උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර ?

උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර ?

32 views
0

උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර නොගන්නේ ඇයි? මේ උත්සාහ කරන්නේ උසස්පෙළ සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කරමින් විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමටයි! 43 සේනාංකය මානව හිමිකම් කොමිසමට එයි!

උසස් පෙළ දින 18 තුළ විදුලිබලය නිපදවීම සඳහා අවශ්‍යවන්නේ අමතර දිනකට අමතර ගිගාවොට් පැය දෙකක් බවත්, ජල විදුලිය මගින් නිපදවීමේ හැකියාව ලංකා විදුලිබල මණ්ඩලයට මේ වනවිට තිබෙන බවත්, විදුලිබල අමාත්‍යවරයා උසස් පෙළ සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කරමින් විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට උත්සාහ කරන බවත් 43 සේනාංකය පවසයි. ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම විසින් අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩකිරීම සහ එම ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා 43 සේනාංකයේ නියෝජිතයන් අද (30) මානව හිමිකම් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ 43 සේනාංකයේ මුදල් ලේකම්, ඉංජිනේරු සුමේධ රත්නායක මහතා;

“මානව හිමිකම් කොමිසම මගින් විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යාංශය සහ මහජන උපයෝගීතා කොමිසම කැඳවා ගිවිසුමක් අත්සන් කරලා තිබුණා. උසස් පෙළ විභාගය පැවැත්වෙන දින 18 පුරා නොකඩවා විදුලිය සැපයීම සඳහා. නමුත් විදුලිබල මණ්ඩලය මගින් ඒ ගිවිසුම කඩ කරමින් විදුලිය සැපයීමෙන් වැළකිලා. දැනටත් සෑම දිනකම පැය 2 යි විනාඩි 20 ක් විදුලිය කපන, විදුලිබල අමාත්‍යවරයා රුපියල් බිලියන 5 ක අමතර මුදලක් විදුලිබල මණ්ඩලයට මේ සඳහා අවශ්‍යයි කියන එක සම්පූර්ණ බොරුවක්. මේ වෙනකොට විදුලිබල මණ්ඩල, ජලාශයන්හි තිබෙනවා ගිගාවොට් පැය හත්සිය ගානක් විදුලිබල නිපදවීම සඳහා අවශ්‍ය ජලය පසුගිය වසරේ, 2022 දි , මෙම බලාගාරවලට විදුලි ජලය සපයන ජලාශවල තිබුණේ, මෙගාවොට් පැය හයසිය ගානක් තමයි ධාරිතාව. උසස් පෙළ දින 18 තුළ විදුලිබලය නිපදවීම සඳහා අවශ්‍යවන්නේ අමතර දිනකට අමතර ගිගාවොට් පැය දෙකයි. ඒ කියන්නේ මුළු ගිගාවොට් පැය 36 කින් පුළුවන් උසස් පෙළ සිසුන් සඳහා අවශ්‍ය විදුලිය සපයන්න. එය ජල විදුලිය මගින් නිපදවීමේ හැකියාව ලංකා විදුලිබල මණ්ඩලයට මේ වෙනකොට තිබෙනවා. ජල විදුලිය මඟින් නිපදවූවොත් වැයවෙන්නේ රුපියල් මිලියන 108 ක්, ඒ කියන්නේ රුපියල් කෝටි දහයක් පමණයි. විදුලිබල මණ්ඩලය හා ඇමතිවරයාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදියි. මේ රටේ මහජනතාවට ඒත්තු ගන්වලා, විදුලි බලය බිල වැඩි කිරීම නිසා, වැඩි කිරීමට අවස්ථාව නොලැබීම නිසා, විදුලි බලය සැපයීමට නොහැකි වුණා උසස් පෙළ සිසුන්ට. බිල වැඩි කිරීම සඳහා අවශ්‍ය පාර කපා ගැනීමටයි මේ ඇමතිවරයා උත්සාහ කරන්නේ. මැතිවරණ කොමිසමට අත තබනවා ආණ්ඩුව. මානව හිමිකම් කොමිසමට අත තබනවා. මහජන උපයෝගීතා කමිටුවවට එරෙහිවත් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට යනවා. අපේ රාජ්‍ය ආයතන සහ මානව අයිතීන්, මිනිසුන්ගේ අයිතිවාසිකම් රැකිලා තිබෙන්නේ මේ ස්වාධීන කොමිෂන් නිසා. අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අද දවසේ මහජනතාවගේ අයිතීන් දකින මේ කොමිෂන් සභාවලට අත තැබීමට විරුද්ධවත්, විදුලිබල අමාත්‍යවරයා විසින් මේ කරගෙන යන ක්‍රියාදාමයටත් විරුද්ධවත් කටයුතු කිරීමට”

මේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ මොරටුව මහ නගර සභා මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස් මහතා;
“මේ ආණ්ඩුව, විදුලිබල ඇමති, කාංචන, එහෙම නැත්නම් කංචු දරුවන්ට උරුම කරලා තියෙන්නේ හොඳම දේ දරුවන්ට වෙනුවට, අඳුර දරුවන්ට කියන තේමාව. උසස් පෙළ දරුවෝ, තමන්ගේ අනාගත බලාපොරොත්තු, ඉලක්ක සපුරගන්න හදන වෙලාවේදී, කංචන කියන ඇමතිවරයා, තමන්ගේ මේ දරුවන්ට විදුලිය දෙන්න බැරුව, ඒ පාඩම් කරන දරුවන්ට, අඳුර ඉතිරි කරලා තියෙනවා. කංචන ඇමතිවරයාට අපි කියන්නේ, වංගු ගහන්න එපා. තොත්ත බබෙක් වෙන්න එපා. නැපිය තෙමා ගත්තු දරුවෝ වගේ අඬ අඬ ඉන්නවා විදුලිය දෙන්න බැරුව. ඒ නිසා අපි මේ වෙලාවෙදි කාංචන ඇමතිතුමාට කියන්නේ ඔබතුමාට ඔය ඇමතිකම කරන්න බැරිනම් ඕක දෙන තොත්ත බබෙක්ට. ඔබේ පාලනයේ නොහැකියාවට විරුද්ධව අපි අද මානව හිමිකම් කොමිසමට ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඉස්සරහට යන්න වුනොත් අපි ඒකටත් යන්න සූදානම්. මේ වෙලාවෙදි මේ දරුවන්ගේ බලාපොරොත්තු සිහින සුන් කරලා ඒ දරුවන්ගේ අඳුර වෙනුවට ඒ ආලෝකය ගේන්න”

Your email address will not be published. Required fields are marked *