පාර්ලිමේන්තුවට අපිම තෝරා යැවු අමනයන්ගේ දොස්දැකීම සාධාරණද?

පාර්ලිමේන්තුවට අපිම තෝරා යැවු අමනයන්ගේ දොස්දැකීම සාධාරණද?

392 views
0

රටක් සර්වජන ඡන්ද බලය සහිත ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් එම රටේ වගකීම දරා සිටින්නේ පාලන තන්ත්‍ර තුළ සිටින දේශපාලනඥයින් මත පමණක් නොව එය රටේ ජනතාව මත ද පවතින්නකි.එවිට පෙනී යන්නේ දේශපාලනය කෙරෙහි සමාජ වගකීමක් ද පවතින බවයි.එමෙන්ම පාර්ලිමේන්තුව තුළ සිටින්නන් නිරූපණය කරනු ලබන්නේ එම රටේ ජනතාවගේ ම පිළිබිඹුවකි.එසේනම් “උන් ඔක්කොම හොරු,රට කෑවෙ දේශපාලඥයින්” යන වර්තමානයේ දී නිතරම නිතරව ඇසෙන්නා වූ කතාව විවාදයකට යටත් කළ යුතුය.මන්ද යත් රටක පැවැත්ම සහ අනාගතය පිළිබඳ වගකීම එක් පාර්ශවයක් මත පමණක් රඳා නොපවතින බැවිනි.

පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලඥයින් යනු අහසින් පාත් වූ හෝ වෙනම ලෝකෙකින් ගොඩ ගොඩබසින ලද අමුතුම ජීවීන් කොට්ඨාසයක් නොවන්නේය.එසේනම් පාර්ලිමේන්තුව තුළ සිටින්නේ ද අපමය.මන්ද ඔවුන්ව පාර්ලිමේන්තු තුළට තෝරාගැනීමට පෙර අප සමාජය තුළ අප සමගම ගැටෙමින් සිටිය උන් විය.ඔවුන් පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස තෝරාපත් කරන ලද්දන්ද අපමය.ඉතින් පාර්ලිමේන්තුව තුළ සිටින්නේ ද අපම වන්නේය.එසේනම් පාලකයන් දූෂිතයන් වන්නේ නම් දූෂිතයෙකු පාලකයෙක් බවට පත් කරන ලද සමාජය ද දූෂිත වන්නේය.පාලකයන් නූගතුන් වන්නේ නම් නූගතුන් පාලකයන් බවට පත්කරන ලද සමාජය ද නූගත් වන්නේය.එවිට පාලකයන් විවේචනය කරන අයුරින්ම සමාජය ද විවේචනය කිරීමට අවධානය යොමු වීමක් සිදුවිය යුතුය.එය විවේචනයකින් පමණක් අවසන් නොවිය යුතුය.ඉන්පසු ක්‍රියාමාර්ග සඳහා බලගැන්විය යුතුය.එසේ වීමට නම් රටක ජනතාව දේශපාලනික සාක්ෂරතාවයකින් යුක්ත විය යුතුය.එසේනම් මීළඟට විමසා බැලිය යුතු කරුණ වන්නේ ජනතාවගේ දේශපාලනික සාක්ෂරතා මට්ටමයි.

ඉහත සියල්ල ශ්‍රී ලංකාවට ආදේශ කර බලන විට ශ්‍රී ලංකාවේ පැවැත්ම සහ අනාගතය ද රටේ ජනතාවට ද දැරිය යුතු වගකීම සහිත වූවකි.එලෙස වගකීමක් දැරීමට නම් ජනතාව සමාජ තුළ මෙන්ම දේශපාලනය තුළ ද ක්‍රියාකාරී වූවන් විය යුතුය.ඒ සඳහා රටේ ජනතාවට දේශපාලන සාක්ෂරතාවක් තිබිය යුතුය .වර්තමාන ශ්‍රී ලංකාව තුළ නන්දෙසින් ඇසෙන්නා වූ නොයෙක් වූ ප්‍රකාශයන් අතරින් ” දේශපාලනය කන්නද?” යන්න  බහුලව ඇසෙන ප්‍රකාශයක්  වී ඇත.මෙය තරුණ, මහලු පරම්පරා භේදයකින් තොරව පවසනු ලබන්නකි. මිනිසා ඉපදෙන්නේ ද දේශපාලනික සත්වයකු ලෙසයි.එවන් අවස්ථාවකදී දේශපාලනය කන්නද යන්න ඇසීම ඔක්සිජන් වලින් හුස්ම ගන්නා මිනිසකුම ඔක්සිජන් කන්නද ලෙස ඇසීම සේම  විහිළුවකි.

