“සීසර් මහත්හොරෙක් ” නොහොත් ගමේ චණ්ඩි ස්ටැන්ලි

“සීසර් මහත්හොරෙක් ” නොහොත් ගමේ චණ්ඩි ස්ටැන්ලි

261 views
0

පරිභෝජනවාදී සමාජයක් තුළ මිනිසුන් ගේ අසීමිත ආශාවන් තෘප්ත කර ගැනීමට ඔවුන් විසින් විවිධ ක්‍රමවේද අනුගමනය කරන බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා සිය “ධර්මිෂ්ඨ සමාජය”නම් කෘතියේ සදහන් කළේය. “එම කෘතියෙන් ඔහු අසුවේ දශකයේ ජේ ආර් ගේ  ඊනියා ධර්මිෂ්ට සමාජය නිර්දය ලෙස විවේචනය කිරීම නිසා මහාචාර්ය සරත්චන්ද්‍රට  කුණු කාණුවක පවා ලැගීමට සිදු විය. විවෘත ආර්ථිකයේ ඉතා ජුගුප්සාජනක මොඩලයක් මේ රටේ එදා සිට අද දක්වාම ක්‍රියාත්මක වේ.එය ලිබරල් චින්තනයේ හෝ නව ලිබරල් චින්තනයේ අතිශය පාරිශුද්ධ ආර්ථික න්‍යායක් නොව අතිශය දූෂිත මාපියාවක් විසින් මෙහෙයවන දූෂිත ධනවාදයේ ගුප්ත මුහුණුවර කි.මේ දූෂිත මාපියාව විසින් සරත්චන්ද්‍රයන්  ට පහර දී එදා කුණු කාණුවක ට තල්ලු කළ අතර අද එම දූෂිත මාපියාවේ ගොදුරු බවට පත්වන හුදී ජනයන්  ඇතැම් විට ගෙදර එන්නේ මිනිපෙට්ටියකින් ය.නැත්නම් හතරගාතයෙන් ය.

එසේ මිනිපෙට්ටියකින් හෝ හතරගාතයෙන් ගෙදර එන එක් කණ්ඩායමක් වන්නේ ලීසිං දමා වාහන ලබා ගත් අයවලුන් ය.ඒ “සීසර් මහත්වරුන්”ගෙන් හොද  හැටියට ගුටි කාලාය. මේ රටේ රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවය ට කිසියම් පුද්ගලයකු බදවා ගන්නා විට අධ්‍යාපන සහතික ද චරිත සහතික ද ඇතැම් විට පොලිස් වාර්තා ද සම්මුඛ පරීක්ෂණයේදී විමසා බලයි. ත්‍රාඩයන් ,අපරාධ කරුවන් ,මංකොල්ලකරුවන් හෝ මිනීමරුවනට රැකියා දොරටු විවෘත නොවන බව සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් පුදුමයට කරුණක් නම් අප රටේ ත්‍රාඩයන් ඇතුළු උක්ත සදහන් කරන ලද සියලුම කාණ්ඩයේ අපරාධකරුවන් ට රටේ ඇතැම් ලීසිං කොම්පැනි වල පාර්ට් ටයිම් ජොබ් විවෘත ව පැවතීමයි.ඒ අතරින් එක් පාර්ට් ටයිම් ජොබ් එකක් වන්නේ වාහන ඉස්සීමයි.සාමාන්‍යයෙන් වෙනත් රටවල රැකියාවකට බදවා ගන්නේ මහත්වරු සහ නෝනලාය.එහෙත් අපේ රටේ මූල්‍ය සමාගම් වලට ත්‍රාඩයන් ද බදවා ගනී.ඒ ත්‍රාඩයන් ද මහත්තරු ලෙස බෞතීස්ම කර සීසර්වරු ලෙස බදවා ගන්නා නිසා පොදු ජනතාව ද සිතන්නේ ඔවුන් මහත්වරුන් ලෙස ය.

වාහන ලීසිං එකක් වාරික එකක් හෝ දෙකක් ඇරියෂ් වුවහොත් ලීසිං පහසුකම් ලබා ගත් පුද්ගලයන් තමන් ගේ කේන්දරය බලා ගැනීම හොදය.ඒ තරමටම අපේ සීසර්වරුන්  යහපත් ය.විශිෂ්ඨ ය.මහමග දී ලීසිං ඇරියස් වාහනය හොදින් හෝ නරකින් පැහැර ගැනීම මේ සීසර් මහත්වරුන් ට කජ්ජක් නොවේ.මහඋළුගෙදර  දෙතුන් වතාවක් නේවාසිකව ගත කර තිබීම සීසර්වරුන් බදවා ගැනීමේ අමතර සුදුසුකමකි.

