අප රටේ ආහාර පාන අලෙවි කරනු ලබන බොහෝ හෝටල වල ඉදිරිපස එක්තරා පුවරුවක් ප්‍රදර්ශනය කරයි. එහි ලියා ඇත්තේ “කෑම ලෑස්තියි ” කියාය. නමුත් එහි සදහන් කර ඇති පරිදි කෑම ලබා ගත හැක්කේ හරියටම කෑම වේලාවට ගියහොත් පමණි . අවේලාවේ ගියහොත් කෑම නොමැතිව බඩගින්නේ හිස් අතින් පැමිණීමට සිදු වේ. දැන් සිදුවී ඇත්තේ කෑම ලැස්තිව තිබුණත් කෑම අනුභව කිරීමට තරම් මුදලක් අතමිට නොමැති වීමය.
ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව අප රටේ දිනකට ඩොලර් තුනයි දශම හයකට කට වඩා අඩුවෙන් උපයන ජනතාව ගේ ප්‍රතිශතය 2021 වසරේ දී සියයට දහතුනයි දශම එකක් විය . 2022 වසරේදී එම ප්‍රතිශතය සියයට විසි පහයි දශම හයක් විය. එනම් වසරක ට පසු එය දෙගුණයක් වී ඇත .ලෝක බැංකු නිර්ණායක වලට අනුව දිනකට ඇමෙරිකානු ඩොලර් තුනයි දශම හයයි පහකටත් වඩා අඩු ආදායම් ලබන්නේ අන්ත දුප්පතුන් ය. එසේ නම් අප උදම් අනන්නේ අපේ රටේ අන්ත දුප්පතුන් ගේ සංඛ්‍යාව වසරකට පසු දෙගුණයක් වීමේ ඉමහත් ප්‍රීතිය නිසා ද ? මේ සියල්ලම සිදු වන්නේ සමෘද්ධි සහනාධාරය ලැබෙන පසුබිමක ය. එසේ නම් එය අතිශය බරපතළ ආර්ථික පරිහානියකි. අප ලංකාවට පරිහානික ආර්ථියකයි කියන්නේ, ලෝක බැංකුව 2022 නොවැම්බර් මස දහ වනදා නිකුත් කළ වාර්තාවකට අනුව ලෝකයේ ආහාර මිල උද්ධමනය ඉහලම රටවල් දහය අතරින් අපේ රට ද නම්කිරීම නිසාය.
පසුගිය වකවානුව තුළ මෙ රටේ භාණ්ඩ සහ සේවා මිල ගණන් තෙගුණයකින් ඉහලට ගමන් කර ඇත. මේ අනුව 2021 ට පෙර රුපියල් සියයකට මිල නියමව තිබුණු භාණ්ඩයක් අද මිලදී ගත යුත්තේ රුපියල් තුන්සියයකට ය. රුපියල අවපාතවීමකට ලක් වුවත් මේසා විශාල අනුපාතයකින් භාණ්ඩ මිල වැඩි වූ එකම රට ශ්‍රී ලංකාව බව විදේශ රට වල භාණ්ඩ සහ සේවා මිල ඉහළ ඉහළ ගිය අනුපාත සසදන විට මැනවින් පැහැදිලි වේ. එය එසේ වූයේ මන්ද යන පැනයට මෙරට ඇතැම් ආර්ථික ඔස්තාරලා මුනිවත රකින්නෙ ඔවුන් ට එය විශ්ලේෂණය කිරීමට තරම් නුවණක් හෝ බුද්ධියක් නොමැති වීම ද ? එසේ අත්තනෝමතික ලෙස භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ දැමීමට ඉඩ දී බලා සිටීමට තරම් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව බලධාරීන් උකටලී වී ඇති බව මැනවින් පැහැදිලි ය.