කිසිදු දේශපාලන පක්ෂයකට සහය පල නොකිරීම,මැතිවරණයක දී තම ඡන්දය භාවිතා නොකර සිටීම,මැතිවරණ කාලයකදී ආවට පවත්නා කිසිදු ඡන්ද රැස්වීමකට සහභාගී නොවී සිටීම,කිසිදු දේශපාලඥයෙකු ට හෝ ඔවුන් සම්බන්ධ ක්‍රියාවකට අවධානය ලබා නොදීම වැනි ක්‍රියාවන් මගින් තමා දේශපාලනය හෝ කිසිදු සම්බන්ධයක් නොමැත  යන ආකල්පය සහිතව ජීවත්වන්නන් මුලාවක ජීවත් වන්නෝ ය.එසේම තමා කැමති දේශපාලඥයාගේ දැක්ම යනු සම්පූර්ණ දේශපාලනය බවත්,තමාගේ කැමැත්ත සහිත දේශපාලන පක්ෂයේ ඇති ප්‍රතිපත්ති පමණක් දේශපාලනය ලෙස දැකීමත්,මැතිවරණ කාලයේදී එක් පක්ෂයක් හෝ එක් ඡන්ද අපේක්ෂකයෙක් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල  නිරත වීම දේශපාලනය ලෙස දැකීමත්,තමාගේ පෞද්ගලික කැමැත්ත හා සමපාත වෙන වන දේශපාලනික දැක්මක් සමස්ත දේශපාලනයේ යැයි සිතා සිටීමත් තවත් මුලාවකි.එමෙන්ම මේ  සියල්ල අනවබෝධයෙන් ප්‍රතිඵලයකි.

අඛණ්ඩව දශක ගණනක් මුළුල්ලේ පරම්පරා කිහිපයක්ම පුනරුච්චාරණය කරනු ලබන “ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි” යන හඳුන්වා දීමට වර්තමානයේ කොයි කවුරුත් නැවතීමක් ඉල්ලා සිටියි.සංවර්ධනය වෙමින් පවතින රටක් යන්න අභිභවා  සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට කොයි කාටත් උවමනා වී ඇත.ඉතිං මේ සඳහා ශ්‍රී ලාංකික පුරවැසි ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය අවශ්‍ය නොවන්නේ ද? මේ සඳහා කන්නද  යැයි අසන දේශපාලනය සම්බන්ධ නොවන්නේද? එවිට ශ්‍රී ලාංකික ජනයා තුළින් ලැබිය යුත්තේ දේශපාලනික සක්‍රීය පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමය.බහුතරයට අනුව නම් අප දේශපාලනයේ සක්‍රීය පුරවැසියන්ය.එතෙක් මෙතෙක් අපගේ දේශපාලනික සක්‍රීයත්වය විමසා බලන විට එය එකම රාමුවක් තුළ කොටු වී ඇත.එම රාමුව තුළ,

  • තාප්ප වල,බිත්ති වල,සහ බෝක්කු වල වැනි ස්ථානවල පාප්ප ගාපෝස්ටර් ඇලවීම.
  • ඡන්ද රැස්වීම් වල හුරේ කියා කෑගැසීම.
  • තමා කැමති කැමති අපේක්ෂකයා දිනූ විට එය සැමරීම.

