වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන මා, මහේල ගේ නිවෙසට ගියේ කාර්ය බහුල ජීවිතයෙන් මිදී සුන්දර, නිස්කලංක ගම්බද පරිසරයේ මිහිරියාව, ස්වාභාවික සුළං පොදක සිසිලස, නිහැඬියාව විඳගන්න. මහේල ගෙ නිවෙස තිබුණේ, සුන්දර ගල්තලාවක් මත පිහිටි පන්සලකට මායිම්ව.
” මොකක්ද මහේල අර පුවරුවෙ තේරුම?”
නිසල සුවය විඳගන්න හිතාන පන්සල් බිමට ගොඩ වෙද්දි දැක්ක පුවරුව පෙන්නලා මං මහේල ගෙන් ඇහුවෙ, ඇත්තටම ඒකේ හැටියට මාත් භූතයෙක් හෝ ප්‍රේතයෙක් නිසා.
පුවරුවේ සඳහන් ව තිබුණේ මෙසේයි.
“ සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි! ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් දේශනා විකාශය කිරීමට කැමැත්ත ප්‍රකාශ කල ප්‍රදේශවාසීන් සියළු දෙනා හට සම්මා සම්බුදු සරණයි. අකමැතිව ඊට විරුද්ධව කටයුතු කල ප්‍රේතයින් සහ භූතයින් හට භූත ආත්ම වලින් මිදී පිරිත් ශ්‍රවනය කිරීමට අවස්ථාව උදා වේවා..!”
-යොවුන් කලා හවුල-
“ඕක අපේ ගමේ මිනිස්සුන්ගෙ වැඩක්. හවසට, උදේ පාන්දරට ස්පීකරයෙන් පිරිත් දානවට කැමති අකමැති දෙපිරිසක් අතර ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒත් කොහොම හරි උදේ පහටයි, හවස හයටයි ගමට ම ඇහෙන්න පන්සලේ පිරිත් දැම්මා. ටික දවසක් යනකොට, විභාග වලට පාඩම් කරන ළමයි, අසනීපෙන් ඉන්න අය, පොඩි දරුවො ඉන්න අයට මේ සද්දෙ කරදරයක් වුණා. ගම පිල් දෙකකට බෙදිලා පිරිත් දානවද, නැද්ද කියලා වාද කරගෙන පොලිසිත් ගිහින් තමයි ඔහොම බෝඩ් එකක් හරි ගහලා පිරිත් දැමිල්ල නතර වුණේ.”
මේ වෙලාවේ එතැන සිටි ශිවා කිව්වෙ;
“පන්සල්, පල්ලි වලින් දෙන ශබ්ද ධනාත්මක කම්පන ඒ කියන්නෙ පොසිටිව් වයිබ්‍රේෂන්ස්, ඒ නිසා ඒවා ඇහෙන එක හොඳ දෙයක්” කියලයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය අනුව නම්, ඩෙසිබල් 65 යනු ශබ්ද දූෂණය, ඩෙසිබල් 65ට වැඩි නම් නින්ද යන්නේ නැහැ. ඩෙසිබල් 75 අනතුරුදායකයි.
මම මඩකලපුවේ සහ යාපනයේ සිටි දවස් වල එක කර්මාන්ත භූමියක් තිබුණේ මුස්ලිම් ගම්මානයක් මැද. මම නැවතිලා හිටියෙ දෙමළ ප්‍රදේශයක. වැඩ කරන අතරෙ දවස පුරා ඇහෙන පල්ලියේ යාතිකා සහ යන්ත්‍ර සූත්‍ර වල ශබ්ද නිසා හවසට ඔළුවෙ කැක්කුම හැදිලා, නේවාසිකාගාරයට එන මට කෝවිලේ භක්ති ගී නාදයටත් සවන් දෙන්න සිදු වුණා.
අනුරාධපුර පූජා භූමියට මාරුවීමක් ලැබුණම ඒ නිස්කලංක පරිසරය මතක් වෙද්දි මට දැනුණේ දිව්‍ය ලෝක හැඟීමක්. ඒත් ඒ සතුට වැඩි කාලයක් තිබුණෙ නෑ. පූජා නගරය ආසන්න තැනක පදිංචි වුණු මට හවස හතරෙ ඉදලා පිරිත්, කවි බණ, පිටක සූත්‍ර දේශනා, රෑ අටෙන් පස්සෙ බණ කතා මැද්දෙ හරිහැටි නින්දක් නොලැබුණු නිසා, දිව්‍ය ලෝකය අපායක් වුණා
පොසොන් කාලයට උදේ ඉඳලා රෑ එළි වනතුරු අතරමං වුණු ළමයින්ට පාර පෙන්වන්න, ආධාර කරපු පින්වතුන්ගේ මළ ගිය නෑයින්ට පින් පමුණුවන්න , සල්පිල් වෙන්දේසි වලට යකඩ කටාගෙ ඝෝෂාව.
