ඇල්පිටිය ඡන්දෙදි මොකද වුණේ?

ඇල්පිටිය ඡන්දෙදි මොකද වුණේ?

62 views
0

සභිකයන් 28 දෙනෙකු තෝරාපත්කරගැනීම සඳහා වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වුණා. සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මෙය වන අතර පුංචි ඡන්දයක් ලෙස පැවැත්වුණ ද මහ මැතිවරණ උණුසුම අතර පැවැත්වුණු මෙම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල වැඩි අවධානයක් යොමු වී තිබුණා. මේ සඳහා එක් ස්වාධීන කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂ 8ක් තරග කළ අතර ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනසෙත පෙරමුණ, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් සන්ධානය, ජාතික ජනතා පක්ෂය, දෙවන පෙරමුණ එම පක්ෂ අතරට අයත්.
ඡන්ද මධ්‍යස්ථාන 47දී ඡන්ද විමසීම පැවැත්වුණු අතර ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වුණු බවත්, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 63%ක් බවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව 55 643ක් සහ ඉන් ඡන්ද දායකයින් 36 825 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 520 බවත් සඳහන් වුණා.
රටේ අනෙකුත් පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම්වලින් වෙන්ව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වෙන ම පැවැත්වෙන්නේ ඇයි දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න යොමුකරන අතර ඊට හේතු වී ඇත්තේ 2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබීම නිසාවෙන් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබීම හා ඒ හේතුකොටගෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමයි. එසේ ම එම නඩුව අවසන් වන තුරු එම ඡන්දය පැවැත්වීම ද වැලැක්විය යුතුබවට ඉන් නියෝගකර තිබුණා. පෙත්සමේ අවසන් තීන්දුව ලබාදීමත් සමඟ 2019 ඔක්තෝබර් 11 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ අතර, ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ බව සඳහන්.
ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැහැදිලි කළේ එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් වන කාලසීමාවේදී නැවත ප්‍රාදේශිය සභා මැතිවරණයක් පවත්වන බව සහ එය රටේ අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණ කාලසීමාවට පෙර යෙදෙන බවයි.
ඒ අනුව 2024 ඔක්තෝබර් මස 26 වැනිදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබුණා. ඒ ඡන්ද විමසීමේදී ඡන්ද කොට්ඨාස 17 න්, 15 ක් සමඟ සමස්ත ඡන්ද 17 295 ක් දිනාගනිමින්.

  • ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 15යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17,295
  • සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 06යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7,924
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 03යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,597යි
  • පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,612
  • ස්වාධින කණ්ඩායම මන්ත්‍රී ධුර 02යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,568
  • පොදුජන එක්සත් නිදහස් සංධානය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,350
  • ජාතික ජනතා පක්ෂය මන්ත්‍රී ධුර 01යි, ලබාගත් ඡන්ද සංඛ්‍යාව 521
  • දෙවන පරපුර සහ ජනසෙත පෙරමුණට මන්ත්‍රී ධුර නැත.

තවද ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කළ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකු හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි  නිශාන්ත පෙරේර. මහතාහට සභාපති ධූරය ලැබීමට වැඩි ඉඩක් පවතින අතර පක්ෂයෙන් තේරී පත්ව ඇති අනෙක් සභිකයන් 14 දෙනාම නවකයන් වීම විශේෂිත වන බවයි වාර්තාවන්නෙ.

Your email address will not be published. Required fields are marked *