පසුගිය මාස කීපය පිළිබඳව සලකා බැලීමේදී ගම්‍ය වන කරුණක් නම් බොහෝ සිසුන් පාසල් යන දින ගණනට වඩා නොයන දින ගණන වැඩි බවයි. ප්‍රවාහන වියදම් දරා ගැනීමට නොහැකි වීම මේ සදහා මූලික හේතුවක් වී තිබේ. එකම පවුලේ ළමුන් තිදෙනෙක් පාසල් යන්නේ නම් පොදු ප්‍රවාහනය භාවිතා කළ ද එක් දරුවකු වෙනුවෙන් බස් ගාස්තුව ලෙස අවම වශයෙන් දිනකට රුපියලක් තුන්සියයක් පමණ වැය වේ. ළමුන් තිදෙනෙක් නම් දිනකට රුපියල් නමසියයකට අධික මුදලක් ප්‍රවාහනයට පමණක් වැය වේ. අන්ත දුගී මට්ටමේ සිටින ජනතාව මෙම වැය බර දරාගන්නේ කෙසේ ද ? ජල ගාස්තු විදුලිය ගාස්තු ,ඉන්ධන මිල ,භාණ්ඩ සහ සේවා ගාස්තු ඉහළ යාමේ අනිවාර්ය ප්‍රතිඵලය ජනතාව තව තවත් ණය ගැනීමට පෙලබීමය. ඒ අතර බැංකු පොළී අනුපාතය ද ඉහළ දමා තිබේ . රන් භාණ්ඩ උකසට ගැනීමේ පොළි අනූපාතය දළ වශයෙන් සියයට විසි පහකි. මෙ රටේ ජනතාවගෙන් බහුතරයකගේ රන් භාණ්ඩ මේ වන විටත් බැංකුවක උකස් කර ඇත. නුදුරු අනාගතයේ මේවායින් වැඩි ප්‍රමාණයක් සින්න වනු ඇත . මෙ සියල්ලම මෙසේ සිදු වන අතර තුර මූල්‍ය පාලන ලොක්කන් ජනතාව ට පටි තද කරගන්නා ලෙස මැත දොඩවන බව නොරහසකි .
මේ අතර පවුලක පෝෂණ මට්ටමේ ද සැලකිය යුතු පිරිහීමක් දක්නට ලැබේ . මස්,මාලු,බිත්තර වැනි ප්‍රෝටීන ප්‍රබේද ආහාරයේ නැති තරම් ය. අනාගතයේ විවිධ පෝෂණ ඌනතා රෝග වලින් ළමා පරපුර පෙළෙනු නොඅනුමානය .
පවුලේ ආදායම් මාර්ග බොහොමයක් ඉතා සාහසික ලෙස ඇසිරී ඇත . බොහෝ පෞද්ගලික ආයතන වැසී යාම නිසා ලක්ෂ ගණනින් රැකියා අහිමි වී ඇත. ඉදිකිරීමේ ක්ෂේත්‍රයක් අද මේරටේ ඇත්තේ ම නැත. නව සිමෙන්ති කම්හල් ඇරඹෙන විට අප රට සිමෙන්ති වලින් ස්වයංපෝෂිත වන බව ට වාගාඩම්බරයෙ න් වහසි බස් දෙඩවු දේශපාලකයින් ද අඩු මිළට සිමෙන්ති සැපයීම කළ හැකි බව පැවසු නිලධාරීන් ද අද කිසිදු හැල හොල්මනක් නැත. මේ රටේ මෙම දේශපාලකයින් ට මෙන්ම නිලධාරී පැලැන්තිය ට ද ලැජ්ජාව ක් හෝ කිසිදු හිරිකිතයක් නොමැත්තේ ජනතා සුබ සාධනය අරබයා පමණි. තම සුඛ විහරණය සදහා නම් කොතෙකුත් නම් පැකේජ සහ ක්‍රම්වේද මෙන්ම සැලසුම් ද ඇත. හෙට අනිද්දා වන විට ආහාර පාන පවා අධිසුඛෝපභෝගි භාණ්ඩ වීම මේ තත්ත්වය මත සිදු නොවේය යන්නට දිය හැකි සහතිකය කිම? අප ගමන් කරන්නේ කෑම බීම අහේනියක් ඇති ලෙඩ රෝග බහුල “පරිහානික” විසාලාවක් දෙසටය .
~ එස්.එම්.ජයසූරිය ~