“භූතයින්ට ප්‍රේතයින්ට පින් සිද්ධ වෙන්න අපේ ගම දැන් නිස්කලංකයි” මහේල එහෙම කියද්දි මටත් හිනා ගියා.
පූජනීය ස්ථාන වල වර්තමාන ස්වරූපය කුමක් වුවත්, කිසිම ආගමික නායකයෙක් අන් අයට හිරිහැර වන ජීවිතයක් අනුමත කළ බව මම අහලා නෑ.
දියුණු වන ලෝකයේ ශබ්ද දූෂණයෙන් ලොව ඉහළින් ම ඉන්න රටක් විදිහට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට එකතු වෙනවා.
විවිධ පූජනීය ස්ථාන වල ඝෝෂාවට අමතරව, බොහෝ බස් රථ වල ඝෝෂාකාරී ගීත බලෙන් ඇසීමට සලස්වන අවස්ථාවලට ඔබත් මුහුණ පා ඇති.
රැය පුරා පිරිත් ශබ්ද, පල්ලි වල යාච්ඤා, ලොතරැයි කූඩු, චූන්පාන් නළා ශබ්ද නිසා වෙහෙසට පත් ව රැකියාවට යන ජනතාව ගේ ඵලදායිතාව, පාසලට යන දරුවන්ගේ ඉගෙනීම් හැකියාව අඩු වන බව විශේෂඥයන් පවසනවා.
තාක්ෂණයෙන් දියුණුවට පත් ව ඇති, දුරකතනයක් සමග පෞද්ගලික ශ්‍රවණාධාරකයක් නොමිලේ ලැබෙන යුගයක, ඝෝෂාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය මෙන්ම, අන් අයට බාධා වන අයුරින් ඝෝෂාකාරී ව හැසිරීම ඉවසන සමාජයක ජීවත් වන්නට සිදුවීම කනගාටුවට කරුණක්. ඉහත පුවරුව අනුව පෙනෙන්නේ අන්ධ ආගමික භක්තිය නිසා ඇතැම් තරුණ පිරිස් පවා ශබ්ද දූෂණය නොසලකා කටයුතු කරන බවයි.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ Frontiers 2022 වාර්තාව අනුව ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ නේපාලය ඇතුළත් දකුණු ආසියානු කලාපය ලෝකයේ ඝෝෂාකාරී ම කලාපය විදිහට හඳුනා ගත්තා. ලෝකයේ නිස්කලංක ම කලාප වුණේ ලතින් ඇමෙරිකාව සහ යුරෝපය.
වර්තමානයේ බොහෝ රටවල් ශබ්ද දූෂණය අවම කිරීම සඳහා විකල්ප වලට යොමු වෙමින් ඉන්නවා.
ශ්‍රී ලංකාවේත් ශබ්ද දූෂණය මහජන කරදරයක් ලෙස සලකනු ලබනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය යටතේ මහජන පීඩා සම්බන්ධයෙන් පැමිණිලි බාර ගැනීමට පොලිසිය XIV පරිච්ඡේදය තුළ බැඳී සිටිනවා. පස්වරු 6 න් පසු ඩෙසිබල් 60 ට වැඩි ශබ්දයක් සහ රාත්‍රී 10 ත් පෙරවරු 6 ත් අතර අධික ශබ්ද පිළිබඳ ජනතාවට පැමිණිලි කළ හැකියි.
නිහඬ පරිසරයකින් පුද්ගලයකුට ලැබෙන ප්‍රතිලාභ බොහෝ ඇති අතර, ජීවිත කාලය පුරාම ඝෝෂාකාරී පරිසරයක වාසය කිරීම මානසික මෙන්ම කායික වශයෙන් ද අහිතකර බව වෛද්‍ය විද්‍යාත්මක මතයයි.
ඔබත් ධනාත්මක කම්පන විශ්වාස කරන්නෙක් නම් අන් අයට හිරිහැර නොවන පරිදි ධනාත්මක කම්පන පෞද්ගලිකව ශ්‍රවණය කිරීමට පුරුදු වන්නට මේ හොඳම කාලයයි.
~ මහේෂි දසනායක ~