මේ සීසර්වරුන් ගේ වීර වික්‍රමාන්විත ක්‍රියාවක ප්‍රථිපලයක් වූයේ මෙරට වෘත්තීය සමිති ක්‍රියාධරයකු  මිනී පෙට්ටියෙන් ගෙදර පැමිණීම ය. එසේ ජීවිත බිලි ගැනීමට තරම් සාහසික මේ සීසර්වරුන් ට ඇතැම් මූල්‍ය සමාගම් වල රැකවරණය මැනවින් ලැබේ.

කල්බදු පනතේ ප්‍රතිපාදන වලට අනුව කල්බදු  වාරික ගෙවීම පැහැරහැර ඇතිනම්  වාහනයේ සන්තකය නැවත කල්බදු සමාගම ට ලබා ගත හැකි ය.එහෙත් ඒ සදහා අදාළ මූල්‍ය සමාගම මුලින්ම පොලිස් ස්ථානය ට ගොස් ඒ පිළිබඳව දැනුම් දිය යුතුය .ඉන් පසු කල්බදු ගැනුම්කරුගේ නිවසට යායුත්තේ පොලිස් නිලධාරීයකු සමග ය.මූල්‍ය සමාගම හෝ සමාගමේ නියෝජිතයා පොලිස් නිලධාරීයා ඉදිරියේ දී වාහනයේ සන්තකය නැවත ලබා දෙන ලෙස කල්බදු ගැනුම්කරුට දැනුම් දිය යුතුය .එහෙත් කල්බදු ගැනුම්කරු වාහනයේ සන්තකය නැවත භාර දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් කල්බදු සමාගමට ,කල්බදු ගැනුම්කරුට පහර දීමට ,තර්ජනය කිරීමට හෝ කල්බදු ගැනුම්කරු ඝාතනය කිරීමට කිසිදු නෛතික බලයක් දී නොමැත .එසේ නම් කල්බදු සමාගම කළ යුත්තේ සන්තකය නැවත ලබා ගැනීමට දිසා අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කිරීමය. නමුත් දිනපතාම ලැබෙන වාර්තා වලින් ගම්‍ය වන්නේ කල්බදු සමාගම් වල නොපනත්කම්‍ ය.කල්බදු ගැනුම්කරුගේ පරිශ්‍රයට වාහනයේ සන්තකය නැවත ලබා ගැනීමට යාමේ දී  අනිවාර්යයෙන්ම පොලිසිය ට දන්වා පොලිස් නිලධාරීයකු සමග යා යුතු බවට මීට ටික දිනකට පෙර ද පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කළ ද ඒ බව නොතකා සීසර්වරුන් කල්බදු ගැනුම්කරුගේ නිවසේ ඇතුළු කාමර වලට මෙන්ම නිදන කාමර වලටත් මහ රෑ පවා ඇතුළු වී නිවැසියන් ට තර්ජනය කරමින් පහර දෙමින් චණ්ඩිකම් කිරීමට නැවත වරක් පටන් ගෙන ඇත.

රටේ නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරන සීසර්වරුන් මෙන්ම ඔවුන්ගේ සේවය කුලියට ගන්නා මූල්‍ය සමාගම් වල ප්‍රධානීන් ද දැන්වත් බැද දැමිය යුතුය .

සීසර්වරුන් ලෙස පෙනී සිටින ත්‍රාඩයන් මෙන්ම ඔවුන් සීසර්වරුන් ලෙස බෞතීස්ම කරන මූල්‍ය සමාගම් වලට ද අපරාධ වගකීම පැවරීම විධිමත් ලෙස කළ හැකි ආකාරයට කල්බදු පනත සංශෝධනය කළ යුතුය. කල්බදු පනත උල්ලංඝනය කරන මූල්‍ය සමාගම් වලට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව මීට වඩා විධිමත් පියවර ගත යුතුය. සීසර්වරුන් ගේ සේවය මූල්‍ය සමාගම් වලට ලබා ගැනීම නීතියෙන් තහනම් කළ යුතු අතර වාහනයේ සන්තකය නැවත ලබා ගැනීමට පොලිසිය සමග යාමේ දී එයට සම්බන්ධ විය යුත්තේ අදාළ මූල්‍ය සමාගමේ ස්ථිර සේවයේ නිලධාරීයකු බව අනිවාර්ය කළ යුතුය . මේ සියල්ලම කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම කි. කොටින් ම ලීසිං නිසා මේ රටේ තවදුරටත් මනුෂ්‍ය ඝාතන සිදුවීම වැලැක්වීමට මහ බැංකුව වග බලා ගත යුතුය .

~ එස්.එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *