සමාජවාදී රජයට එරෙහි උද්ඝෝෂණ – කියුබාවේ මොකද වෙන්නෙ?

සමාජවාදී රජයට එරෙහි උද්ඝෝෂණ – කියුබාවේ මොකද වෙන්නෙ?

50 views
0

කියුබාව තුළ සිදුවන්නේ කුමක්දැයි ජූලි 11 වැනිදා එරරට ජනතාව වීදි බැස කළ උද්ඝෝෂනයෙන් පසුව ලෝකයේ අවධානයට යොමු විය. විරෝධතාකරුවන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බව බටහිර මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි. 1994 වසරෙන් පසු  කියුබාව තුළ සිදු වූ අති විශාලතම මහජන උද්ඝෝෂණය ජූලි මස මුල් සතියේ ඇවිළ ගිය බවද සමස්තයක් ලෙස කියුබානු විප්ලවයෙන් පසු පැවති විශාලතම මහජන විරෝධය ඒ බවද දේශපාලන මත දක්වන්නන් ප්‍රකාශ කරන ලදී. දස දහස් ගණනක් ජනයා හවානා ඇතුළු එරට ප්‍රධාන නගර සෑම එකකම පාහේ විරෝධතාවල නිරත විය.

උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ ජනපති මිගෙල් ඩයස් කැනෙල් ඉල්ලා අස්විය යුතු බවයි. ඊට අමතරව වූවේ කොවිඩ්  වෛරසයට ඉක්මන්  ප්‍රතිචාර නොදැක්වීම,  භාණ්ඩ  මිල ගණන් ඉහළ යෑම, භාණ්ඩ හිඟය සහ  සිවිල් නිදහසට බාධා එල්ල වීම පිළිබඳ විරෝධයක්ද එහි දක්නට ලැබුණි.  මීට අමතරව, ලොව පුරා රටවල් ගණනාවක කියුබන් තානාපති කාර්යාල ඉදිරිපිට මෙම කියුබානු ජනයාගේ ඉල්ලීම්වලට සහාය පළ කිරීමේ උද්ඝෝෂණ මෙන්ම කියුබන් රජයට විරෝධය පළකරන උද්ඝෝෂණ ද දැකිය හැකිවිය.

කියුබාවේ ජනාධිපති මිගෙල් ඩයස් මෙම විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු සහාය ලබන පුද්ගලයන් හා ආයතන හරහා සංවිධානය වූ මෙම ජනතා නැගිටීමට පදනම්වූ පසුබිම එහිදී අනාවරණය කරන ලදී. ජුනි 12 වැනිදා එරට රූපවාහිනිය සමඟ සිදුකළ සාකච්ඡාවේදී  කියුබානු ආර්ථිකය පවත්වාගෙන යාමේ ප්‍රධාන අභියෝගය නැවත මතක් කරමින්ජනාධිපතිවරයා පැවසුවේ ඇමරිකාවේ සම්බාධක කොරෝනා වසංගතය මැද උද්ගතවී ඇති නව තත්වයන් යටතේ කියුබානු ජනතාව ආර්ථිකමය වශයෙන් හුස්ම හිර කිරීමක් බවට පත්වන බවයි.

රාජ්‍යපාලනයේ වෙනස්කම්

2020 අප්‍රේල් 19-22 දිනවල පැවති කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 8 වැනි ජාතික සමුළුවේදී පක්ෂයේ ප්‍රධාන ලේකම් වගකීමට ජනාධිපති මිගෙල් ලූවිස් කෙනල් පත් කරනු ලැබූ අතර රාවුල් කස්ත්‍රෝ නිල වශයෙන් පක්ෂ වගකීම්වලින් ඉවත් විය. වේලාසනම රාවුල් සමග කියුබානු විප්ලවයේ සටන් වැදුනු තවත් ජ්‍යොෂ්ඨයන් දෙදෙනකු දේශපාලන මණ්ඩල වගකීම්වලින් ඉවත්වීම වේලාසන නිවේදනය කර තිබිණි. අප්‍රේල් 22 පැවති ඡන්ද විමසීමේදී පක්ෂයේ නායකත්ව මණ්ඩලයට එනම් දේශපාලන මණ්ඩලයට පත් වූ 14 දෙනකුගෙන් තිදෙනෙක් තරුණ පරපුරෙන් අලුතින් තේරී පත් වීම විශේෂත්වයක් විය.