යනාදිය සමස්තයක් ලෙස ගත හැකිය.එවිට රටේ ජනතාවගේ මීළඟ අවුරුදු පහ තුළ සක්‍රීය දායකත්වය වන්නේ පාර්ලිමේන්තුව තුළ සිටින්නවුන්ට බැණ වැදීම පමණකි.නමුදු මේ සක්‍රීය දේශපාලනික දායකත්වයක් නොවන්නේය.මෙය හුදෙක් මැතිවරණ කාලයේ දී සිදුවන දායකත්වයක් පමණක් වන්නේය.දේශපාලනික සක්‍රීය පුරවැසියෙකු ලෙස ප්‍රජාතන්ත්‍රවාදී බලය භාවිතා කරමින් පත් කරන ලද පාලකයන් විසින් සිදු කරනු ලබන මානව හිමිකම් කඩවීම්,මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම්,අපචාර,නීතිය කඩ වීම ව්‍යවස්ථාව උල්ලංඝනය වීම වැනි නොයෙකුත් වූ සියලු විෂමාචාරයන්ට එරෙහිව නැගී සිටීමත්,එවැනි දේවල් වළක්වා ගැනීමට සටන් කිරීමත් වැනි දෑ සිදුවිය යුතු වීමයි.

“ඡන්දෙ දෙන්න පුළුවන් එක්කෙනෙක්වත් නැහැ ඒ නිසා මම නම් ඡන්දෙ දෙන්නෙ නෑ මේ පාර” ය න්‍යයායෙන් ද ඉවත් විය යුතුය.මන්ද  සර්වජන ඡන්ද බලය හිමි පුරවැසියෙකු ලෙස තම අයිතිවාසිකම් නිසි ලෙස නිසි ලෙස භාවිතා කිරීම වගකීමකි.ඡන්දය ලබා ලබා දීමට සුදුසු පුද්ගලයන් නොමැතිනම් එවන් පුද්ගලයන් බිහි කළ යුත්තේ ද ඔබ අප විසිනි.දේශපාලනය පිළිබඳ කතා නොකිරීමෙන් හෝ සර්වජන ඡන්ද බලයෙන් පුරවැසියෙකු ලෙස ලද අයිතිවාසිකමක් වන තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමෙන්  එවැනි පුද්ගලයන් බිහිවන්නේ නැත.රටේ ජනතාව ගැන කැපවෙන,වග වෙන පාලකයන් තැනීමට නම් අපගේ දේශපාලනික ඇස පුළුල්ව විවර කළ යුතු වේ.එය පාට පක්ෂ භේදයකින් යුක්ත කණ්නාඩි භාවිතා නොකර සිදු කළ යුත්තකි.

වර්තමාන තාරුන්‍යය සක්‍රීය දේශපාලනික  පුරවැසියන් ලෙස ඉදිරිපත් වන ආකාරයක් පෙනී යන්නේය.සාම්ප්‍රදායික ලෙස පවත්වාගෙන ආ පෝස්ටර් ඇලවීමට පමණක් සීමා වූ තාරුණ්‍යය ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමේ ප්‍රවණතාව දක්වා විකාශනය වී ඇත.එමෙන්ම දේශපාලනික කියවීමක උවමනාවකින් යුක්තව සිටි.එවිට වර්තමානයේ චරිත පසුපසින් හඹා යන තාරුණ්‍යයක් කල එළි බැස ඇත.ඔවුන්  හරි කෙනෙක් තෝරා ගැනීමේ භූමිකාවෙන් ඉවත්ව හරි අය තැනෙන භූමියක් තැනීමට තැනීමට උත්සුක වී ඇත.ඉතින් එබැවින් තාරුණ්‍යය මතද විශ්වාසයක් තබමින් රජුන් තනන සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් රජුන් තැනෙන භූමිය තනන්නට සක්‍රිය දායකත්වය ලබාදිය යුතු වන්නේය.

~ අරවින්දි පමෝද්‍යා ~

Comments
  • Bashitha#1

    February 20, 2023

    කාලීන විවරණය ඉතාමත් ප්‍රශස්තයි. ජය

    Reply

Your email address will not be published. Required fields are marked *