අපයෝජනයේ මහගෙදර

අපයෝජනයේ මහගෙදර

214 views
0

මෙම වසරේ මුල් කාර්තුවේ ළමයින් සම්බන්ධ අපරාධ පැමිණිලි 2800 කට අධික සංඛ්‍යාවක් පොලිසිය ට ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 2022 වසරේ ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සිද්ධි අසූවට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේවා හුදෙක් අපරාධ පිළිබඳව වාර්තා ලෙස නොසලකා හැරීමට ඇති දත්තයන් නොව වත්මන් පාරිහානික සමාජය පිළිබඳව මනා දර්ශකය කි. මෙහි ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ කළුතරින් ය. කළුතර හෝටලයේ ඉහළ මාලයෙන් පැන්න හෝ තල්ලු කරන ලද දහසය හැවිරිදි දැරිය පාසල් ශිෂ්‍යාවකි. මෙවැනි සිද්ධියක් වාර්තා වූ වහාම තලු මරමින් එය රසවිදීමටත් එය ගැන පිටු ගණන් ලිවීමටත් රූපවාහිනී නාලිකා වල රේටිං වැඩි කර ගැනීම ට එම අපරාධය වස්තු විෂයය කර ගැනීමත් යන මේ සියල්ල ජුගුප්සාජනකය. එතකින් නොනැවතී වින්දිත දැරියගේ පැටිකිරිය පිළිබඳව රස කතා මවා පාඨක ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමේ අනවරත ආශාවද කුපාඩි සහ පාදඩ ආශාවකි.
මෙම සමාජයේ යොවුන් දරු දැරියන් මෙතැනට ඇද දැමීමේ පාප කර්මය ට රජයද, රජයේ වගකිවයුතු බලධාරීන් ද ඇතැම් දෙමාපියන් ද ඇතැම් ටියුෂන් ගුරුවරුන් ද ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යය ද අඩුවැඩි වශයෙන් මුළුමහත් ලාංකීය සමාජයද වගකිවයුතු ය. එපමණක් ද නොව ළමයින් ගේ අයිතිවාසිකම් පිළිබඳව පෙනි සිටින ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ද මේවා ට වගකිවයුතු බව පවසන්නේ අතිශය වගකීමෙන් යුතුවය. ලාබාලම වයස් කාණ්ඩ වල දරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් මත්පැන් සහ මත්කුඩු සදහා ඉතා තදින් ඇබ්බැහි වී ඇති බව ප්‍රසිද්ධ රහසක් වේ.යොවුන් වියේ දැරියන් පවා මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති අතර එය වරදක් නොවන බව ඔවුහු විශ්වාස කරති. විශේෂයෙන් ඇතැම් පෞද්ගලික ටියුෂන් ගුරුවරුන් ගේ මඟපෙන්වීම මත සංවිධානය කරන විනෝද චාරිකා සහ සාද වලදී ගැහැනු දරුවන් පවා මත්පැන් පානය කරන බව නොරහසකි. දෙමාපියන් ලබා දී ඇති නිදහස අයුතු ලෙස යොදවා ගැනීමට ළමුන් පොළඹවා ගන්නේ සමහර ටියුෂන් ගුරුවරුන් බව බොහෝ සිද්ධි වලින් අනාවරණය වේ. මෙසේ ළමයින් ට fපන් එක ලබා දීම හරහා වැඩි ළමුන් සංඛ්‍යාවක් තම පංතිය වෙත ආකර්ශනය කර ගැනිම ඔවුන් ගේ අභිප්‍රාය වේ.

