මීට දින කීපයකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය අතිශය වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේ ය. 2016 වසරේ මිහින්තලේ සිට හලාවත දක්වා පුද්ගලයන් දෙදෙනෙකු විසින් එළුමස් කිලෝ තුන් සියයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අතර මිහින්තලේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියා විසින් එම මස් ප්‍රවාහනය ට අදාළ මුද්‍රාව තබා තිබුණි. එදින පොහොය දිනයක් වූ අතර මෙම ලොරි රථය මාරවිල දී පොලිසිය විසින් නතර කරන ලද අතර මස් ප්‍රවාහනය ට අදාළ බලපත්‍රය ඉල්ලා සිටියේ ය. එහෙත් මස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නැති බවත් මිහින්තලේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියා විසින් මස් තොගයට මුද්‍රාව තබා ඇති බවත් ලොරි රථයේ සිටි පුද්ගලයන්
විසින් පොලිසිය ට පැහැදිලි කරන ලදී . එයින් සෑහීමකට පත් නොවු පොලිසිය ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේ ය. පොලීසියේ සහ සැකකරුවන් ගේ කරුණු දැක්වීම් වලට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරියේ ය.
තමන් අත් අඩංගුවට ගත්තේ නීතිය විසින් නියම කර ඇති පටිපාටිය උල්ලංඝනය කරමින් බව ප්‍රකාශ කරමින් මස් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හ. එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශ කරමින් ඉතා වැදගත් නෛතික කරුණක් ඉදිරිපත් කළේ ය. පොලිසිය ට සාධාරණ හේතුවක් මත පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීම ට හැකි ය. එහෙත් එම අත් අඩංගුවට ගැනීම සාධාරණ බව තහවුරු කිරීමට පොලිසිය ට හැකි විය යුතුය. මෙම සිද්ධියේදී පෙත්සම්කරුවන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය නීතියෙන් නියම කර ඇති පටිපාටිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් අදාළ අත් අඩංගුවට ගැනීම සාධාරණ හේතුවක් මත සිදු කළ අත් අඩංගුවට ගැනීමක් බවට සනාථ කිරීමට පොලිසිය සමර්ථතාවයක් දක්වා නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.
මේ අනුව එවකට මාරවිල පොලීසියේ රාජකාරි කළ නිලධාරීන් දෙදෙනෙකු පෙත්සම්කරුවන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති නිසා එම නිලධාරීන් ට තම පෞද්ගලික මුදලින් ගරු අධිකරණය නියම කරන ලද වන්දිය පෙත්සම්කරුවන් ට ගෙවන ලෙස නියෝග කළේ ය.
මෙම නඩු තීන්දුව මේ රටේ සෑම පොලිස් නිලධාරීයකුම අනිවාර්යයෙන් කියවිය යුතු නඩු තීන්දුව කි. අවම වශයෙන් ඉහළ පොලිස් නිලධාරීන් හෝ කියවිය යුතුය . නීතිය පිළිබඳව මෙරට පොලිසියේ සාක්ෂරතාව එතරම් ප්‍රශස්ත මට්ටමක නොමැති බව නොරහසකි.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම ට ගිය අවස්ථාවේ සැකකරුවන් නොසිටියහොත් ඇතැම් නිලධාරීන් එම සැකකරුවන් ගේ සමීපතයන් පොලිස් ට රැගෙන එන බව ප්‍රසිද්ධ රහසක් පමණි. එම සමීපතයන් එක්කෝ බිරිඳ ය.නැතහොත් දෙමාපියන් ය.නැතිනම් දරුවන් ය.මේ කුමන බලයක් මත කරන ක්‍රියාවලියක් ද යන්න පැහැදිලි කිරීමට පොලිසිය ට හැකි ද?
පොලිසිය අනීතික ලෙස පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සහ ශාරීරික වධ හිංසනයට ලක් කිරීම කෙතරම් දුරට නෛතික කරුණක් ද යන්න පැහැදිලි කළ හැකි ද? පොලිසිය විසින් සිදු කරන අනීතික ක්‍රියාමාර්ග වලට එරෙහිව බලාත්මක යාන්ත්‍රණය ක් පොලිසිය භාර නිලධාරීන් ට තිබේ ද ?
අනිත් අතට සැකකරුවන් ට එරෙහිව සාධාරණ නඩු විභාගයක් පවත්වා සැකකරුවන් වරදකරුවන් ද නිවරැදිකරුවන් ද තීරණය කරන්නේ ගරු අධිකරණය යි. එනම් සැකකරුවන් ට දඩුවම් කිරීමේ කිසිදු බලයක් පොලිසිය ට ලබා දී නැත. මෙම සංදර්භය තුළ පොලිසිය සිදු කරන අනීතික ක්‍රියාමාර්ග පිළිබඳව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය භාර ඇමතිවරයා ට මෙන්ම සමස්ත ආණ්ඩුවටම වගකීමක් ඇත .
තවද මෙවැනි අනීතික අත් අඩංගුවට ගැනීම හරහා පොලිසිය මෙරටේ පුරවැසියන් ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 13 වන ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරයි. රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික සහ උත්තරීතර නීතියයි. එය උල්ලංඝනය කිරීමට පොලිසිය ට කිසිදු ආකාරයේ බලයක් නොමැත. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන වහසි බස් කියමින් විධායකය විසින්ම, ව්‍යවස්තා විරෝධී නීතිරීති අනපනත් ප්‍රජාතන්ත්‍රවාදී කියාගන්නා පාර්ලිමේන්තුවක් තුල සම්මත කරගෙන අතිමහත් බහුතර ජනතාවක් පෙලෙන රටක, පොලීසියෙන් පමණක් යුක්තිය සාධාරණය බලාපොරොත්තුවිය හැකිද?
එස් එම්.ජයසූරිය