1959 ෆිදෙල් කස්ත්‍රෝ සහ චේ ගෙවාරා ඇතුළු විප්ලවවාදීන් නායකත්වය දුන් කියුබානු සමාජවාදී විප්ලවයෙන් ජයගත් පසුව, විවිධ හැලහැප්පීම් මැද පැවති කොමියුනිස්ට් පක්ෂ පාලනය විසින් 1976 පළමුවරට කියුබාව සමාජවාදී ජනරජයක් ලෙස ව්‍යවස්ථාවක් සම්මත කළේය. කියුබානු සමාජවාදය ගොඩනැගූ විප්ලවවාදී ජ්‍යෙෂ්ඨයන් මුහුණ දුන් අභියෝගයක් වූයේ දෙවැනි පෙළ නායකත්වයක් ලෙස තරුණ නායක පරම්පරාවක් යටතේ ජයග්‍රහණ ඉදිරියට ගෙනයාම සඳහා හඳුනාගත යුතු ප්‍රතිසංස්කරණ මොනවාද යන්නය. එහිදී කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තරුණ ජවාධිකයන් කැඳවා ගැනීම විශේෂයෙන් සලකා බැලු කරුණක් විය. මේ වනවිට එරට ජනාධිපති ධුරය දරන්නේ එසේ පෙරමුණට ගෙන ආ නායකයෙකි.

කියුබානු සමාජයේ වෙනස්වන අවශ්‍යතා අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම 2019 පෙබරවාරි 24 පැවති ජනමත විචාරණයකින් සිදු කෙරිණි. ඉන්පසු 2019 අප්‍රේල් 10 වැනිදා සිට එය ක්‍රියාත්මක කෙරුණි. නව ව්‍යවස්ථාව තුළ 1959 කියුබානු විප්ලවයෙන් පසු පළමු වරට පෞද්ගලික දේපළ නෛතික වශයෙන් පිළිගැනීම සිදු  විය. සමාජවාදී ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් එක්සත් ජනපදය ආසන්නයේ අභියෝගාත්මකව නැගී සිට සාමූහික දේපළ ක්‍රමයක් හා සූරාකෑම අහෝසි කරන, පන්ති භේදය අවසන් කරන දිශාවට ගමන් කළ කියුබානු ආණ්ඩු ක්‍රමය ආපස්සට ගමන්ගත් අවස්ථාවක් ලෙස ඒ වෙනස්කම බොහෝ විචාරකයන්ගේ හඳුනාගැනීම විය. මේ තත්වය යටතේ කියුබානු සමාජය තුළ පෞද්ගලික ව්‍යවසායකයන්ගේ නැගීමක් මෙන්ම සමාජවාදී රාජ්‍ය අරමුණු හා ගැටෙමින් නැගී සිටින නව ව්‍යාපාරික සුළු දේපළ හිමි පන්තියක් විසින් සමාජවාදී පාලනයට අභියෝග කිරීමක් අපේක්ෂිතය. කෙසේවුවද කියුබානු රජය ප්‍රකාශ කරන්නේ සමාජවාදී රාජ්‍ය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඇතැම් ප්‍රතිසංස්කරණ ‘නොකර බැරි’ තත්වයක් උද්ගත වූ බවය.

2020 අප්‍රේල් මස පැවති කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 8වැනි මහ සමුළුවට ඉදිරිපත් කළ වාර්තාවෙන් සිය ආර්ථික මොඩලයේ පවතින ආකෘතිමය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබුණි. ආර්ථිකයට දායක වන ශ්‍රමිකයන් සම්බන්ධ අවධානය යොමු කරමින් ගතානුගතික රටාවක වැඩකිරීම වෙනුවට අලුතින් සිතීමත් වැඩබිම් නවීකරණය සඳහා අවශ්‍ය තරම් දිරිගැන්වීම් නොමැතිකමත් වහාම නිවැරදි කළ යුතු බව රාවුල් කස්ත්‍රෝ පෙන්වා දී තිබේ. එහිදී කියුබානු සමාජය තුළ බලපවත්වන නිලධාරිවාදය, ආර්ථික හා සමාජයීය සම්පත් අවශ්‍ය ආකාරයෙන් ලෙස පාලනය නොකිරීම තුළ උද්ගත වී ඇති දූෂණය කියුබානු ආර්ථිකයේ ප්‍රගතියට බාධකයක් වී පවතින බව ඔහු පිළිගෙන ඇත. මේ වනවිට නිලධාරීවාදය සහ අවිධිමත් සම්පත් කළමනාකරණය නිසා ඵලදායීතාව සහ කාර්යක්ෂතාව අඩුවී ඇති නිසා ආර්ථික වර්ධනය මෙන්ම සමාජවාදී ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමට නම්, එම ප්‍රවණතා තීරණාත්මක ලෙස පරාජය කළ යුතුය. මේ ආකාරයෙන් කියුබාවේ ආර්ථික මොඩලයේ ඇති දුර්වලතා ඉවත්කර නව ගතිකත්වයක් ලබාදිය යුතු බවද ඒ සඳහා මධ්‍යගත සැලසුම් කිරීම මෙන්ම විමධ්‍යගතකරණය අවශ්‍ය බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කස්ත්‍රෝ පවසන ආකාරයට,  රට තුළ ධනවාදය ස්ථාපිත කිරීමට බලා සිටින නවලිබරල්වාදයේ නියෝජිතයන් විසින් මහාපරිමාණ පෞද්ගලිකරණය සඳහා හඬ නගමින් විදේශ වෙළඳාම පෞද්ගලිකරණය නොකිරීම ගැන මැසිවිලි නගන බව රාවුල් සිය කතාවේදී පෙන්වා දුන්නේය. එහෙත් විදේශ වෙළඳාම සහ ආර්ථිකයේ ආධිපත්‍ය රාජ්‍ය අංශය සතුවීම සමාජවාදය ආරක්ෂා කිරීමට අත්‍යාවශ්‍ය අවශ්‍යතාවක් ලෙස සලකමින් එම ක්ෂේත්‍ර කිසිසේත් වෙළඳපොළ බලවේගවලට හැසිරවීමට අවස්ථා නොදෙන බවද සමාජවාදී ආර්ථිකයේ මර්මස්ථාන සම්බන්ධ අවබෝධයකින් ඉදිරි මග තෝරන බවද අවධාරණය කර ඇත.

ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ

කියුබානු විප්ලවය විසින් සමාජවාදී රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එක්සත් ජනපද සම්බාධක රාශියක් මැද ධෛර්යමත්ව සටන් වදිමින් සීනි කර්මාන්තය ඇතුළු දේශීය නිෂ්පාදන හා සංචාරක කරිමාන්තය මුල් කරගත් ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට විය. විදේශ ආයෝජන අපේක්ෂා කළද එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් ආයෝජකයන්ගේ පැමිණීම දුර්වල විය.

සෝවියට් සහන මත යැපෙමින් සිටියද 1989 සමාජවාදී කඳවුරේ ඇද වැටීමෙන් හුදකලාභාවයට පත් කියුබානු රජය, ලොව පුරා ඛනිජ ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම හඳුනා ගෙන සැලසුම් සහගතව මැදිහත්වූ අතර දැන් කොබෝල්ට් නිෂ්පාදනයේ ප්‍රධාන නිෂ්පාදකයා ද වේ. නිකල් පතල් සඳහා විදේශ  ආයෝජන ලබාගෙන දැන් ලොව දෙවන ඉහළම නිකල් සැපයුම්කරු බවට පත්වෙමින් සිටී.  කියුබාවේ වෙනිසියුලාව සමග ඇති සම්බන්ධතා ද ආර්ථික පැවැත්මට තීරණාත්මක වී ඇත.

ලොව පුරා රටවල් 50 කට වැඩි ගණනකට වෛද්‍ය සේවාවන් ඇතුළු කියුබානු වෘත්තිකයන් සපයාදීමෙන් කියුබානු ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක් සපයයි. ඖෂධ නිෂ්පාදනයෙන්ද කියුබානු ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතී. කියුබානු ආර්ථිකයට තවත් වැදගත් දායකත්වයක් වන්නේ එක්සත් ජනපදයේ මෙන්ම  ලතින් ඇමෙරිකානු සහ කැරිබියානු රාජ්‍යයන්හි වෙසෙන කියුබානුවන් විසින් එවන ප්‍රේෂණ, හරහාය. නිශ්චිත නිල තොරතුරක් මගින් තහවුරු කර ගැනීම දුෂ්කර වුවත්, එම සමස්ත වටිනාකම ඩොලර් බිලියන 2.5 ඉක්මවයි.

කියුබානු රජය 2016 සම්මත කළ යෝජනාවක් අනුව, 2017 වසරේ හවානා අගනුවරට ආසන්න වරායක් පදනම් කරගනිමින් ‘මරියල් විශේෂ සංවර්ධන කලාපය’ පිහිටුවනු ලැබිණ. එහි අරමුණ, වාර්ෂිකව ඩොලර් මිලියන 500 බැගින් ආයෝජන කැඳවීම බව කියුබානු ප්‍රකාශකයන් පවසා තිබිණි. මෙම විශේෂ කලාපය තුළ, ලෝකයේ ‘නිදහස් ආයෝජන කලාප සංකල්පය’ පැවතියද එහි කියුබාවට විශේෂිත සීමාවන් සහිත වීම බාධාවක් වනු ඇති බවට ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් කරුණු දක්වා තිබිණි.

එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී ලෝක බලයේ ප්‍රහාර අවසානයේ 2020 ජූලි මසදී කියුබානු රජය පළමුවරට රට තුළ පෞද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ පියවර වෙත එළඹියේය. එම වසරේ දෙසැම්බරයේදී කියුබානු මහබැංකුව විසින් එක්සත් ජනපදය ඇතුළු විදේශ ආර්ථික බලපෑම්වලට මුහුණ දීමට හඳුන්වා දී තිබුණු ද්විත්ව විනිමය ක්‍රමය අහෝසි කරමින් තවත් පියවරක් පසුපසට තබන ලදී. එහිදී මහබැංකුව විසින් ඩොලරයට සාපේක්ෂව 24ක් වූ පෙසෝ මුදල් ඒකකය 25 දක්වා පහත දැමීම 1959 විප්ලවයෙන් පසුව පළමුවරට විනිමය ක්ෂේත්‍රයේ සිදු කළ අවප්‍රමාණ කිරීමය. කෙසේවෙතත්, එහිදී අපේක්ෂිත ආර්ථික චලනයන් හඳුනා ගනිමින් එරට සියලුම සේවකයන්ගේ අවම වැටුප ඉහළ දැමීමට පියවර ගෙන තිබිණි.

මේ වනවිට ආර්ථිකයේ විවිධ අංශ රාජ්‍ය ආධිපත්‍යයෙන් නිදහස් කිරීමේ ලිහිල් කිරීම් සිදු කර ඇති නමුත්, එම ක්ෂේත්‍රවල රජයේ ඒකාධිකාරීත්වය සම්බන්ධ විවේචනාත්මක බලවේග එයින් සෑහීමකට පත් විය නොහැකි බව පවසා ඇත. ඇත්ත වශයෙන්ම ඔවුන් වක්‍රාකාරයෙන් ඉල්ලා සිටින්නේ නවලිබරල් ප්‍රතිසංස්කරණ හරහා ලෝක ප්‍රාග්ධන ආධිපතය වෙත කියුබාව ගොදුර කිරීමේ පියවර තැබිය යුතු බවය.

ආර්ථික අර්බුදයේ මට්ටම

ඇත්ත වශයෙන්ම කියුබාව මේවනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව  රහසක් නොවේ. දීර්ඝකාලීන සම්භාධක හේතුවෙන් සහ කොරෝනා හේතුවෙන් මුහුණ දෙන තත්වය නිසා මේ වර්ෂය තුළ කි්යුබවේ උද්ධමනය 400%ක් දක්වා වර්ධනය වෙන්නට නියමිත බවට පුරෝකතන සිදුව ඇත. ආර්ථික විද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට කියුබාව දැනට අත්විඳිමින් සිටින්නේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු මුහුණ දුන් අර්බුදය හා සැසදීමට පවා නොහැකි අතිශය දුෂ්කර අවස්ථාවකි. වසංගතය විසින් සංචාරක කරමාන්තය අඩපණ කිරීම සහ වෙනත් රටවල් සමග යම් ආකාරයකින් හෝ තිබූ සබඳතා ජාලය බිඳ වැටීම මෙන්ම 1908 වසරට පසු පහළම සීනි නිෂ්පාදනයක් වාර්තා වීම මේ සඳහා බලපා ඇති ආසන්නතම හේතුයි. කියුබා නිල සංඛ්‍යා ලේඛණවලටම අනුව ආර්ථිකය 11% න් පමණ බිඳ වැටී තිබේ. මෙයට සාපේක්ෂව 2021 ජුනි මස ආරම්භ වනවිට ඩෙල්ටා ප්‍රබේදය එරට පැතිරීමත් සමග කොවිඩ් ව්‍යාප්තියේ ද යම් ඉහළ යාමක් සිදුවිය. එන්නත්කරණය සිදුකර ඇත්තේ ජනගහනයෙන් සුළු පිරිසකට වන අතර එයට හේතුව සිරින්ජර්වල හිඟයයි. මේ අනුව පාන් වැනි අත්‍යවශ්‍ය ආහාර සඳහා දිගු පෝලිම්, ඖෂධ හිඟය, ප්‍රවාහන සේවා රාජ්‍ය සේවාවල මිල ඉහළ දැමීම, සහනාධාර කපා දැමීම, විදුලිය කපා දැමීම කියුබාව තුළ දක්නට ලැබුණි. දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය වෙනුවට 70%ක අත්‍යවශ්‍ය ආහාර විදේශයෙන් ආනයනය කිරීමත් ඒ සඳහා ඩොලර් නොමැතිවීමත් ආහාර හිඟයට ප්‍රධාන හේතුවක් ලෙස ආර්ථික විශේෂඥයින් මේ අතර පෙන්වා දෙයි.

එක්සත් ජනපද සම්භාධකවල බලපෑම

ට්‍රම්ප් පාලන සමයේ පමණක් කියුබාවට එරෙහිව අලුතෙන් සම්බාධක ගණනාවක් පනවන ලදී. මේ ලැයිස්තුවට 1960 ගණන් වල සිට ඇමෙරිකාව කියුබාව මත පනවා ඇති කිසිදු තහංචියක් අයත් වන්නේ නැත. අඩසියවසකට වඩා පැරණි මේ තහංචිවල මුළු ගණන 243 කි. මේ හේතුවෙන් එරට තුළ ආහාර, ඖෂධ සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක හිඟයක් පවතියි. වසංගත විසින් මෙම තත්වය තීව්‍ර කර ඇත.

රාවුල් කස්ත්‍රෝගේ පාලන සමයේ යම්කිසි ආකාරයකට එරට ආර්ථිකය පුද්ගලික අංශයට ද විවෘත කරමින් සහ එවකට අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගනිමින් කරන්නට ගිය වෙනස්කම්වලින් දීර්ඝකාලීනව සිදුවූ යහපතක් නැති බවයි. නිදසුනක් ලෙස, 2016දී ඔබාමා පාලනය විසින් ගෙන ආ සම්බාධක ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශගත කියුබානුවන්ට සිය රට වෙත විදේශ විනිමය යැවීමේ මාර්ග ඍජු ලෙස විවෘත විය. මෙය වසර 60 ගණනක එක්සත් ජනපද සම්බාධක සුලු වශයෙන් ලිහිල් කිරීමේ ප්‍රතිඵලයකි. මෙම ලිහිල් කිරීමේ පියවර නිසා සිදුව ඇති එක් වාසියක් වූයේ කියුබාවේ ව්‍යාපාරික වශයෙන් පුළුල් කරන ලද ‘වෙස්ටන් යුනියන්’ මුල්‍යායතන ශාඛා 400කට අධික සංඛ්‍යාවක් හරහා වාර්ෂිකව ඩොලර්, ලීරා, යුරෝ ඇතුළු විදේශ විනිමය කියුබාවේ ආර්ථිකයට එක්වීමය. වසර 20කට පෙර වෙස්ටන් යූනියන් ශාඛා පළමුවරට කියුබාවට හඳුන්වා දෙන ලද නමුත් එක්සත් ජනපද සම්බාධක ලිහිල් වීම හේතුවෙන් ඉතිහාසයේ සිදුව නැති ප්‍රමාණයකින් තරම් විනිමය ආගමනයක් වාර්තා විය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වෙස්ටන් යූනියන් සභාපතිවරයා පැවසුවේ කියුබාවේ සිය සේවා පුලුල් කිරීමට මෙම ලිහිල්කිරීම් උපයෝගි කරගත හැකි බවත් ඒ හාහර කියුබානුවන්ගේ ජීවන තත්වය වර්ධනය වීමේ හා සුලු හා මධ්‍ය පරිමාණ ආර්ථික ක්‍රියාවලියක් වර්ධනය වීමේ ඉඩක් විවර වන බවය. මෙහිදී එක්සත් ජනපදෙය් වෙස්ටන් යූනියන් සමාගමටද අත්වන ලාභය වැඩිවන අතර එක්සත් ජනපදයේ අරමුණ කියුබානු සමාජවාදී රාජ්‍ය තුළ ආර්ථිකය ශක්තිමත් කිරීම නොවන බව ද සත්‍යයකි. කියුබානු ආර්ථිකය නවලිබරල් ප්‍රතිසංස්කරණ කරා තල්ලු කර දැමීම එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අරමුණ වේ. කෙසේ වුවද කියුබාවට ඔබාමා පාලනයේ ලිහිල් කිරීම්වලින් සහනයක් ලැබුණි.

විශේෂයෙන් එක්සත් ජනපදය, ස්පාඤ්ඥය, ඉතාලිය, මෙක්සිකෝව හා කැනඩාව යන රටවලින් ලැබෙන විනිමය ප්‍රමාණය කියුබාවට විදේශගත වැසියන්ගෙන් ලැබෙන විදේශ ආදායම් සමස්තයෙන් 96%කි. 2013 වසරේදී පමණක් මෙසේ කියුබාවට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 2.8කින් 90%ක්ම එක්සත් ජනපදය තුළ වසන කියුබානු සංක්‍රමණිකයන් සිය පවුල් වෙත එවු මුදල් බව වාර්තා වේ. මෙම විනිමය ආදායමින් 60%ක් පමණ කියුබාවේ ගෘහාශ්‍රිත ආර්ථිකයේ නියැලෙන පිරිසගේ ස්ථාවරභාවයට දායක වූ බව ගණනය කර ඇත.  කියුබානු විප්ලවයෙන් පසුව සමාජවාදී රාජ්‍යයෙන් පළා ගියවුන් ඇතුළු විවිධ ආකාරයෙන් විදේශ රාජ්‍යයන් 71ක්  කරා සංක්‍රමණය වූ මිලියන 1.4 ආසන්න කියුබානුවන් පිරිසක් සිය රටට මෙසේ විදේශ විනිමය එවනු ලබයි. ඒ අතුරින් ප්‍රමුඛ වන්නේ ෆ්ලොරිඩාව ඇතුලු එක්සත් ජනපදයේ සිටින කියුබානුවන් විසින් උපයා සිය පවුල් වෙත මුදල් ලෙස යවන බිලියන 1.5ක් තරම් එක්සත් ජනපද ඩොලර් ආදායමයි.  නමුත් 2019 නොවැම්බරයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් මෙම ඩොලර් ගලායාමට සීමාවක් ඇති කරමින් එක් පුද්ගලයකුට යැවිය හැක්කේ ඩොලර් 1000ක් පමණක් ලෙස සීමාවක් පනවන ලදී. කෙසේවෙතත් 2020 ඔක්තෝබරය වන විට ට්‍රම්ප් පාලනය විසින් මෙම විදේශ විනිමය ගලා යාම සම්පූර්ණයෙන්ම වළක්වමින් සම්භාධක නැවත ක්‍රියාත්මක කරනු ලැබීමෙන් කියුබාවේ වසර 20ක් පවත්වා ගෙන ආක වෙස්ටන් යූනියන් ශාඛා සියල්ල වසා දැමීමට සිදු විය. ඒ වනවිට කෝවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයේ ආදායම් අක්‍රිය වී සිටි කියුබාව මහත් ආර්ථික පීඩනයකට ඇද දැමීමට ට්‍රම්ප් පාලනයේ මෙම තීන්දු හේතු විය.

උද්ඝෝෂණ දේශපාලනය

ජූලි මස කියුබානු ජනයා විසින් පැවැත්වූ උද්ඝෝෂණ ගැන නිවේදනයක් නිකුත්කරමින් ජෝ බයිඩන් කියා සිටියේ කියුබානු රජය එරට ජනතාවට විරෝධතා දැක්වීමට ඇති අයිතියට ගරු කළ යුතු බවය. 2020 ජනාධිපතිවරණ වේදිකාවේදී ඔහු, ට්‍රම්ප් විරෝධී ඡන්ද ආකර්ෂණය කරගැනීම පිණිස පොරොන්දු වූ ආකාරයට හිටපු ජනාධිපති විසින් කියුබාවට නැවත වරක් පනවන ලද සම්බාධක ඉවත් කරන්නට කටයුතු කර නැත. ජනවාරියේ ආරම්භ වූ බයිඩන් පාලනය විසින් කියුබානු රජයේ ආරක්ෂක  ප්‍රධානීන් කිහිපදෙනෙකුට සහ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයාට එරෙහිව සම්බාධක පනවන ලදී. මේ පිළිබඳ අදහස් දක්වමින් බයිඩන් පැවසුවේ මෙය ආරම්භයක් පමණක් බවයි. කියුබාවෙන් පලා ගිය ජනතාව බහුතරයක් ජීවත්වෙන මියාමි නගරයේ නගරාධිපතිවරයා පවසා ඇත්තේ කියුබාවට යුද මැදිහත්වීමක් සිදුකළ යුතු බවයි. ජුනි 23 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමේදී ආර්ථික කොන්දේසි නැවත පැනවීමට පක්ෂව බයිඩන් පාලනය හා ඊශ්‍රායලය හා එක්ව ඡන්දය ලබාදෙන ලද බවද අමතක කළ නොහැකිය. 

කියුබානු විරෝධී උද්ඝෝෂණ දෙස බැලීමේදී පසුගිය කාලයේ වෙනිසියුලාවේ,බොලිවියාවේ සහ පේරුවල අමෙරිකාව විසින් මෙහෙයවනු ලැබූ  කුමන්ත්‍රණ, කොමියුනිස්ට් විරෝධී පෙළගැසීම්, රූකඩ පාලකයන් බලයට ගෙන ඒමේ කැරලි සහ ආර්ථික සම්බාධක දැඩි කිරීමේ ක්‍රියාවලීන් අතර සබඳතා ඇත. ඒ නමුත් මිගෙල් ඩයස් ජනාධිපතිවරයා කියන ආකාරයෙන්ම මෙම උද්ඝෝෂණ අමෙරිකානු සහාය ලබමින් පමණක් ක්‍රියාත්මක වෙනවද යන්න ප්‍රශ්න කළ යුතු වේ. අධිපතිවාදී මාධ්‍ය බොහොමයක් ඉතා උනන්දුවෙන් කියුබානු විරෝධී උද්ඝෝෂණ වාර්තා කරමින් එයට නව අර්ථකතන ලබාදෙනු දක්නට ලැබුණි. ඒ අනුව මෙම උද්ඝෝෂණවල තත්වය විග්‍රහ කරගැනීම ඉතා වැදගත් වේ. විකල්ප මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි මෙම උද්ඝෝෂණය සඳහා අමෙරිකාවේ සහාය ලැබූ පිරිස්, තම සිවිල් නිදහස අහිමිවීම පිළිබඳ අමනාපයට පත් බුද්ධිමතුන් සහ සැබෑ ලෙසම තම ජීවන කොන්දේසි වැඩි දියුණු කරන ලෙස ඉල්ලා සිටි වැඩකරන ජනතාව යන සියලු කොටස්වලින් සැදුනකි. මෙම තුන්වන කොටස බහුතරය බව දක්නට ලැබේ.

