
චීන භාණ්ඩ වලට ඇමෙරිකාව විසින් 125%ක නව තීරුබදු පනවා ඇති බවට කරන ලද නිවේදනයකට චීනය දැඩි විරෝධය පළ කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා, මාධ්‍ය හමුවකදී චීනයේ නිල ස්ථාවරය ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ, ඇමෙරිකාව මෙවැනි තීන්දු මඟින් ජාත්‍යන්තරයේ වෙනත් රටවල් මත අතුරු බලපෑම් ඇති කරමින් තමන්ට වාසි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවය. එමෙන්ම, මෙය ලෝක වෙළෙඳ සංවිධානයේ රෙගුලාසි, බහුපාක්ෂික වෙළෙඳ පද්ධතිය සහ ලෝක ව්‍යාපාර පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් දැඩි තර්ජනයක් බවද ඔහු අවධාරණය කළේය. ඇමෙරිකාවේ මෙම ක්‍රියාවලිය, ලෝකය පුරා රටවල් වලට බලපාන, විශාල හානියක් කරන පියවරක් වන බවත්, චීන ජනතාවගේ නීතිගත අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම් චීනයට ඒ ගැන නිශ්ශබ්දව ඉන්න නොහැකි බවත් ඔහු පැවසීය. මෙම වාතාවරණය තුළදී, චීනයද ඒ පිළිබඳව කඩිනම් ප්‍රතිචාරයක් ලබාදී ඇත. ඇමරිකානු භාණ්ඩ සඳහා පනවා තිබූ තීරුබද්ද දැන් 125%ක් දක්වා ඉහළ දැමීම චීන රජය විසින් අප්‍රේල් 11 වැනිදා නිවේදනය කළේය.
එමෙන්ම, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක් අනුව, චීන භාණ්ඩ සඳහා ඇමෙරිකාව පැනවූ මුළු තීරුබදු ප්‍රතිශතය 145% දක්වා ඉහළ ගොස් ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 9 වැනිදා සිදු කළ නිවේදනයකින් සඳහන් වුණේ, චීනයේ භාණ්ඩ වලට පෙර සිට තිබූ 20%ක බදු ප්‍රතිශතය නොමැති
අගයක්” ලෙස සැලකෙන බවය. ඒ අනුව, පවතින 125%ක බද්දක් එක් කිරීමෙන් අලුත් බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉලෙක්ට්‍රොනික් උපකරණ කිහිපයකට පනවා තිබූ නව තීරු බදු ඉවත් කරන ලෙස තීරණය කර ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එම තීරණයෙන් Smartphone, Computers, Monitors, Memory cards යනාදී විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් නිදහස් කෙරෙන බවයි. මෙම භාණ්ඩ බොහොසේ චීනයේ නිෂ්පාදනය වීම නිසා ඒවායේ මිල විශාල වශයෙන් ඉහළ යා හැකි බව ඇමරිකානු තාක්ෂණික සමාගම් විසින් පෙන්වා දී ඇත. ඒ නිසාම එම සමාගම්වල යෝජනා අනුව ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගත් බව වාර්තා වෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ තීරු බදුන් හේතුවෙන් චීනයට හැර පීඩාවට පත් රටවල් කිහිපයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 90ක විරාමයක් ලබාදීම නිවේදනය කර තිබේ. එය වෙළෙඳ ආරවුලකට කෙටි විරාමයක් වුන ද, චීනයට පැනවූ බදු තවදුරටත් ඉහළ දැමීම හේතුවෙන්, දෙරට අතර පැවති උණුසුම නව අවධියකට පිවිසෙමින් වෙළෙඳ යුද්ධය තවත් තීව්‍ර තත්ත්වයක් දරණු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, මේ වසරේ ලෝක ආර්ථිකයේ 43%ක් එක්සත් ජනපදය සහ විනය විසින් නියෝජනය කරයි. ඒ නිසා, මෙම රට දෙක අතර ආර්ථික ආරවුලක් හෝ වෙළෙඳ මතභේදයක් උත්ප්‍රේරක වුවහොත්, එයින් ලෝකයේ අනෙකුත් රට වලටද බලපෑමක් ඇති විය හැක. එවැනි ගැටළුවකින් ගෝලීය ආයෝජන ක්‍රියාවලිය අවුල් විය හැකි අතර, වර්ධනය මන්දගාමී වීමත්, ආර්ථික ස්ථාවරතාවයට බාධාවක් වීමත් කදිම ප්‍රතිවිපාකයන් වෙයි.
චීනය ලෝකයේ විශාලතම නිෂ්පාදන රාජ්‍යය වන අතර, එහි ජනගහනය භාවිතා කරන තරමට වඩා විශාල ප්‍රමාණයකින් භාණ්ඩ නිෂ්පාදනය කරයි. මේ වනවිටම, ඩොලර් ට්‍රිලියන 1කට ආසන්න භාණ්ඩ අතිරික්තයක් ඇති අතර, එම භාණ්ඩ ලෝක වෙළෙඳපොළවලට අපනයනය කෙරේ. දේශීය සහනාධාර, අඩු පොළී ණය වැනි සහන නිසා, චීන සමාගම් බොහෝ විට භාණ්ඩ ඉතා පහසු මිලකට නිෂ්පාදනය කරයි. වානේ ක්ෂේත්‍රය එයට උදාහරණයකි. නමුත් එම භාණ්ඩ එක්සත් ජනපදය තුළට ඇතුළත් විය නොහැකි වුවහොත්, ඒවා වෙනත් රටවල් වෙත “පැටවීමට ” චීන සමාගම් උත්සහ කළ හැක. එය සමහර පාරිභෝගිකයින්ට පහසුකමක් විය හැකි අතර වෙනත් රටවල නිෂ්පාදකයින්ට සහ විශේෂයෙන් රැකියා සහ වැටුප් මට්ටම් සම්බන්ධයෙන් හානියක් ද විය හැකියි. මෙවැනි පසු බැසීමක් ලෝකයටම හැඟේ යැයි බොහෝ ආර්ථික විද්‍යාඥයින් විශ්වාස කරති. ඔවුන්ගේ විනිශ්චය අනුව, මේ ආරවුලේ ප්‍රතිවිපාක බහුතරයකින්ම ඍණාත්මක විය හැක.
එසේ නම්, ලොව විශාලතම ආර්ථික බලවේග දෙක අතර මෙම උණුසුම, ගෝලීය ආර්ථිකයේ විශාල පරිවර්තනයක ආරම්භයක්ද?
සවී මදුෂානි