අවුවට දුන් කුඩය වැස්සේදී උදුරා ගැනීම

අවුවට දුන් කුඩය වැස්සේදී උදුරා ගැනීම

233 views
0

මේ රටේ බොහොමයක් බැංකු වලට අනෙක් සියලුම රජයේ සහ පෞද්ගලික අංශ සේවකයින් පිළිබඳව ඇත්තේ මහත් වූ සෙනෙහසකි. මෙම සෙනෙහස ඇතැම් අවස්ථා වල දෝරේ ගලා යයි. එසේ සෙනෙහස දෝරේ ගලා යන විට යම් හෙයකින් රජයේ සේවකයකු අවුවේ ගමන් කරන්වා දුටුවහොත් වහාම ඔහුට කුඩයක් ලබා දෙන්නේ මහත් උනන්දුවෙනි. රජයේ සේවකයා ද මේ නම් මහැගි කලණ මිතුරකු යැයි සිතා කුඩය අතට ගන්නේ කෘතවේදිව ය. අහා…කෙතරම් ආහ්ලාහ  ජනක මොහොතක් ද ?

එහෙත් ඒ මහගු ප්‍රේමනීය හෝරාව ඉක්මනින් ම ගෙවී යන්නේ ප්‍රචණ්ඩ කුණාටුවක් සමග පැමිණෙන ධාරානිපාත වැස්සත් සමගය. එවිට බැංකුව ට සියල්ලම අමතක කරමින් තමන් රජයේ සේවකයාට දුන් කුඩය නැවත උදුරා ගන්නේ රුදුරු , සාහසික සතුරෙකු ලෙස ය.

කුඩය උදුරා ගැනිමේ රුදුරු සංග්‍රාමය දැන් ශ්‍රී ලංකාවේ ආරම්භ වී ඇත .මේ රටේ වරින් වර බලයට පත් වූ ආණ්ඩු විවිධ අවස්ථා වල  රාජ්‍ය බැංකු ආරම්භ කළ අතර මේවායේ අරමුණ වූයේ පොඩි මිනිසා නගා සිටුවීමය. පෞද්ගලික බැංකු වල  හුදු  ලාභ උපයන අරමුණු වලට වඩා රාජ්‍ය බැංකු වලට ආරම්භයේ දී පුළුල් අරමුණු තිබුණි . ඒ එදාය. පෞද්ගලික ආයතනයක්  කළුකඩ කාරයකු හෝ ගිණිපොළී කරුවෙකු වීම අරුමයක් නොවේ. එහෙත් රජයේ බැංකු වලට කළුකඩ කාරයකු ගේ චරිතය රග දැක්වීමට හැකි ද ? රජයේ සේවකයන් ට ණය සැපයීම බැංකු වලට ෂුවර් ගණුදෙනුවකි. මක්නිසාද යත් ණය සැපයීම දී බැංකුව රජයේ සේවකයින් ගේ පඩිපත තම බැංකුවේ ගිනුමකට හරවා ගනියි. එහි මුඛය පරමාර්ථය නම් ණය වාරිකය කපා ගැනීමය. රජයේ සේවකයින් ට ණය දීම එක් අතකින් බැංකු වලට ඉතා ලාභදායි ව්‍යාපෘතියක් වන අතර අනිත් අතට කිසිදු අවදානමක් ද නැත. සත්‍ය වශයෙන්ම බැංකු දුවන්නේ මේරටේ ලක්ෂ  පහළොවක් පමණ වන රාජ්‍ය සේවකයන් ගේ කර මතින් යන්න අවිවාදිත ය. තවද කෝටිපතියන් ණය නොගෙවා පැහැර හරින විට අද ගොළු බිහිරන් ලෙස හැසිරෙන මෙරට බැංකු සාමාන්‍ය ණයකරුවෙකු වාරිකයක් ගෙවීම ප්‍රමාද වූ වහාම වරම අතට ගත් වෙසමුනියා මෙන් පරල වේ.කෝටිපතියන් ගේ ණය බොල් ණය ලෙස කපා හැරීමට උත්සුක වන බැංකු අවශේෂ ණය හිමියනට සලකන්නේ කුඩම්මා සලකන සැලකිල්ලටත් වඩා අඩුවෙන්‍ ය.

දැන් අපි වැස්සේදී කුඩය උදුරා ගැනීමේ කතා වස්තුවේ උච්චම ස්ථානයට යමු.

රාජ්‍යය සේවයේ නියුක්තිකයන්ට ණය ලබා දීමේ විවිධ යෝජනා ක්‍රම පසුගිය සමයේ විවිධ බැංකු වලින් දියත් කළ අතර මේ යෝජනා ක්‍රම හරහා මේ රටේ රාජ්‍යය සේවකයන් අති මහත් බහුතරයක් ණය ලබා ගෙන ඇති බව බැංකු මූලාශ්‍ර වලින් අනාවරණය වේ.මෙම ණය මුදල් ලබා දුන් වාර්ෂික පොළී අනුපාතය වූයේ සියයට නමයක් හෝ ඊට අත්‍යාසන්න අගයකය. ණය ගිවිසුම අත්සන් කරන විට පැවති එම පොළී අනුපාත   හිටිවනම සියයට නමයේ සිට සියයට තිස්තුන දක්වා විවිධ අනුපාත වලින් වැඩි කිරීමට මේරටේ බැංකු පද්ධතිය තීරණය කළේ කිසිදු වග විභාගයකින් තොරව ය.මේ නිසා ණය වාරික වැඩි වීමේ අගය රුපියල් පන්දාහේ සිට රුපියල් විසි දහස පමණ දක්වා වැඩි වී ඇත .මූල්‍ය සමාගම් මෙම කරුණ සම්බන්ධව ඉදිරිපත් කරන නිදහසට කරුණ නම්  රටේ පොළී අනුපාත  වැඩි වන විට පොළී වැඩි කිරීමේ එකගතා වගන්තිය ට ණයකරු අත්සන් කර ඇති නිසා එසේ කළ බවයි .බැංකු විසින් ඉදිරිපත් කරන මෙම තර්කය පිළිගත හැක්කේ රටේ සාමාන්‍ය තත්ත්වයක් පවතිනවා නම් පමණි .රටේ ආර්ථික තත්ත්වය බරපතළ අවදානම් තත්ත්වයක පවතින මෙකල මෙවැනි අත්තනෝමතික තීන්දුව වලට එලඹීමට බැංකු වල කළමනාකාරිතවයට බලතල ලබා දුන්නේ කුමන බලධාරීන් ද ?මේ රටේ මහ බැංකුවට රටේ මුල්‍ය ආයතන සම්බන්ධව කිසිදු වගකීමක් නොමැති ද ?

මෙම අමන තීන්දුව නිසා මේ රටේ ලක්ෂ පහළොවක් වන රාජ්‍යය සේවකයන් කබලෙන් ලිපට වැටී ඇති බව අවබෝධ කර ගැනීමට මේ රටේ බලධාරීන්ට නුවණක් හෝ ප්‍රඥාවක් නොමැත්තේ ද ?

අනිත් අතට මෙම තීරණය නිසා සියයට හතලිහේ අවකරණ රීතිය ද අමු අමුවේ උල්ලංඝනය වී ඇත .අවසාන වශයෙන් බලධාරීන්ට එක් කරුණක් අවධාරණය කළ යුතුය .රාජ්‍යය සේවකයන් මත මේ එල්ල කරන බරපතළ පීඩනය කිසිදු අයුරකින් ජාතික ආර්ථිකය සවිමත් කිරීමට නම් හේතු වන්නේ නැත .මෙය මේ රටේ ආර්ථිකය බරපතළ අවදානමක් වෙත තල්ලු කරන තීන්දුවකි.අනිත් අතට මෙය සමස්ථ රාජ්‍යය සේවයම අකර්මණ්‍ය කරන සාතිශය මුග්ද තීරණයක් බව මූල්‍ය බලධාරීන්ට අවබෝධ කර ගැනීමට තවමත් කාලය පවති. අප්පමාදෝ අමත පදං.

~ එස්.එම්.ජයසූරිය ~

Your email address will not be published. Required fields are marked *