මෙම උද්ඝෝෂණ සඳහා සම්බන්ධ වී සිටි බොහෝ දෙනෙක් තරුණ පිරිස් වීමට හේතුව ලෙස ඇතැම් විචාරකයන් සඳහන් කර ඇත්තේ කියුබානු විප්ලවයේ දේශපාලන කතිකාව තරුණයන් වෙත ළඟා වී නොතිබීමයි. එසේම කියුබානු සමාජයේ පීඩිතම කොටසක් වන අප්‍රිකානු සම්භවයක් සහිත කියුබානුවන්ගේ ජීවන තත්වය ඉතා පහළ බැස තිබීම හේතුවෙන් ඔවුන්ගේ ද වැඩි සහභාගීත්වයක් මෙම උද්ඝෝෂණ සඳහා දක්නට ලැබෙන බව විචාරකයන්ගේ අදහසයි. කෙසේවෙතත් පෙනෙන්නට තිබෙන තත්වය වන්නේ සමස්තයක් ලෙස කියුබානු රජයේ දේශපාලනය සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇති බවයි.

කියුබානු රජය  තම ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සහ කොවිඩ් පාලන කටයුතු කඩිනමින් කළ යුත්තකි. ඒ ගැන විවාදයක් නැත. නමුත් ඒ වෙනුවෙන් අමෙරිකාව වැනි ඉතාම අධිපතිවාදී ලෙස කියුබාව  මත සම්බාධක පනවමින්  ඊනියා ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන්නන්ගේ අරමුණු සමග එක් නොවීමට සියලු දෙනා වග බලාගැනීමද වැදගත්ය. කියුබාව කොවිඩ් වෛරසය ආරම්භ වූ සමයේ ලොව වටා තම වෛද්‍ය කණ්ඩායම් යවමින් කොවිඩ් වෛරසය ලෝකයෙන් අතුගා දැමීමට වෙහෙසෙන ලදී. මේ අවස්ථාවේ පමණක් නොව තවත් වසංගත අවස්ථාවලදී කියුබාව විසින් නොමසුරුව තම වෛද්‍ය කණ්ඩායම් පිහිටට එවන ලදී . මෙම කියුබානු අර්බුදය උග්‍ර වූ මොහොතේ සිට රටවල් විශාල ප්‍රමාණයක් එරටට සහාය දැක්වීමට ඉදිරිපත් වී තිබේ. ඉන් රුසියාව, මෙක්සිකෝව, වෙනිසියුලාව වැනි රටවල් කැපී පෙනේ. මෙක්සිකෝව විසින් ඇමෙරිකානු බලපෑම් ප්‍රතික්ෂේප කරමින් තෙල් නැව් කිහිපයක් කියුබාව වෙත යවා තිබේ. ඊට අමතරව ලොව පුරා වාමාංශිකයන්  ඖෂධ, වෛද්‍ය උපකරණ, මුඛ ආවරණ වැනි ද්‍රව්‍ය රැසක් සැපයීමට  දැනට සමත් වී ඇත.

කෙසේවෙතත් මෙම නව තත්වය මැද කියුබාවේ සමාජවාදී රාජ්‍ය පාලනයට හා ආර්ථික වැඩපිළිවෙළට කුමක් සිදුවේද යන්න ලොව පුරා විප්ලවවාදීන්ගේ විශේෂයෙන් මාක්ස්වාදීන්ගේ අවධානයට ලක් විය යුතු කාරණයකි.

Your email address will not be published. Required fields are marked *