
PTA පනත අහෝසි කිරීම සහ තවත් මර්දන පනත් ගෙන ඒමේ ප්‍රතිපත්තීන් වෙත බලපෑමක් එල්ලකිරීමේ අරමුණින් ඊයේ (15) දිනයේ මහජන කවුන්සිලය විසින් පෙත්සමක් අත්සන් කරණු ලැබුවා. ඊට සහභාගී වෙමින් සිය අදහස් පළකළ ලහිරු වීරසේකර ප්‍රකාශ කළේ අසීමිත ජනතා බලයක් හිමිවූ රජය සිය පොරොන්දු කඩ කිරීම නින්දා සහගත බවයි. රජය ඉන්දියාව සමග හෝ චීනය සමග ඔවුන්ගේ දේශපාලන සැලසුම් සමඟ එකඟ වී නැවත මව්බිමට පැමිණ කිසිත් නොවූ ලෙස හැසිරීම රටේ ස්වාධීනභාවයට හානිකර බවත් එකඟ වූ ව්‍යාපෘතීන් පිළිබඳ සත්‍ය ජනතාවට වසන් කිරීම ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමක් බවත් ප්‍රකාශ කළා. බලශක්ති ව්‍යාපෘතිය, හැදුනුම්පත් ව්‍යාපෘතිය සහ ඉදිරියේදී ඉදිරිපත්වීමට නියමිත IMF අයවැය ද මෙහි ප්‍රධාන අවස්ථා බව ඔහු පෙන්වාදුන්නා.
නොබැඳි විදෙස් ප්‍රතිපත්තීන් යනු සංචාරය කරන සෑම රටක්ම ඉදිරිපත්කරන දේශපාලන සැලසුම්වලට එකඟවීම නොවන බවද ලහිරු වීරසේකර ප්‍රකාශ කළා. රජය විසින් ගනුලබන මෙම ක්‍රියාමාර්ග පිළිබඳ ඉතා ඉක්මනින් ජනතාව වෙත පැහැදිලිකිරීමක් සිදුකල යුතු බව ද සඳහන් කළ ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ සහ ලිපිද්‍රව්‍යවල මිල අඩු කිරීම, වැට් බද්ද අහෝසි කිරීම සහ ඉන්ධන මෙන් ම විදුලිබිල අවම කිරීමේ මූලික ක්‍රියාමාර්ග ගැනිමට පවා අපොහොසත් රජයක් පිළිබඳ සමාජ ක්‍රියාකාරීන් වශයෙන් තමන් සහ තම සහෝදර ප්‍රජාව අරගල නොකළ ද මහජනයා සමග සංවිධානාත්මකව අවධානයෙන් පසුවන බවයි.