ්ඩු පක්ෂයෙන් නොනැවති සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් ප්‍රශ්න කිරීමක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
මෙහි යහපත් මෙන් ම අයහපත් භාවිතයන් කිහිපයක් ඇතිබව, අපක්ෂපාතීව විමර්ශනය කර බලනාවිට පැහැදිලි වන අතර ම මෙතෙක් කල් බලපැවැත්වුණු දූෂිත දේශපාලනය හමුවේ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව වෙත පැමිණියේ සුදුකම් කෙසේ වෙතත් ඉතා අපහසුවෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළ පිරිසක් වීම මීට පෙර මෙවැනි උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විමර්ශනය නොකිරීමට ප්‍රධාන හේතුවක් වුණා. එසේ ම ජනතාව සතුව ප්‍රශ්න කිරීමේ බලයක් ඇතිබව වටහාගැනීමට මජර දේශපාලකයන් ඉඩකඩක් නොදි තිබීමත් මේ හා සාපෙක්ෂව සලකාබැලිය යුතු එක් විශේෂ කරුණක් වනවා. නමුත් මෙම ගැටලුව උත්සන්නව ඇත්තේ ප්‍රධානව ම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සහ සමාජ මාධ්‍ය තුළ ඔවුන් තමන් සතුව නොමැති අධ්‍යාපන සුදුසුකම් දක්වමින් මහජනයා මුලා කොට තිබීම නිසාවෙන් බව පැහැදිලි වෙනවා. එසේ ම මෙහි හාස්‍ය උපදවන කරුණ නම් කවදා , කෙලෙස, කොහොම උපයා ගත්තේ දැයි අදටත් සැකසහිත අති විශේෂ ගණයේ අධ්‍යාපන ජයග්‍රහන හිමි යැයි හඳුන්වාගත්, ජනතාවගේ අවධානයෙන් සැඟව සිටීමට උත්සහ දැරූ ප්‍රතික්ෂේපිත දේශපාලන පක්ෂයන්හි සමාජිකයින් සහ ලොව ජයගත් වීර පුතුන් මෙම ගැටලුවේදී මහා හඬවල් බවට පත්ව තිබීමයි.
මෙම ගැටලුව මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සෙ ප්‍රවෘත්තීන් මවන රැල්ලක් බවට පරිවර්තනය වෙමින් අශෝක රන්වල, නලින්ද ජයතිස්ස, අනුර කරුණාතිලක, හර්ෂ නානායක්කාර, රිස්වි සාලි , අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යන අමාත්‍යවරුන් මෙන් ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අජිත් පී. පෙරේරා,චමින්ද්‍රානි කිරිඇල්ල , කාවිංග ජයවර්ධන සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් සතු සුදුසුකම් පිළිබඳව ද ප්‍රශ්නකරමින් පවතිනවා. නමට පෙර යොදන විශේෂණ පදයක් මූලික කරගනිමින් මෙලෙස ගැටුම් ඇතිකරගන්නවා වෙනුවට මෙයින් විනෝදයක් හෝ රටේ අනෙක් මූලික ගැටලුවලට ඇති අවධානය වෙනත් අතකට හැරවීමෙ යම් යම් පිරිස් උත්සහ දරන්නෙ ද යනවඟ සොයාබැලීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් බව පැහැදිලිවනවා.

අධ්‍යාපනයමෙන් ම වෙනත් වෘත්තීය සුදුසුකම්වලින් ආඪ්‍ය වීම මත ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ හැකියාව වැඩි බවට විවෘත වේදිකාවල අදහස් දැක්වූ කාලවකවානුවේදී වත්මන් රජය මෙවැනි ගැටලුවක් සහිත අනාගතයක් නොදකින්නට ඇතිබව ස්ථිරයි. එසේ ම ජනතා විමුක්ති පෙරමුණෙහි නියෝජනයක් වුවත්, එහි පදනම ව පැවති වාමාංශික දේශපාලනයෙහි හැසිරීම අමතක කොට මෙලෙස ක්‍රියාකිරීම ජාතික ජන බලවේගයෙහි පැවැත්ම පිළිබඳවද ප්‍රශ්න කිරීමක් කළයුතුව තිබෙනවා. නිර්ධන පන්තිය වෙනුවෙන් කැපකිරීම් කරමින් තමන් හදාරමින් සිටි වෛද්‍ය උපාධිය අතරමගදී අහිමි වූවත් ඉන් නොසැලී සටන්කළ නායකත්වයකින් පැවත එන ඉතිහාසයක් හිමි වත්මන් රජයට අධ්‍යාපන මට්ටම උලුප්පා දක්වමින් අවධානයක් ලබාගැනීමට අවශ්‍ය නොවන බව වටහාගැනීම අත්‍යාවශ්‍ය කරුණක්. එසේ ම ජනතාව වෙනුවෙන් කැපවීමේ උනන්දුව සහ අවශ්‍යතාවය ගොඩනැගෙන්නේ විශ්වවිද්‍යාල හෝ නීති විද්‍යාල තුළින් නොවන බවත් එය හදවත මූලික කොටගත් ආකල්පමය උනන්දුවක් බවත් වටහාගැනීම සමස්ත දේශපාලන තන්ත්‍රයේම පැවැත් ම තීරණය කරන සාධකයක් වනු ඇති අතරම පවතින රජයත් ඇතිවී ඇති වත්මන් තත්වය බුද්ධිමත්ව වටහා ගෙන ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් තම කාලය වෙන්කළ යුතු බව සිහි එලවා ගත යුතු වෙනවා.

Your email address will not be published. Required fields are marked *