සෙලන්කාව සහ ඉල්ලන් කෑව නොහොත් සිරි ලංකාව

සෙලන්කාව සහ ඉල්ලන් කෑව නොහොත් සිරි ලංකාව

114 views
0

සෙලන්කාව පැසිපික් සාගරයේ පිහිටි මනරම් එහෙත් මනඃකල්පිත දිවයිනකි. එය සිරි ලංකාව ට සමාන වර්ග කිලෝමීටර් ප්‍රමාණයක් දරණ මුදල් ඒකකය රුපියල් ලෙස භාවිතා කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වේ. මෑතකදී සෙලන්කාවේ අපූර්ව සිදුවීමක් සිදුවිය. සෙලන්කාවේ ව්‍යවස්ථාදායකය සදහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණයේ දී විප්ලවකාරී තරුණ කණ්ඩායමක් තේරි පත්විය. එහෙත් බහුතර බලයක් හිමි වූයේ එරට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලටය. විප්ලවකාරී තරුණ කණ්ඩායම ඒකරාශි වී එක් වැදගත් තීරණයක් ගත්තේ ය. එම කණ්ඩායම එරට ව්‍යවස්ථාදායකය ට පෞද්ගලික පනත් කෙටුම්පතක් එක් නියෝජිතයකුගේ නමින් ඉදිරිපත් කළේ ය. එම යෝජනාවලිය මෙසේය .

මහජන නියෝජිතයන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම
මහජන නියෝජිතයන් ගේ වැටුප් අහෝසි කර සභාව රැස්වන දිනට දීමනාවක් ගෙවීම.
මහජන නියෝජිතයන් ට ධූරයේ සිටින තාක්කල් පමණක් රුපියල් ලක්ෂ විස්සකට නොවැඩි මෝටර් රථයක් ලබා දීම
මහජන නියෝජිතයන් ට හෝ ඔහුගේ ඥාතීන් සුරාසැල් බලපත්‍ර ලබා නොදීම.
මහජන නියෝජිතයන් ගේ කාර්යය මණ්ඩලය තිදෙනකු ට පමණක් සීමා කිරීම
සෙලන්කා ව්‍යවස්ථාදායකය පවත්වන දිනවල එහි ආපන ශාලාවෙන් මුදල් ගෙවා ආහාර ලබා ගැනීම
සෑම වසරකම ජනවාරි පළමුවන දිනයේ සිය වත්කම් බැරකම් ප්‍රකාශනය ජාතික පුවත්පතක පළ කිරීම
තමා අයත් වන දේශපාලන පක්ෂයේ ලේකම් වරයා විසින් සෑම වසරකම ජනවාරි පළමු වන දිනයේ පක්ෂයේ වත්කම් බැරකම් ප්‍රකාශනය ජාතික පුවත්පතක පළ කිරීම.
අපරාධ වරදක චූදිතයා බවට පත් වුවහොත් මන්ත්‍රී ධූරය අහෝසි වීම.
තමා සන්තකයේ තබා ගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර පහකට සීමා කිරීම
අපරාධ වරදක චූදිතයා වන පුද්ගලයකු ට මන්ත්‍රී ධූරය දැරීමට නොහැකි වීම.
මන්ත්‍රී ධූරය දැරීමට හැකි අවස්ථා ගණන සිව්වතාවක් දක්වා සීමා කිරීම

මෙම පෞද්ගලික පනත් කෙටුම්පත සෙලන්කාවේ වයවස්ථාදායකයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීම කතානායක වරයා ගේ අවසරය පරිදි සිදුවිය . මෙම කෙටුම්පත පිළිබඳව තොරතුරු ලද වහාම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වල නායකයින් සහ නියෝජිතයන් කඩිගුලක් සේ ඇවිස්සුනු අතර තම බලවත් විරෝධය පළ කරන ලදී . එහෙත් සෙලන්කාවේ විප්ලවකාරී තරුණ කණ්ඩායම උපක්‍රමික ලෙස එම යෝජනාවලිය මහජනතාව වෙත ඉදිරිපත් කළේ ය. මෙම යෝජනාවලිය වහාම සම්මත කර ගන්නා ලෙස ඔවූහු සංවිධානාත්මක ලෙස බල කළහ. අවසානයේ දී එම පෞද්ගලික පනත් කෙටුම්පත සෙලන්කාවේ වයවස්ථාදායකයේ දී බහුතර ඡන්දයෙන් සම්මත විය. එය සම්මත වීමත් සමග සෙලන්කාවේ මහජන නියෝජිතයන් වැඩි දෙනෙකු සිය ධූරයෙන් ඉල්ලා අස්වූහ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ සෙලන්කාවේ වයවස්ථාදායකය නැවත විසුරුවා හැරීමය.

ඊලග මැතිවරණය සදහා නාම යෝජනා කැඳවූ නමුත් දේශපාලන පක්ෂ වල ට තරග කිරීම සදහා අපේක්ෂකයන් සොයා ගැනීම අතිශය දුෂ්කර විය. මෙම කතාව කියවීමෙන් පසු මට එය සැබෑවක් ද යන්න ප්‍රශ්නාර්ථයක් විය . මම දෑස් පිසදා වටපිට බැලුවෙමි. මා සිටින්නේ සෙලන්කාවේ නොව සිරි ලංකාවේ බව මට පසක් වූයේ එවිටය.
මේ යෝජනාවලිය සිරි ලංකාවට ත් මැනවින් ගැලපෙන බව මම පසක් කර ගතිමි. මම වහාම පෑනක් සහ කොළ කීපයක් එළියට ගතිමි. ඉනික්බිති ඉහත යෝජනාවලිය ඉස්පිල්ලක් හෝ පාපිල්ලක් හෝ වෙනස් නොකර කඩදාසි වල පැහැදිලි ලෙස සටහන් කළෙමි.

ඉන් පසු මා සිරි ලංකාවේ විප්ලවකාරී තරුණ නියෝජිතයකුට දුරකථන ඇමතුමක් ලබා ගෙන ඔහු හමුවීමට දිනයක් සහ වේලාවක් වෙන් කර ගත්තෙමි. නියමිත දිනයේ මම ඔහු හමුවට ගොස් මගේ යෝජනාවලිය භාර දුන්නෙමි.
එය කියවීමෙන් පසු ඔහු වික්ෂිප්ත විය . ඔහු මගෙන් ඇසුවේ එක් ප්‍රශ්නයක් පමණි.
“උඹේ පිස්සුව තද වෙලා නේද ?”
ඉන් පසු ඔහුගේ ආධාරකරුවන් කීප දෙනෙකු කැඳවා ඔවුන් අණ කළේ මගේ අත් කකුල් හොදින් ගැට ගසන ලෙසයි. අවසානයේ දී ඔවුන් මා කුදලාගෙන ගොස් අංගොඩ මානසික රෝහලට භාර දෙන ලදී .මා තවමත් සිටින්නේ අංගොඩ මානසික රෝහලේ ය.

එස්.එම්.ජයසූරිය

Your email address will not be published. Required fields are marked *