වයස අවුරුදු දෙකේ තුනේ පොඩිඑකාට පවා තමන් ගේ ජංගම ස්මාර්ට් දුරකථනය අතට දී ඔවුන් ට රිසි සේ එය හසුරුවීමට ඉඩ දී බලා සිටින නරුම දෙමාපියන් ද සිසුවෙකු ගේ විනය විරෝධී ක්‍රියාවකදී එයට දඩුවම් කර අවවාද කරන ගුරුවරයා සොයා ගෙන රෙද්ද උස්සා ගෙන පාසලට දුවන දෙමාපියන් ද ගුරුවරයා විසින් ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යනුවෙන් චෝදනා කරමින් මවුපියන් උසි ගන්වන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානද වත්මන් ඛේදවාචකයට වගකිව යුතුය. ළමුන් ගේ විනය විරෝධී ක්‍රියාවකදී එයට අවවාද කරන ගුරුවරුන් ළමුන් ගේ අයිතිවාසිකම් කඩ වන බවට මහ හඬින් දොඩවන මෙම සංවිධාන ළමුන් අපයෝජනය ට ලක් වූ විට මුනිවත රැකීමෙන් ගම්‍ය වන්නේ ඔවුන් ගේ නිරුවත ය. අපයෝජනයට පත් වූ දරුවන් ගේ උල්ලංඝනය වන්නේ අයිතිවාසිකම් නොවේ නම් අහවල් එකදැයි ඇසීමට අපට සිදු වේ.

අනිත් අතට අප ගේ බොහොමයක් ජනමාධ්‍ය මේ වන විට ඉපදී සිටින දරුවන් ගේ පමණක් නොව ඉපදීම ට සිටින දරුවන් ගේ පවා හිරි ඔතප් බිද අවසන් ය. රියැලිටි වැඩසටහන් ඔස්සේ ඔවුන් මේ සිදු කරන්නේ එම ක්‍රියාවලියයි.මේ සියල්ල මෙසේ සිදු වන අතර ළමයින් ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමේ වගකිවයුතු යුතු බලධාරීහු මුනිවත රකිති.
අපේ රටේ අනාථ ළමයින් සදහා පිහිටුවා ඇති ආයතන වලින් බහුතරයක් ළමයින් ගේ රැකවරණය ට සුදුසු නොවන ආයතන වේ. එවැනි ආයතන තුළ සිදුවන අපයෝජන සිදුවීම් ගණනාවක් පසුගිය සමයේ සිදු විය. තමන් අපයෝජනය වන බව දැන දැනත් සමහර දරුවන් නිහඬව සිටින්නේ ඇතැම් විට එම ආයතන වල ලොක්කන් ද හවුල් වී මේවා සිදු කරන බව දන්නා නිසා ය.

අනිත් අතට අපගේ ආගමික සංස්ථාවේ ඇතැම් පූජකවරුන් ට එරෙහිව අපයෝජන චෝදනා එල්ල වී ඇත .සමහර පන්සල් වල සාමනේර භික්ෂූන් වහන්සේලා අපයෝජනය ට සහ අපහරණය ට ලක් වන බව නොරහසකි . එවැනි සිදුවීම් දෙකක් පසුගිය සතියේ වාර්තා විය . එහෙත් මේවා පිළිබඳව සමහර ආගමික පූජකවරුන් එළිපිට කතා කිරීමෙන් වැලකී සිටින බව පිළිගැනීම ට සිදු වී ඇත. නිදහසින් පසු වසර හැත්තෑ පහක් ගත වූ තැනද අප සිටින්නේ ළමයින් අපයෝජනය කිරීම සාමාන්‍යකරණය වී ඇති සමාජයක නොවේ ද? පෙර පාසලෙන් ද දහම් පාසලෙන් ද, ඉන්පසුව පාසලෙන්ද ධර්මය උගන්වන මේ රටේ අපයෝජනය සදහා පුළුල් අවකාශයක් ඉතිරිව ඇත්තේ පාරිහානික පසුගාමී ධනවාදී සමාජයක එය පොදු සාධකයක් නිසා ය. එහෙත් මෙවැනි සමාජයක වුවද අපයෝජනය ට ඉඩ දී බලාගෙන සිටීම නිශ්ඵල වන අතර මේ පිළිබඳව සමාජ කතිකාවක් ඉක්මනින් ඇරඹීම කාලීන අවශ්‍යතාව කි.

එස්.එම්.ජයසූරිය

Your email address will not be published. Required fields are marked *